brand logo

චීත්ත ගැටුම් පසෙක තබා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වටු කුරුළු රෑනේ කතාව කියා දෙන්න

12 January 2019

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිල හා හා පුරා කියා 2019 අලුත් අවුරුද්දේදී නවසීලන්තයෙන් මදි නොකියන්න බැට කෑවේය. තිසර පෙරේරාට පිං සිද්ධ වෙන්න ජයග්‍රහණය ආසන්නයට පැමිණි දෙවැනි එක්දින තරගය හැරුණුකොට තරග තුනක්ව පැවැති ක්‍රිකට් තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිලේ දියාරු පන්දු යැවීම මොනවට පැහැදිලි විය. ඉහත කී දුර්වලතාවෙන් හොඳහැටි වාසි ගත් නවසීලන්ත පිතිකරුවෝ එක්දින තරග තුනේදීම තුන්සියයේ සීමාව පහසුවෙන් පසු කරනු ලැබුයේ 350 සීමාව ඉක්මවා ගිය අවස්ථා දෙකක්ද සටහන් කරමිනි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිල ගෙවමින් සිටිනුයේද ජයග්‍රහණයේ මාවත ඇති ඉසව්වට සේන්දුවන්නට තරම්වත් දෙපා වාරු නැති සමයක බවට මෙමගින් නැවතත් ඔප්පු වී තිබිණි. නවසීලන්තය සමග පැවැති තරග තුනද ඇතුළුව ශ්‍රී ලංකාව 2017 වර්ෂයේ සිට මේ දක්වා එක්දින තරග 49 කට සහභාගි වී තිබෙයි. ජය ඉතාම විරල වෙද්දී ඉන් පරාජය වී තිබෙන තරග සංඛ්‍යාව 35 කි. ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරග දෙක හැරුණුකොට ඔවුන් එම වකවානුවේදී ජයග්‍රහණයේ සවුදිය පිරුවානම් ඒ තරග 12 ක පමණි. උද්ගතව ඇති මේ ක්‍රිකට් ඉඩෝරයේ මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයා සිටිනුයේ ජයග්‍රහණය නැමැති අසීමිත පිපාසයෙනි. එහෙත් එය සංසිඳෙන පාටක් නම් පෙනෙන්නම නැත. පරාජය කෙතරම් සුපුරුද යත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයාට මෙම පරාජයත් හැමදාම දකින කුකුළාගේ කරමලය සේම පෙණිනි. නමුත් එක්දින තරගාවලිය පැවැති නවසීලන්තයේ සීතල අස්සෙන් ගිනි පුපුරු මෙන් මතු වූ ‘ක්‍රිකට් බිරින්දෑවරුන්ගේ ගැටුම’ මෙරට ප්‍රේක්ෂකයාට අමුතුම තාලේ වින්දනයක් ගෙන අවේය. තරගාවලි පරාජය ගැන තියා ක්‍රිකට් කියන මාතෘකාවෙන් ඈත්ව කටයුතු කළ පිරිස් පවා ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඇතිව තිබූ අලුත්ම ගැටුම ගැන ‘බොම්බිලි කරවල’ වැනි ගොසිප් රසයෙන් කථා කළහ. වත්මන් එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිය ටාන්‍යා පෙරේරා තබා තිබුණු ෆේස්බුක් සටහනක් මෙම ගැටුමට මූලික විණි. ‘ක්‍රීඩා ඇමැති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙනකොට චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියලා හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැකගන්න ගෙදරට ඇවිත්.... ලැජ්ජයිනේ... යනුවෙන් තබා තිබුණු එම සටහනේ ‘අසරණ’ යනුවෙන් සඳහන් කරමින් පැන්ඩාවෙකුගේ රූප දෙකක් දක්වා තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනුයේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාය. සිය පාසලේ ආදි ශිෂ්‍යයකු වන වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ ගෙදරට ‘පැන්ඩා’ ඇතුළු වූවානම් ඒ ඇයිදැයි යන පැනය උලුප්පා දක්වමින්, මෙම පුවත සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ බට කැලයට ගිනි තැබූවක් මෙන් ඇවිලී ගියේය. මීට ඉහතදී විටින් විට ශ්‍රී ලංකා පිලේ නායකයා බවට තිසර පෙරේරා පත්ව තිබුණු අතර මෙම සටහන ටාන්‍යා පෙරේරා දැමූ අවදියේදී ශ්‍රී ලංකා එක්දින නායකයා වශයෙන් ඇයගේ සැමියා වූ ලසිත් මාලිංගව නව තේරීම් කමිටුව මගින් පත්කර තිබිණි. තිසර එසේ ගියානම් ක්‍රීඩා අමාත්‍යවරයා සිය පාසලට සලකා නායකත්වය නැමැති ‘රත්‍රන් කෑල්ල’ තිසරගේ කරේ යළිත් එල්ලාවිදෝයි යන සැකයෙන් මෙවැනි සටහනක් ඇය විසින් තැබුවේද යන වග මෙහිදී පැන නගින කාරණයකි. මේ ෆේස්බුක් ප්‍රහාරය නොරිස්සූ තිසර පෙරේරාගේ බිරිඳ ශෙරමි දිනූෂිකා පෙරේරාද ඊට පසුවදාම ෆේස්බුක් සටහනක් තබමින් එයට පිළිතුරු ලබා දී තිබුණාය. නරියෙක් සිංහ හමක් පොරවගත්තට කවදාවත් සිංහයෙක් වෙන්නෙ නැහැ. නරියා කට ඇරියම නරියාම තමයි, යනුවෙන් එම සටහනේ විනි. සමාජජාලා වෙබ් අඩවි මගින් මේ සිද්ධිය ‘යුගයේ ගැටුම’ බවට පත්කරද්දී නවසීලන්තය සමග පැවැති දෙවැනි එක්දින තරගයට පෙරදා තිසර පෙරේරාද මේ ප්‍රශ්නයට මැදි වූයේ ෆේස්බුක් සටහනක් තබමිනි. ‘ගොසිප් සයිට්, ෆේස් බුක් හරහා මා හට මඩ ප්‍රචාරණය කිරීමට වෙර දරන අඹුසැමි යුවළට මා සමග පෞද්ගලික අමනාපකම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධ කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම වන බවත් තැන ආරක්ෂා කිරීමට මට කිසිවෙකු පසුපස හඹා යාමට අවශ්‍ය නොවන බවත් මෙයින් දන්වා සිටිමි. එමෙන්ම අපහාස කිරීමට එල්ල කරන චෝදනා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි. එසේම බිරින්දෑවරුන් තමන්ගේ කාර්යභාරය පමණක් කරගෙන සිටීනම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි. ස්තූතියි’ යනුවෙන් ඔහුගේ සටහනේ විය. මෙම සටහන තැබූ පසුවදා පැවැති එක්දින තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 21 කින් පරාජය විය. පරාජයේ අඳුරු වලාවෙන් පෑයූ රිදී ඉරක් මෙන් පෙනී සිටි තිසර පෙරේරා එදින ලකුණු 140 ක් රැස්කර ගනිමින් තරගයේ වීරයා බවට පත්වූයේය. පන්දු 74 කදී හයේ පහර 13 ක් සහ හතරේ පහර 8 සමගින් වාර්තාවූ මෙම ලකුණු සංඛ්‍යාව තිසරගේ එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු වශයෙන් සටහන් වූයේය. අනතුරුව පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදීද ‘සැරටම’ පිත්ත හැසිරවූ තිසර ලකුණු 80 ක් රැස්කර ගත්තේය. උද්ගතව තිබූ ෆේස්බුක් ගැටලුවෙන් තිසර තවත් උත්තේජනයක් ලබාගෙන මීළඟ තරගයට සහභාගි වූවා විය හැකිය. ඔහු ඒ සඳහා සිය පිත්තෙන්ම පිළිතුරු සැපයූවාද විය හැකිය. මෙවැනි සිද්ධීන් මගින් ක්‍රීඩකයින් යම් අමතර උත්තේජනයක් ලබාගෙන තරගයන්හිදී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරන්නේනම් සෙසු බිරින්දෑවරුනුත් මේ අයුරින් කෙස්වලු පටලවා ගත්තද කමක් නැතැයි කියන තරමටම එම පිති ප්‍රහාර දෙක අපූරු විය. මේ අතර ‘බිරිඳව ගෙදර තියා එන්න, පිට්ටනියේ ක්‍රිකට් ගහන්න. ප්‍රශ්න ඇති. ඒවා ගෙදර තියලා එන්න. හැබැයි පිට්ටනියෙදී කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න. තනියම සෙල්ලම් කරලානම් කවදාවත් අපිට ජයග්‍රහණය කරන්න ලැබෙන්නෙ නැහැ’යි කියා ක්‍රීඩා අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. කෙසේ වෙතත් මෙම ‘චීත්ත ගැටුමෙන්’ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම මෙම ක්‍රීඩකයන්ගේද සායම දියවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව මෙම සිද්ධිය නොවිසඳන්නට සායම තියා ශරීරයේ වස්ත්‍ර පවා ගැලවී යාමටද ඉඩ පැවතිණි. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් පෙනී යන එක් කාරණයකි. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයින්ගේ සුහදත්වය බිංදුවටම වැටී ඇති බවය. ඔවුන්ගේ සාමූහික හැඟීමක් නැති බවය. ඔවුනොවුන් උත්සාහ දරනුයේ කණ්ඩායමේ ජයග්‍රහණයටත් වඩා තමන්ගේ තැන කණ්ඩායමේ ආරක්ෂාකර ගැනීමටය. තත්ත්වය එසේනම් මොන තරම් අඩව් කස්තිරම් ඇල්ලුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වළපල්ලට යෑම වළකාලීමට ඉදිරියේදී එතරම් පහසු නොවනු ඇත. එහි අනිසි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයට පවා සහභාගි වීමට සිදුව ඇත්තේ සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමෙන් පසුවය. නැතහොත් ඇෆ්ගනිස්තානයටත් පිටුපසින් සිටය. මෙරට වත්මන් ක්‍රිකට් තත්ත්වය එසේවුවද, එදා තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් විය. එදා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුදෙනා එකාමෙන් සාමූහිකව ක්‍රීඩා කළෝය. ‘සති අග අරුණ’ පුවත්පතෙහි ‘මතක සිටින මගේ සටන’ ලිපි මාලාවට සිය මතක අවදි කිරීමේදී මේ බවට අපූරු උදාහරණයක් අරවින්දගෙන් කියැවුණි. ඔහුගේ මතක හිටින සටන් අතුරින් එකක් වූයේ 1996 වසරේ ඉන්දියාව සමග පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයයි. එම තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරෙත්ම ඉන්දීය ප්‍රේක්ෂකයෝ අතට අහුවෙන දෙයින් ක්‍රීඩාංගණය වෙත දමා ගැසූහ. එවකට කණ්ඩායමේ හොඳම තුරුම්පුවක් වූ අරවින්ද පන්දු රකිමින් සිටියේ හතරේ සීමාව ආසන්නයේ වූ බැවින් වියරු වැටුණු ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ බලපෑම ඔහුට සෘජුවම වැටී තිබිණි. මේ බව වටහාගත් අතිරේක ක්‍රීඩකයෙක්ව සිටි උපුල් චන්දන, අරවින්දට කතා කර ප්‍රේක්‍ෂකාගාරවලට ආසන්න හතරේ සීමාව අවට පන්දු රැකීම තමාට භාර කර පිටියේ නිරුපද්‍රිත තැනක පන්දු රකින මෙන් ඉල්ලා සිටි බව අරවින්ද මෙහිදී පැවසුවේය. එදා ක්‍රීඩකයා අනෙක් සහෝදර ක්‍රීඩකයාව දිවි හිමියෙන් ආරක්‍ෂා කළේය. එදා කෙතරම් සාමූහිකත්වයකින්, සහෝදර බැඳීමකින් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කළාද යන්න පිළිබඳව එය අප්‍රකට එක් උදාහරණයකි. එහි ප්‍රතිඵලය ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගැනීම විය. නමුත් අද තත්ත්වය වෙනස්ය. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේදී ගොඩගැනීමටනම් අන් සියල්ලට පෙර කණ්ඩායම් සාමාජිකයන්ට ‘කුරුළු වැද්දාට හසුවූ වටු රැළේ කථාව’ කියා දිය යුතුය. ගයාශාන් විතානආරච්චි
 

More News..