brand logo

චීනෙන් බාන්නේ ප්ලාස්ටික් හාල් ද?

26 February 2022

ප්ලාස්ටික් හාල් ගැන ඇත්ත නැත්ත මෙන්න

පසුගිය දිනෙකදී මගේ අසල්වාසියෙක් විසින් කවුරුන් හෝ ඔහු සමග ෂෙයාකර තිබූ වීඩියෝවක් මා හට පෙන්වනු ලැබුවේ අපිට හෙට අනිද්දා කන්නවෙන හාලුත් ප්ලාස්ටික් බව පවසමින්ය. පුද්ගලයෙක් බත්ගුළි තනමින් ඒවා පොළොවේ ගසා පෙන්වන වීඩියෝවකි එය. පොළොවේ ගසනු ලබන බත්ගුළි කැඩෙන්නේද නැත. පිංපොන් බෝලයක් මෙන් ආපසු පොළා පනින්නේද නැත. ගල් ගෙඩියක් ඇලවූවාක් මෙන් වැටුණු තැනටම ඇලී නතරවේ. වීඩියෝවේ රඟන තැනැත්තා කියන්නේ මේවා ප්ලාස්ටික් සහල් බවයි. මෙවන් වීඩියෝ කීපයක්ම පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ජාල තුළ සැරිසැරූ බව අසල්වැසියාගෙන්ම දැනගන්නට ලැබුණි. පසුගියදා ගොවිතැන සම්බන්ධයෙන් රට තුළ කතාබහ වූ කරුණුවලට අනුව ජනතාවට යම්කිසි තිගැස්මක් තිබේ. දැන් සහල් ආනයනය කරන්නේ දේශීය සහල් මිල ඉස්මුදුනටම නැගී ඇති බැවින් වෙළෙඳපොළ මිල අඩුකර ජනතාවට සහනයක් දෙන්නටය. ඒ අතරේ ප්‍රදානයක් වශයෙන් සහල් තොගයක් ලැබෙන බවටත් ආරංචි පැතිරුණි. රට තුළ සිදුවෙන අනාගත ආහාර සැපයුම පිළිබඳව වටින් ගොඩින් කියවෙන පරස්පර විරෝධී ප්‍රකාශයන් නිසා ජනතාව තම ආහාරය සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වී තිබේ. කටකතා හෝ සමාජ මාධ්‍යයන් මගින් පැතිරෙන ආරංචිවලට වුවමනාවටත් වඩා මිනිසා සංවේදී වන්නේද එබැවිනි. ඒ නිසාම තටු ලැබෙන කටකතා වයිරසය පැතිරෙනවාටත් වඩා වේගයෙන් සමාජය විනිවිද යයි. එය වෙලාවේ හැටියට බරපතළ හානියකි. නියමිත මිලටත් අඩුවෙන් ලක් සතොසෙන් හාල් | දිනමිණ ප්ලාස්ටික් සහල් වශයෙන් කාලයේ තාලයට නවීකරණයවී පැමිණියද, මුලින්ම කරළියට ආවේ කෘත්‍රිම සහල් යන වචනයයි. ඒ 2010 වසරේදී චීනයෙනි. එම වසරේ ජූලි 17 වැනිදා 'චයිනා ඩේලි' පුවත් සේවය වාර්තා කරනු ලැබුවේ ව්‍යාජ සහල් වර්ගයක් වෙළෙඳපොළට නිකුත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූචෑන් ප්‍රදේශයේ සමාගම් හයක කටයුතු තහනම් කළ බවයි. මේ කියන වූචෑන් පළාත අපට පසුගිය දිනවල නිතරම අසන්නට ලැබුණු වූහාන්වලම කොටසකි. කොවිඩ් -19 මුල්වරට එළියට ආවේ හුබේ ප්‍රාන්තයේ වූහාන්වලින්ය. කෘත්‍රිම සහල් පැමිණියේද එතැනින්මය. ඊසානදිග චීනයේ වූචෑන් පළාතේ වැවෙන සුපිරි සහල් වර්ගයක් අනුකරණය කිරීම සඳහා සාමාන්‍ය සහල්වලට කෘත්‍රිම සාරයක් දමා සුවඳගන්වා අලෙවිය ට නිකුත්කිරීම ඔවුනට නැගුණු චෝදනාව විය. එය බලධාරීන්ට හසුවීම නිසා අදාළ තහනම පැනවුණි. එසේ පැමිණි කෘත්‍රිම සහල් වැඩිකල් නොගොස් ප්ලාස්ටික් සහල් බවට නාමිකව පරිණාම ගතවුණ අතර, 2018 වසරේදී ඉන්දියාවේ පළවෙන හින්දු පුවත්පත වාර්තා කෙරුවේ තෙලන්ගානා ප්‍රාන්ත සිවිල් සැපයුම් දෙපාර්තමේන්තුව වෙත ප්ලාස්ටික් සහල් ගැන කෙරෙන පැමිණිලි තොග පිටින් ලැබෙමින් තිබෙන බවයි. හයිද්‍රාබාද් වැනි නගරයන්හි ආපනශාලාවලින් පිළිගන්වන කෑම වට්ටෝරුවලට ප්ලාස්ටික් සහල් මිශ්‍රකරන බවට එම චෝදනාවලින් කියවිණ. මෙය තෙලන්ගානාවටම සීමාවූවක් නොවේ. ඊට පෙර එනම් 2015 ජූලි මස 09 වැනිදා පළවූ හින්දු පුවත්පත පවසන්නේ සාමාන්‍ය සහල් සමග ප්ලාස්ටික් සහල් මිශ්‍රකර අලෙවිකරණ බවට ලද පැමිණිල්ලක් විභාග කිරීමට නවදිල්ලි මහාධිකරණය පවා තීන්දුකළ බවයි. කෙසේ වෙතත් ප්ලාස්ටික් සහල් කතාව මෙරටට පැමිණියේද අද ඊයේ නොව මීට වසර පහකට පමණ පෙරදීය. ඒ දිනවල පුවත්පත්වල පවා මේ ගැන පළවූ නමුත් රට හාල් පිළිබඳ තදබල වුවමනාවක් ජනතාවටද නොතිබුණ නිසා මේ ගැන වැඩි තැකීමක් සිදුවූයේ නැත. එහෙත් දැන් යළිත් මේ භීතිකාව අළු යට ගින්දර සේ ජනතා සිත් තුළ පුපුරු ගසනා බැවින් සත්‍ය තත්ත්වය නොවලහා රට හමුවේ තැබිය යුතුවේ. Nigerias Plastic Rice Real But Inedible: Official - NDTV Food ඔරයිසා සැටයිවා (Oryza sativa) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොයම් ශාකයට ජැපොනිකා (japonica) සහ ඉන්ඩිකා (indica) යනුවෙන් උප විශේෂයන් දෙකක් තිබේ. අප භාවිත කරන්නේ ඉන්ඩිකා උප විශේෂයට අයත් සහල්ය. ඒවාහි ඇට සාපේක්ෂව දිගින් වැඩිය. ඇමයිලෝස් නමැති පිෂ්ට කොටසද වැඩිය. එය 25 % ක් හෝ ඊට මඳක් වැඩිවේ. මෙම සහල් පිසූවිට එකට ඇලෙන්නේ නැති තරම්ය. ව්‍යංජන සමග අතින් අනාගෙන කෑමට සුදුසු බතක් ලැබෙන්නේ එහි අන්තර්ගත මෙම වැඩි ඇමයිලෝස් හේතුවෙනි. ජැපොනිකා උප විශේෂයට අයත් සහල්වල ඇමයිලෝස් අඩු ප්‍රතිශතයක් තිබේ. ඒ වෙනුවට එහි වැඩිපුර තිබෙන්නේ ඇමයිලොපෙක්ටින් නම් ද්‍රව්‍යයයි. එම සහල් ඇට සාපේක්ෂව වටකුරුය. චීනය, ජපානය වැනි රටවල අනුභව කරන්නේ මෙම සහලින් පිසූ බත් වේ. කෙසේ නමුත් මේ බත් අප කන ඒවාට වඩා රසයෙන් වැඩිය. ඇමයිලෝස් අඩු නිසා පිසින ලද බත් ඇලෙන සුලුවේ. පහසුවෙන් ගුළි සෑදීමටද පුළුවන. එම රටවල ජනතාව ආහාර අනුභව කරන්නේ චොප්ස්ටික්ස් (Chopsticks) නම් කූරු දෙකකින් නිසා අප භාවිත කරන ඉන්ඩිකා බත් දුන්නා නම් ඔවුන්ට ඉන්නට සිදුවන්නේ බාගෙට බඩගින්නේය. ඇලෙන සුලු ජැපොනිකා සහලෙන් පිසෙන බත ඔවුනගේ ආහාර රටාවට කදිමට ගැළපී තිබෙන්නේ ඒ අයුරෙනි. ඔවුහු ඉතා සකසුරුවම්ව කූරු දෙක ඇඟිලි අතරට හිරකරගෙන ජැපොනිකා බත්ගුළි සාදා ගනිති. Japanese-Style Steamed Rice Recipe "ජැපොනිකා සහල් උයනකොට වතුර උනත් නියමිත ප්‍රමාණයකට තමයි දාන්න වෙන්නේ. දැන් අලුතෙන් ජපානයේ හදන රයිස් කුකර් පවා එම සහල් වර්ගයට ගැළපෙන්න නියම වතුර ප්‍රමාණය දාලා උයන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. වැඩිපුර වතුර සමග බත ඉදුණොත් එකේ නියම රස හා ස්වභාවය නැතිවෙනවා. හොඳම බෙරි වෙයි." මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සහල් අභිජනන විද්‍යාඥ එම්.පී. ධනපාල මහතායි. වසර ගණනාවක් ජපානයේ ජීවත්වී අත්දැකීම් ඇති ඔහුගේ අදහස වන්නේ අනුභව කිරීම සඳහා ප්ලාස්ටික්වලින් සහල් සෑදිය නොහැකි බවයි. සමාජ ජාලවල සංසරණය වන රූප රාමුවලින් පෙන්වන්නේ කවුරුන් විසින් හෝ ජැපොනිකා වර්ගයේ ඇමයිලෝස් අඩු, ඇලෙන සහලක් අනවශ්‍ය ප්‍රමාණයකට වතුර දමා පිසගත්විට ඇතිවෙන තත්ත්වයක් විය හැකියයි හෙතෙම සැක පළකර සිටී. රසායන විද්‍යාවට අනුව ප්ලාස්ටික් යනු කුඩා අනු සමූහයක් එක්ව තැනුණු බහුඅවයවයකි. මේවා අතරින් එක ප්ලාස්ටික් වර්ගයක් තාපයට සංවේදී වන අතර රස්නය හමුවී උණුවී යයි. එබැවින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. ඒ හරහා නැවතත් එම ප්ලාස්ටික් භාවිතයෙන් විවිධ දෑ නිපදවනු ලබයි. බහුඅවයවක රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වූ ආචාර්ය එල්.එම්.කේ. තිලකරත්න මහතා කලකට ඉහතදී පුවත්පතකට ලිපියක් සපයමින් පවසා තිබුණේ ප්‍රතිචක්‍රීකරණයෙන් නිපැයුම් කිරීමේදී ඉතිරිවෙන ප්ලාස්ටික් කොටස් නැවත උණුකර, වෙනත් දෑ නිපදවීමට යොදාගත හැකි ප්ලාස්ටික් කුඩු, ගුළි, ධාන්‍ය ඇට වැනි කොටස් යනාදිය කර්මාන්තශාලා තුළ සාදන බවත්, එවැන්නක් කරනු ලබන්නේ නිපැයුම් අච්චු තුළට සිහින් බට හරහා ප්ලාස්ටික් කොටස් පොම්පකිරීමේ පහසුව සඳහා බවත්ය. ඇතැම්විට දිග සහල් ඇට ආකාරයේ කණිකා වුවත් මේ සඳහා නිපදවිය හැකි නමුත් ඇටයේ දෙපැත්ත උල් නැති නිසා මෙවැනි කණිකා, නියම සහල් හා මිශ්‍ර කළහොත් පහසුවෙන් හඳුනාගත හැකි බවද හෙතෙම සඳහන් කරයි. අනෙක් අතට මේවා ජලය මත ඉපිලේ. නමුත් සහල් ඇට ජලයේ ගිලෙන්නේය. මේවා තැම්බීමේදීද කිසිවිටකත් සහල් මෙන් මෙළෙක් නොවන බව පෙන්වාදෙන මහාචාර්යවරයා, බත්ගුළි ආකාරයේ යමක් සෑදීමට නම් ප්ලාස්ටික් කණිකා මෙළෙක් වී ඇලෙනසුලු වියයුතු බවද සඳහන් කරයි. නමුත් තාප සංවේදී මෙම ප්ලාස්ටික් කණිකා එලෙස හැසිරෙන්නේද නැත. එසේනම් 'ප්ලාස්ටික් රයිස්' කතාව මුළුමනින්ම මුසාවකි. Texture of Rice Grains Close - Up As Background Stock Photo - Image of  vegetarian, ingredient: 214947364 ප්ලාස්ටික් සහල් මදිවට පසුගිය වසරේදී ප්ලාස්ටික් බිත්තර සිද්ධියක්ද මෙරටින් වාර්තා විය. කෙටි ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙක් විසින් එහි ඡායාරූපයක් මාධ්‍යය හරහා ප්‍රචාරය කරමින් පවසා තිබුණේ තම කෙටි ආහාරය තුළ තිබූ තැම්බූ බිත්තර සුදුමද කොටස ස්වාභාවික එකක් නොවන බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2017-18 මහ කන්නය වෙනුවෙන් නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව අම්පාරේ වී කිලෝවක නිෂ්පාදන වියදම පොහොර, කෘෂි රසායන සියල්ල ඇතුළුව රුපියල් 20.10 කි. පොලොන්නරුවේ රුපියල් 24.50 කි. සාමාන්‍යයක් ලෙස මුළු රටේම අගය රුපියල් 25.76 කි. අද තත්ත්වය මීට වඩා තරමක් ඉහළ ගොස් තිබුණද ප්ලාස්ටික් හාල් හදනවාට වඩා ලාභයට වී ගොවිතැන් කළ හැකි බව කාටවුවත් පෙනෙන සත්‍යයක් බැවින් ප්ලාස්ටික් රයිස් ගැන කනස්සලක් ඇතිකරගත යුතු නොවේ. එය තවත් කටකතාවක් පමණි. සනත් එම් බණ්ඩාර
 

More News..