brand logo

චීනය ලංකාවේ පාසල් වාරය වටලයි

22 December 2019

අප පාසල් යන සමයේ පාසල් ගෙන යන අඩි රූල, පැන්සල, පාට පෙට්ටි, පැන්සල් පෙට්ටි අතර ඉම්පෝටඩ් බඩුවක් කිව්වොත් එම ශිෂ්‍යයාගේ පියා එක්කෝ පිට රටක සේවය කරන්නෙක් හෝ ඔහු ඇති හැකි පවුලක වීම සාමාන්‍ය දෙයක් විය. ඒ කාලේ චීනෙන් ගෙනා සුවඳ හමන ඉරේසරය අපට අමුතු අත්දැකීමක් විය. ඉරේසරේ සුවඳ දරා ගන්න බැරුව එය හපා කා දරුවන් ​රෝහල්ගත කරන ලද පුවත්ද පුවත්පත්වල පළ විය. එකල පැන්සල් මෙන්ම තීන්ත පෑන්ද චීනෙන් ආවේ ඉඳහිටය. එම නිෂ්පාදනවල වෙළෙඳ නාමය වූයේ Greatwall (චීන මහා ප්‍රාකාරය) යන නාමයයි. ඒ එදා තත්ත්වයයි. එදා පාසල් බඩු ලැයිස්තුවේ ඇති අති බහුතරයක් මේ රටේ නිෂ්පාදනයන්ය. පෑන්, පැන්සල්, පින්සල්, පාට වර්ග, ඉරේසර් සියල්ලම පාහේ ලංකාවේ නිෂ්පාදනය වූ ඒවාය. කෑම පෙට්ටිය හා වතුර බෝතලය පවා ලංකාවේ නිෂ්පාදිත ඒවා විය. එහෙත් අද තත්ත්වය මුළුමනින්ම වෙනස් වී තිබේ. පාසල් පොත් ලැයිස්තු සඳහා අවශ්‍ය තොග කඩ වැටෙන්නේ ස්ටේෂනරි (stationary) යන වර්ගීකරණයටය. මේ ස්ටේෂනරි සඳහා බොහෝ තොග කඩ ඇත්තේ පිටකොටුවේ මැලිබන් වීදියේය. එමෙන්ම කුමාර වීදිය, සෝන්ඩර්ස් පෙදෙස, වේල්ලවීදිය ස්ටේෂනරි තොග කඩදාසි වීදි වේ. මේ කොයි පාරටත් වැඩිය දැන් කොළඹ ස්ටේෂනරි රජදහන වී ඇත්තේ පිටකොටුවේ ‘‘පීපල්ස් පාක්’’ වෙළෙඳ සංකීර්ණයයි. පසුගියදා මේ හැම තැනකම කරක් ගැසූ අපට නම් පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ පාසල් බඩු ගැනීමට දෙමාපියන්, දරුවන් ඇතුළු වැඩිහිටියන් පොර කෑවේ ලෝක විනාශය අත ළඟ එන්නාක් මෙනි. සෑහෙන කාලෙකින් එක්සයිස් පොතක් කඩේකින් මිලට ගෙන නැති නිසා මිල ගණන් ගැන ටිකක් විපරම් කර බලන්නට සිතුණි. අද බොහෝ පාසල්වල සංවර්ධන සමිතිවලින් දරුවන්ගේ පොත් පාර්සල පාසලේදීම නිකුත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන නිසා ඇතැම් දෙමාපියන්ට ලාභ තැනකින් පොතක් ගැනීමට වූ වාසිය මග හැරී​ගොස් ඇත. පිටකොටුව ආශ්‍රිත අභ්‍යාස පොත් අලෙවිසල්වල මිල ගණන්වල ඇත්තේ සාධාරණ බවකි. රුපියල් 35කට අලෙවි කරන පිටු 40 එක්සයිස් පොතක් මෙහිදී රු. 25කට මිලදී ගත හැකි අතර සමහර තැන්වල රු. 22කටද ඒවා අලෙවි කෙරේ. පිටු 80 එක්සයිස් පොතක් කඩෙ රු. 55ක් වුවද මෙහි රු. 35කි. රු. 80ට කඩේ විකුණන පිටු 120 එක්සයිස් පොත් සිල්ලරට විකුණන්නේ රු. 52කටය. එමෙන්ම රු. 95ක මිල සඳහන් පිටු 160ක පොතක් රු. 70කටත්, රු. 125ක මිල සඳහන් පිටු 200ක පොතක් රු. 95කටත් එමෙන්ම පිටු 400 එක්සයිස් පොතක් මෙහි අලෙවි වන්නේ රු. 170කටය. ඉස්කෝලේ පොත් ලැයිස්තුව ඉනේ ගහගෙන මාලඹේ ,අතුරුගිරිය හෝ මොරටුව, පානදුරේ පැත්තේ හිටියත් එන්නට හිතෙන්නේ මේ ලාභය නිසා විය යුතුය. කලකට ඉහත ලංකාවේ එක්සයිස් පොත් ගැසූ ඔස්තාර්ලා හිටියේ අම්බලන්ගොඩය. ඒ සන්දියේ ලංකාවේ එක්සයිස් පොත්වල රූල් ගැහුවේ අම්බලන්ගොඩ බාසුන්නැහේලා හැදූ රූලින් මැෂින්වලය. එකල එක්සයිස් පොත්වල කෙළින් අතට රතු රූලක්ද විය. එහෙත් ක්‍රමයෙන් අම්බලන්ගොඩ​ එක්සයිස් පොත් ගහන තාක්ෂණය කටුගෙට ගොස් කරලියට ආවේ ඕෆ්සෙට් ක්‍රමයට මුද්‍රිත එක්සයිස් පොත්ය. ඒ පොත් ජාවාරම්කාරයෝ මුලින්ම කළේ අනවශ්‍ය වියදමක් ලෙස සලකා අපේ එක්සයිස් පොතේ වූ රතු ඉර ඉවත් කර දැමීමය. ජේවීපී දෙවැනි කැරැල්ල ඇතිවන්නට පෙර ලංකාවේ පැවැතියේ 100%ක් දේශීය අභ්‍යාස පොත් කර්මාන්තයකි. එහි කඩදාසිය නිෂ්පාදනය කරන ලද්දේ ලංකාවේදීය. වරක් මැතිවරණ සමයක පෝස්ටර් කඩදාසි හිඟවීම නිසා ඡන්ද අපේක්ෂකයන් කළේ තම පෝස්ටර් එක්සයිස් පොත් ගහන ක්‍රීම්වෝව් කඩදාසිය මුද්‍රණය කිරීමය. ඒ නිසා එවර පාසල් වාරයේ දැඩි අභ්‍යාස පොත් හිඟයකට මුහුණ දෙන්නට මෙරට සිසු පරපුරට සිදුවිය. එහෙත් අප සතුව තිබූ ස්වයංපෝෂිත අභ්‍යාස පොත් කර්මාන්තය දැන් ඉතින් නැත්තටම නැතිවී තිබේ. ලංකාවේ සිංහල නම් ගසා තිබුණත් එම අභ්‍යාස පොත්වල කවරයේ කඩදාසිය, ඇතුළත කඩදාසි මෙන්ම ඒවා මුද්‍රණයට ගන්නා තීන්ත පවා චීනයෙන් ගෙන එන ලද ඒවාය. අප මේ ගැන වේල්ලවීදියේ ආසිරි නම් ලිපි ද්‍රව්‍ය ආයතනයේ හිමිකරුගෙන් අසා සිටියෙමු. ‘‘ඔය සිංහල නම් ගහල තිබ්බට, මොන නීති දැම්මත් කන්ටේනර් ගණන් එක්සයිස් පොත් බසාර් එකට එනවා. කොලටි කොන්ට්‍රොල් එකක් නැති නිසා ගොඩක් අය ඒවා ගන්න බයයි. සමහර කොළ ලියන්න බැරි තරම් තුනියි. ඔය ලොකු එක්සයිස් පොත් ගහන කම්පැනිත් දැන් චීනෙන් තමන්ගේ නම ගහල කෙලින්ම එක්සයිස් පොත් ගේනවා. ලංකාවේ ප්‍රෙස්එක තියාගෙන ටිකක් ලංකාවේ ගහන්නේ තීනියෙන් බේරෙන්න. දේශීය කර්මාන්තයක් කියලා පෙන්න ගන්න.’’ මෑතක් වනතුරුත් පාසල් ලිපිද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ ඒකාධිකරයක් ගොඩ නගාගෙන තිබුණේ ඉන්දියන් නිෂ්පාදනයන්ය. එහෙත් දැන් එම වෙළෙඳපොළ චීනය විසින් ඩැහැගෙන තිබීමේ ප්‍රධාන රහස විය යුත්තේ මිල ගණන් ඉතා අඩුවීම නිසා විය යුතුය. ලංකාවේ ජනප්‍රිය ඉන්දියන් පැන්සල්, කවකටු, පෙට්ටි පවා දැන් ඒ නමින්ම චීනයේ නිෂ්පාදනය කොට එවන තරමට තත්ත්වය බරපතළ වී තිබේ. ඉන්දියන් ​වෙළෙඳ නාමයත් චීනයේ නිෂ්පාදනය කොට අලෙවියට ඇති තැන්වල එම නිෂ්පාදනවල වෙනස වටහා ගන්නේ භාවිත කිරීමෙන් පමණය. ඒවා බාහිර ස්වරූපයෙන් මුළුමනින්ම ඒක සමානය. මෙහි ඇති ප්‍රධාන වෙනසක් නම් චීන නිෂ්පාදන මිලත් ඉතා අඩු බාල නිෂ්පාදනයක් වීමය. රු. 20කට අලෙවි කෙරෙන ඉන්දියන් පැන්සලක් ඒ නමින්ම චීනයේ සිට ගෙනවිත් අලෙවි කරන්නේ රු. 5කටය. චීනෙන් ගෙනා පැන්සල් දහයේ පෙට්ටිය රු. 20ට පිටකොටුවේ අලෙවියට ඇත. ඉරේසරය නොහොත් මකනකෑල්ල දැන් වෙළෙඳපොළේ ඉන්දියන් නිෂ්පාදන පරයා ආක්‍රමණය කොට ඇත්තේ චීන නිෂ්පාදනයන්ය. කාබන් පෑන් නම් තවම චීන ආක්‍රමණයට හසු වූ බවක් පෙනෙන්නට නැත. එහෙත් තොග අලෙවිකරුවකු අපට පැවසුවේ කාබන්පෑන්වල කොටස් වෙන වෙනම පෙට්ටිවල ගෙනවිත් ලංකාවේදී කරන්නේ ඒවා එසෙම්බල් (Esemble) කිරීම පමණක් බවය. මේ වෙළෙඳ පොළ තුළ ඇති මාලිගට් නොහොත් ගම් වර්ගද බොහෝමයක් චීන නිෂ්පාදනයන්ය. එසේ නම් ගම් කූර නොහොත් ග්ලුස්ටික් එක චීනයෙන් එනඑක අමුතුවෙන් කිවයුතු නොවේ. එදා වෙළෙඳපොළේ තිබූ මෙටලික්ස් වැනි දේශීය කවකටුපෙට්ටි කිසිවක් දැන් දැක ගන්නටවත් නැත. චීනයෙන් ගෙනා කවකටු පෙට්ටි රු. 60 සිට 350 දක්වා විවිධාකාර විසිතුරු පෙට්ටිවල බහා තිබේ. ඒ සමහර කවකටු පෙට්ටිවල ජංගම දුරකථනයට සවිකර පවර් බෑන්ක් පවා ඇත. මේ චීන ආක්‍රමණය හමුවේ හිස කෙලින් කරගෙන සිටින දේශීය නිෂ්පාදකයන් හමුවන්නේ අතළොස්සකි. පාසල් සිසුන් භාවිත කරන ගණකරාමු දේශීය නිෂ්පාදනයක් වූ අතර චීන ගණකරාමු නම් අපිට සොයාගත හැකි වූයේ නැත. 1977 ට පෙර ලංකාවේ තීන්ත පෑන් සඳහා භාවිත කොට ඇත්තේ මොරටුවේ නිෂ්පාදනය කරන ලද මේඩින් ඉන්ක් නමින් පෑන් තීන්ත වර්ගයකි. දැන් පෑන් තීන්ත ලංකාවේ කිසිදු නිෂ්පාදනයක් නැත. මෑතක් වනතුරුත් ලංකාවේ හදපු ලී අඩිරූල දැන් ගේන්නේ තොග පිටින් චීනයෙනි. වතුර බෝතල් හා කෑම පෙට්ටි වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදකයන් සුළු පිරිසක් සිටින අතර චීන වතුර බෝතල් හා ලන්ච් බොක්ස් නොහොත් කෑම පෙට්ටි වෙළෙඳපොළට ඇති එකම අභියෝගය ඉන්දුනීසියාවෙන් ගෙනා වතුර බෝතල් හා කෑම පෙට්ටිය. ඉන්දුනීසියන් කෑම පෙට්ටි හා වතුර බෝතල් සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිත වන අතර චීන නිෂ්පාදන සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ශරීර සෞඛ්‍යයට අහිතකර බවට රාවයක් පැතිර යාම චීන නිෂ්පාදන පසුබෑමට හේතු වී ඇත. ඉස්සර නම් එක්සයිස් පොතේ කවර දැමීමෙන් පසු ඊට උඩින් ඉටි කොළ දමා පොත අලංකාර කර ගැනීමට තවත් වෙහෙසක් ගත යුතුය. ඒත් දැන් කවර දැමූ පොතට ඉටි කොළ කවරය චීනයෙන් රෙඩිමේඩ් පැමිණ තිබේ. කවර 10ක තොග මිල රු. 20කි. වෙළෙඳපොළේ සැරිසරන විට චීනයට ඩැහැගත නොහැකි වූ නිෂ්පාදන කීපයක්ද අපට සොයා ගත හැකිය. එහිදී පාට කූරු නොහොත් චෝක් ඒකාධිකාරය තවමත් ඇත්තේ දේශීය නිෂ්පාදකයන් තුන් දෙනකු අතය. එමෙන්ම ‘‘ක්ලේ’’ නමින් හඳුන්වන අමුද්‍රව්‍ය මෙන්ම සේදූ මැටි නිෂ්පාදකයන් වන්නේද අපේ රටේ ඇත්තන්ය. මේ නිෂ්පාදනවලට අමතරව ලංකාවේ යැයි කිවහැකි නිෂ්පාදන ඇත්තේ කුරුලු පිහාටු, ඇට වර්ග වැනි නිෂ්පාදන කිහිපයක් පමණි. අවසානයේ අපට තේරුම් ගියේ ලංකාවේ එක් පාසල් වාරයක් ආරම්භයේදී කෝටි ප්‍රකෝටි සංඛ්‍යා මුදලක් චීනයට ඇදී යන ආකාරයයි. ජනාධිපතිවරයා කුළුබඩු තහනම් කළා මෙන්ම ලංකාවේ නිෂ්පාදනය කළ හැකි පාසල් උපකරණ සඳහාත් එවැනි තීන්දුවක් ගැනීමට සුදුසුම කාලය මෙයයි. වජිර ලියනගේ
 

More News..