brand logo

චීනයේ නිව්මෝනියාව ගැන කොළඹට අනතුරු අඟවයි

08 January 2020

චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික විය හැකි නිව්මෝනියා රෝගී තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු හඟවා ඇත. ආසියානු කලාපයේ වැඩිම චීන ජාතිකයන් පිරිසක් පැමිණෙන සංචාරක සහ ව්‍යවසාය මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කොළඹ නගරය පදනම් කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු හැඟවීම සිදුකර ඇත. මීට පෙර 2003 වර්ෂයේදී චීනයෙන් ව්‍යාප්තව ගිය මාරාන්තික සාර්ස් (Sever Actue Respiratory Syndrome SARS) රෝගයට සමාන බව සැක කෙරෙන මෙම නව නිව්මෝනියා රෝගය පිළිබඳව ශ්‍රී ලංකාවට අමතරව කලාපයේ අනෙකුත් කාර්යබහුල හුවමාරු මධ්‍යස්ථානයන් වන හොංකොං, සිංගප්පූරුව, බැංකොක්, මැලේසියා, මැකාවු, තායිවාන සහ දකුණු කොරියානු සෞඛ්‍ය අංශ සහ ගුවන්තොටුපොළ වෙතද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හැඟවීම් යොමුකර ඇත. චීනයේ වුහාන් (wuhan) ප්‍රාන්තයේ මේ වනවිට පැතිර යන මෙම නිව්මෝනියා රෝගයේ වෛරසය නිවැරැදිව හඳුනා ගැනීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මෙම නිව්මෝනියා තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතාව සහ පෙණහලු ආසාදන හඳුනාගෙන ඇත. නයන තරංග ගමගේ
 

More News..