brand logo

චීනයේ හලාල් අවන්හල්වල මුස්ලිම් හා අරාබි ලාංඡන හලා දමයි

03 August 2019

නැගෙනහිර පළාතේ නාම පුවරු අරාබි භාෂාවෙන් ඇති බව වාර්තා වීමත් සමග ආණ්ඩුව පැත්තෙන් ඒ ගැන විවිධ නියෝග නිකුත් විය. එහෙත් ඒ අරාබි අක්ෂර සහිත නාම පුවරු තවමත් කොළඹ නගරයේද ඇති බැවින් ආණ්ඩුවේ කෙරුවාවේ තරම ගැන ඇස්තමේන්තුවක් අපටම සාදාගත හැකිය. මේ අරාබි අකුරු ගැන ඇති ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ පසුගිය පළවැනි බ්‍රහස්පතින්දාය. ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරිම් අල් ඉසා මහතා ලංකාවට පසුගියදා සැපත් විය. අරලියගහ මැදුරේදී අගමැතිතුමා හමු වූ ඔහු ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට තමා කැපවන බව කියා සිටියේය. එයින් නොනැවතුණ එතුමා අප්‍රේල් 21 වැනිදා වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිය කනගාටුව පළ කරන්නට අමතක කළේ නැත. ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරිම් අල් ඉසා මහතාගේ ජාත්‍යන්තර සහජීවනය ප්‍රායෝගිකවම අපට දැකගත හැකි වූයේ පසුගිය පළමුවැනිදා කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේදීය. ආණ්ඩුකාර මුසම්මිල් මහතා සමග එතුමා එදා පාසලට ආවේ සිසුන් සඳහා පාසල් බෑග් තොගයක්ද රැගෙනය. බහුතර සිංහල සිසුන් සිටින මේ පාසලට බෙදන්නට ආචාර්ය බින් අබ්දුල්ලා ගෙනැවිත් තිබුණේ අරාබි අක්ෂර සහිත තම සංවිධානයේ නිල ලාංඡනය සහිත පාසල් බෑග්ය. මෙයට ගුරුවරු සහ සිසුන් විරුද්ධ වීම නිසා මුසම්මිල්ගේ ආණ්ඩුකාර කාර්යාලයේ ලේකම්වරයකු විසින් ගුරුවරුන්ට බැණ වැදී තත්ත්වය සමනය කර ගැනීමට යෑම අවසන් වී ඇත්තේ අපේ නිල නොවන ජාතික ගීය වූ ‘හූ’ වෙන් සිසුන් විසින් කරන ලද සංග්‍රහයකින් පසුවය. ලංකාවේ සිටින බොහෝ මුස්ලිම් ජාතිකයන් ගැන ලෝක මුස්ලිම් සම්මේලනයේ සභාපතිතුමාට කිවයුතු අත්‍යවශ්‍ය කරුණක් ඇත. මේ මුස්ලිම් ජාතිකයන් ගතින් ලංකාවේ ජීවත් වුවද හිතෙන් ජීවත් වන්නේ අරාබියේය. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්, කෑමබීම පමණක් නොව, පැවැත්මද මෙරටට ගැළපෙන ලෙස යාවත්කාලීන කොට දේශීයකරණයට ලක් කරගන්නට ඔවුන්ගේ නායකයන් ඉඩ දුන්නේ නැත. තම වර්ගයේ එකෙකුගේ ස්ටිකරයක් නැති ත්‍රිරෝද රියක ගොඩවීම ප්‍රතික්ෂේප කරන්නට තරම් ලංකාවේ ඔවුන්ගේ වර්ගවාදය බලවත් වී ඇත. චීනයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් ස්වකීය ඡන්මභූමිය වූ චීනයට වඩා සමීප වූයේ තුර්කියට හා අරාබිකරයටය. චීනයේ ආරක්ෂක අංශ හා සමාජ විද්‍යාඥයන් මේ ගැන තම විරෝධය එළිපිටම පාන්නට විය. චීන රජය කළේ මේ පවුල්වල දරුවන් ආගමික විශ්වාසයෙන් හා භාෂාවෙන් වෙන් කරමින් ඉතා සාර්ථක ලෙස පුනරුත්ථාපනය කිරීමය. බීබීසී පුවත් සේවය මෙය වාර්තා කොට තිබුණේ 'Radical Islamist Ideoogy ලෙසය. ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා අගමැතිතුමා සමග කියා සිටියේ තමන් මහා සංඝරත්නය සමග සාකච්ඡා ගණනාවක් පැවැත්වූ බවය. තමන් එහිදී වටහාගත් කරුණක් වුණේ ලොවටම මෛත්‍රිය පතුරුවාලන ධර්මය ලෙස බුදුදහමේ ප්‍රායෝගික බව වටහාගත් බවය. එමෙන්ම පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්තුමා ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් පරිත්‍යාග කිරීමටද සූදානම් බව දැන ගන්නට ඇත. මේ අතර චීනයෙන් අසන්නට ලැබෙන ප්‍රවෘත්තිය ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්තුමාට නම් එතරම් සුබදායක නැත. චීනයේ බලධාරීන් ගෙන ඇති තීන්දුව නියෝගයක් කියා ලේසියෙන් ඉවත හෙළිය නොහැකිය. චීනයේ අගනුවර අප කවුරුත් දන්නා බීජිං නුවරය. බීජිං නගරයේ ඇති ‘හලාල්’ අවන්හල්වලට මෙම නියෝගය නිකුත් කිරීමට චීන බලධාරීන් එරට ආගමික සහජීවනය සැලකිල්ලට ගත් බවක් නම් වාර්තා වන්නේ නැත. ලංකාවේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරයක් නිසා ‘හරක් මස්’ තහනමටද හේතුවක් වී ඇත්තේද මේ ආගමික සහජීවනයයි. චීන බලධාරීන් දැඩි නියෝගයක් කොට ඇත්තේ චීනයේ බීජිං නගරයේ හලාල් අවන්හල්වල ඇති මුස්ලිම් හා අරාබි සංකේත ඉවත් කිරීමය. චීනයේ උපන් මුස්ලිම් ජාතිකයන්ද චීනයේ සංස්කෘතික සහ වාර්ගික අනන්‍යතාවට අන්තර්ග්‍රහණය කරගැනීම මෙහි අරමුණ බව චීන පුවත් සේවයේ ඇති වාර්තාවක සඳහන් වේ. චීනයේ මේ නව පියවර අනුව අඩ සඳහා තරුව හලාල් ලාංඡනය, අරාබි අක්ෂරද ඉවත් කිරීමට නියෝග නිකුත් වී හමාරය. චීනයේ මුස්ලිම් ජාතිකයන් මේ ගැන රොයිටර් පුවත් සේවයට තම විරුද්ධත්වය ප්‍රකාශ කළත් එම ප්‍රකාශවල ප්‍රකාශකයකු සඳහන්ව නැත. එය රොයිටර් මගින් විකාශනය කොට ඇත්තේ මුස්ලිම් සංකේත හා අරාබි ලාංඡන ඉවත් කිරීමට චීන රජය නිකුත් කළ නියෝගයට තම විරෝධය පළ කරන එක් මුස්ලිම් ජාතිකයකු ලෙසය. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රශ්නයක් ඇතිවූ විට හිස්බුල්ලා අමාත්‍යවරයා පවසා සිටියේ තම ජාතියට හිරිහැරයක් වුවොත් අරාබියෙන් පෙට්‍රල් ගෙන ඒම නවත්වන බවය. චීන රජයේ මේ පිළිවෙත ආරම්භය විමසා බැලුවොත් එය මීට දස වසරකට පෙර චීන ජාතිකයන් හා එරට උපන් මුස්ලිම් ජාතිකයන් පිරිසක් අතර හටගත් ජාතිවාදී ගැටුමක් ඊට හේතු වී ඇති බව පෙනේ. චීනයේ ෂිංජියැං පළාතේ හටගත් මේ ගැටුමට මුල්වූයේ බහුතර චීන හන් ජාතිකයන් හා උයිගර් නම් වූ සුළුතර මුස්ලිම් ජනතාවය. මෙම ගැටුමේදී මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රහාරක අවිය වූයේ කඩු නොවේ, පෙට්‍රල් බෝම්බ සහ උල් පිහිය. ලංකාවේ ‘හලාල්’ ලාංඡනය මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරන විට මෙරට ව්‍යාපාරිකයන් සිමෙන්තිවලට පවා හලාල් ලාංඡනය මුදල් ගෙවා ලබාගන්නට තරම් නිවටයන් විය. චීනය වැනි රාජ්‍යයක් මුස්ලිම් හා අරාබි ලාංඡන ඉවත් කරන විට ඊට එරෙහි වන්නට අරාබියක් නැත. ඒ චීනය ලොව බලවත් ආර්ථික වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් වන නිසාය. අපේ රටට ඒ ශක්තිය ලැබෙන්නේ කවදාද? වජිර ලියනගේ
 

More News..