brand logo

චිත්‍රපටවලින් දකිනවට වඩා ඉන්දියානු පොලිසිය හොඳයි

13 January 2019

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් පොලිස් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය වන අනුරාධා ෂංකර් එම ප්‍රාන්ත පොලිසියේ දීප්තිමත් පොලිස් නිලධාරිනියකි. පොලිසියේ ඉහළම නිලයක් හෙබවුවද, සංවේදී කාන්තාවක් ලෙස ගෞරවාදරයට පත්ව සිටින ඇය ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිධාරිනියකි. අනුරාධාගේ පියා රාම් චන්ද්‍රකාන් ද ඉන්දීය පොලිසියේ විශ්‍රාමික නිලධාරියෙකි. ආචාර්ය ඌෂා කිරන් ඛාන් වන ඇයගේ මව කිවිඳියකි. ඉන්දියාවේ සාංචි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ 69 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් කෙරුණු ‘අංජලි කරණීයෝ’ නම් ධර්ම ග්‍රන්ථය නිකුත් කිරීම වෙනුවෙන් කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධා ෂංකර් මහත්මිය ‘අරුණ’ සමග සාකච්ඡාවකට එක් වූවාය. ඉන්දියානු පොලිසියේ ව්‍යුහය කුමක්ද? ඉන්දියාවේ පොලිසිය ක්‍රියාත්මක වන්නේ ප්‍රාන්ත විෂයයක් විදිහට. සෑම ප්‍රාන්තයකටම පොලිසියක් තියෙනවා. මේ ප්‍රාන්තවල පොලිස් නිලධාරින් කොටස් 4 ක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. කොස්තාපල්වරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, පරිපාලන නිලධාරින් සහ පොලිස් සුපරින්ටන්ඩන්ට්වරුන් වශයෙන්. පළමු කොටස් දෙකට අයත් වන පොලිස් නිලධාරින් සේවය කළ යුත්තේ ප්‍රාන්තයේ පමණයි. තුන්වැනි සහ හතරවැනි කාණ්ඩවල නිලධාරින් ජාතික මට්ටමේ නිලධාරින් වශයෙන් හඳුන්වන්න පුළුවන්. උප පොලිස් පරීක්ෂකවරුන් සඳහා උපාධිධාරින් බඳවා ගන්නේ ජාතික මට්ටමින් පවත්වනු ලබන විභාගවලින් පමණයි. තුන්වැනි සහ හතරවැනි කාණ්ඩවල නිලධාරින් තෝරා ගන්නේ පරිපාලන විභාගවලින් පමණයි. මෙම කාණ්ඩ 4 සඳහාම අනිවාර්යයෙන්ම 33% ක කාන්තා නියෝජනයක් තිබිය යුතුමයි. ඊට අමතරව ගෝත්‍රය, කුලය සහ ආදිවාසීන් වෙනුවෙනුත් යම් නියෝජනයක් සිදු වෙනවා. ඉන්දියානු පොලිස් කොමිසමක් ක්‍රියාත්මක වෙනවද, ප්‍රාන්තවලට තිබෙන පොලිස් බලතල මොනවද? කොමිසමක් වශයෙන් ක්‍රියාත්මක වීමක් නැහැ. එක් එක් ප්‍රාන්තවල පොලිස් බලතලවල සුළු සුළු වෙනස්කම් තියෙනවා. මේ බලතල කෙසේ වුවත් සියලුම දෙනා අවසානයේ ඉන්දියන් ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කළ යුතුයි. ජනතාවට පොලිසිය ගැන විශ්වාසයක් තියෙනවද? එය ලංකාවේ තත්ත්වය වගේම තත්ත්වයක් තමයි. සමහර අයට විශ්වාසයක් තියෙනවා. සමහර අයට කිසිම විශ්වාසයක් නැහැ. මේ විශ්වාස අතරේ අපි වැඩ කරගෙන යනවා. ඉන්දීය චිත්‍රපටවල දකින පොලිසිය හරිම විහිළු සහගතයි. එය පොලිසියේ සැබෑ මුහුණුවරද? ඒ ඉස්සර කාලේ. දැන් ඉන්දියන් පොලිස් නිලධාරින් හඳුන්වන්නේ වීරයෝ විදිහට. වර්තමානයේ දී ඒ තත්ත්වය හුඟක් වෙනස් වෙලා තියෙනවා. අතීතයේ පොලිස් නිලධාරින්ට හිමි නොවුණු විශේෂ තැනක් වර්තමානයේදී ඔවුන් ළඟාකර ගෙන තිබෙනවා. ඔබ මටසිලුටු කාන්තාවක්. ඇයි පොලිසිය වගේ තැනක් රැකියාවට තෝරා ගත්තේ? ඉන්දියන් පරිපාලන සේවයේ විභාගවලින් තමයි එක් එක් අංශ සඳහා නිලධාරීන් තෝරා ගැනෙන්නේ. උදාහරණයක් වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්, පරිපාලන නිලධාරින්, බදු නිලධාරින් සහ පොලිස් නිලධාරින් තෝරා ගන්නේ මේ විභාග ප්‍රතිඵල මත ලැබෙන ලකුණු මට්ටම අනුව. මගේ ලකුණු සීමාව අනුව මට ලැබුණේ පොලිස් සේවය. අපට අදාළ සේවය තෝරා ගන්නේ ඒ අයුරින්. යම් විදියකින් අපි ඒ සේවා කාණ්ඩයට අකැමැති නම් අපට තෝරාගත හැකි වන්නේ ඊට පහළින් ඇති විෂය පථයක් පමණයි. මේ තෝරා ගැනීම් පටිපාටියට විරුද්ධව කිසිම අයුරකින් වෙනස් වීමක් සිදු වන්නේ නැහැ. එය ඉතාම හොඳ විනිවිදභාවයකින් ක්‍රියාත්මක වෙනවා. ඔබ යටතේ කොපමණ පිරිසක් සේවය කරනවද, කාන්තාවන් ප්‍රමාණය කොපමණද? එක්ලක්ෂ විසිදාහක පමණ නිලධාරින් පිරිසක් සේවය කරනවා. මෙයින් 6% ක පමණ ප්‍රමාණයක් කාන්තාවන්. තවත් බොහෝ පිරිසක් සාමාන්‍ය සේවයේ යෙදෙනවා. ඉන්දියාව අල්ලසට බර රටක් ලෙසයි කියැවෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ ඇයි? මට මේ කාරණය ලංකාවේ පොලිසිය සම්බන්ධයෙනුත් අහන්න ලැබුණා. අධිරාජ්‍යවාදී බලපෑමට යටත් වී තිබුණු වකවානුවල සිට ආ මානසික තත්ත්වයන් අනුව තමයි ඒ දේ සිද්ධ වුණේ. ඒ කාලේ ජනතාවට හැඟීමක් තිබුණේ නැහැ තමන්ගේ රට සම්බන්ධයෙන්, මේක අපේ රට කියලා ඔවුන් හිතුවේ නැහැ. හැම වෙලාවෙම රට අනුන්ගේ දෙයක් විදිහට තමයි දැක්කේ. රටේ අයිතිය තමන්ට නැහැ කියලා හිතුවේ. ඒ මානසික තත්ත්වය මත ඔවුන්ගෙන් රටට ආදරයක් ලැබුණේ නැහැ. එම් පරිසරය තුළ තමයි ඔය තත්ත්වය වඩාත් දියුණු වී තිබුණේ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අලුත් පරම්පරාව අලුත් විදිහට හිතනවා. ඔවුන්ට රට ගැන ආඩම්බරයක් තියෙනවා. දැන් ඉන්දියාව තුළ අල්ලස දකින්න නැහැ. අනාගතයේදී මෙය ඉතාම සුබවාදී තත්ත්වයක් දක්වා වර්ධනය වේවි. පොලිස් සේවය තුළ ඔබට අමතක නොවන සිදුවීම කුමක්ද? වසර 29 ක සේවා කාලය තුළ බොහෝ අත්දැකීම් ලබා තිබෙනවා. ඒ අතර මා කම්පාවට ලක් වූ සිදුවීමක් තියෙනවා. විශාල කැලයක් මැද්දේ දී කාන්තා මළ සිරුරක් සමග අවුරුදු 2 ක් වයසැති දරුවෙක් අපට හමුවුණා. මළ සිරුරේ අනන්‍යතාව සොයාගන්න අපට දින 2 ක් ගත වුණා. මේ දින දෙකේදීම සිඟිති දැරිය පොලිස් නිලධාරින්ගේ ආදරය කරුණාව මත හිටියේ. පොලිස් නිලධාරින්ගේ දරදඬු හිත් මෙලෙක් වුණා මේ සිඟිති දැරිය නිසා. පොලිස් නිලධාරින් තුළ විශාල පරිවර්තනයක් සිදු වුණු බව අපි දැක්කා. මේ දැරිය නිලධාරින්ට කොච්චර ළං වුණාද කිව්වොත් පියා සමග නැවත ගෙදර යාමටත් අකැමැත්තක් දැක්වූවා. මේ සිදුවීමෙන් පස්සේ මම ඒ කාරණය මුල්කරගෙන පොලිසිය හා ජනතාව සම්බන්ධ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූවා. ‘‘බාල මිත්‍ර යෝජනා’’ නමින් හැඳින්වුණු මෙම වැඩසටහන ජනතාව අතර ඉතාම ජනප්‍රිය වුණා. කුඩා ළමුන් පොලිසිය හා ඉතාම මිත්‍රශීලී වුණා. ඔවුන්ට විවිධ වැඩසටහන් මගින් බොහෝ දේ කියා දුන්නා. ඒ වගේම නිලධාරින් තුළත් මේ කුඩා දරුවන් නිසා ආකල්පමය වෙනසක් සිදු වුණා. මේ නිසා පොලිසියත්, ජනතාවත් අතර තිබුණු දුරස්ථ බව බොහෝ දුරට අඩු වී මිත්‍රශීලී වාතාවරණයක් ඇති වුණා. පොලිස් සේවයේ දී ඔබ මුහුණ දුන් ත්‍රාසජනක සිදුවීම කුමක්ද? වාමාංශික අන්තවාදී කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගිය අවි ගබඩාවක් වටලන්න අපට සිදු වුණා. එහි මූලිකත්වය ගත්තේ මම. මෝටාර්, රොකට් ලෝන්චර්ස් වගේ දේවල්වලින් ගබඩාව පිරී තිබුණා. අපි ගබඩාව වට කළ බව දැනගත් ඔවුන් අපිත් එක්ක සටනට ආවා. අපේ නිලධාරියෙක් අතේ තිබුණු පිස්තෝලයත් අරගෙන හතරට අතට වෙඩි තියමින් පැය 2 ක පමණ කාලයක් සටන් වැදුණා. අවසානයේ අපට පුළුවන් වුණා ඔවුන් මෙල්ල කරගන්න. ඒ සඳහා මට වීර පදක්කමක් පවා ලැබුණා. පොලිස් සේවය තුළ ඔබ විසින් ආරම්භ කළ විශේෂ වැඩසටහනක් තියෙනවද? ඔව්. ‘‘පරාවාර්, පරාමාෂ් කේන්ද්‍ර’’ යනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මට පුළුවන් වුණා. ඉන්දියාවේ ඉතාම දරුණු ලෙස නැන්දම්මා ලේලි සටන තියෙනවා. බහුතරයක් විවාහක කාන්තාවෝ මෙම ගැටුමට මුහුණ දෙනවා. ඒ වගේම ඉන්දියාවේ නීතිය හරිම බලවත්. කාන්තාවක් දිගින් දිගටම පැමිණිලි දමමින් පුරුෂයාට හෝ නැන්දම්මාට එරෙහි වුණොත් එයින් ඉතාම භයානක තත්ත්වයක් මතු වෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ තමයි මෙම පරවාර් පරාමාෂ් කේන්ද්‍රය පිහිටුවනු ලැබුවේ. දැන් මේ කේන්ද්‍රය නිසා හුඟක් දුරට නැන්දම්මා, ලේලි සටන් අඩුවෙලා. ප්‍රශ්නයකට මුහුණ දෙන විවාහක කාන්තාව පොලිසියට පැමිණිලි කරනවා වෙනුවට පිහිටක් බලාපොරොත්තුවෙන් එන්නේ මේ ආයතනයට. අපට පුළුවන් වෙලා තියෙනවා එහිදී ඔවුන් සමග එකතු වී කටයුතු කර පවුල් ආරක්ෂා කර යහපත් ප්‍රතිඵල ලබා ගන්න. ඉන්දීය පොලිස් සේවය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? ඔව්. මුලින් කියූ පරිදි අතීතයේ තිබුණේ පොලිසිය ජනතාව පාලනය කරන තත්ත්වයක්. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. දැන් ඉන්දියාවේ තියෙන්නේ ජනතාව පාලනය කරනවා වෙනුවට ජනතාවට සේවය කරන පොලිසියක්. වැදගත්ම කාරණය තමයි පොලිසිය තුළ ක්‍රම ක්‍රමයෙන් ඇතිවුණු මේ තත්ත්වය වර්තමානයේ දී ඉතාම හොඳ දිසාවක් කරා ගමන් කරමින් තිබීම. ඉන්දියාව ලෝකය තුළ මහ බලවතෙක් වුණත් පොලිසිය තවමත් ප්‍රාථමික තත්ත්වයක තිබෙන්නේ. ඇයි එහෙම වුණේ? එහෙම තත්ත්වයක් දැන් දකින්න නැහැ. දැන් පොලිස් සේවය සඳහා සියලු බඳවා ගැනීම්වලදී අධ්‍යාපනයට හා බුද්ධිමත්කමට තමයි ප්‍රධාන තැන හිමිවන්නේ. මේ තත්ත්වය තුළ පොලිස් සේවයේ කිසිම මට්ටමේ තනතුරකට නුසුදුස්සකුට ඇතුළුවීමට ඉඩක් නැති වී තිබෙනවා. ඒ නිසා ඉබේම පොලිස් සේවයෙ ගුණාත්මක අගය වැඩිදියුණු වී අතීතයට වඩා ඉතාම අර්ථවත් මෙන්ම බලසම්පන්න පොලිසියක් නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ වඩාත්ම සිදුවන්නේ මොන වගේ අපරාධද? වැඩියෙන්ම තියෙන්නේ සුළු අපරාධ. පික්පොකට් වගේ ඒවා. හැමදාම හැමතැනම තියෙනවා. සංවිධානාත්මක අපරාධ ප්‍රමාණය අනිත් රටවල් හා සසඳන කොට ඉතාම අඩු ප්‍රතිශතයක් ඉන්දියාවේ තියෙන්නේ. ශාරීරික අපරාධ සහ දේපොළ අපරාධ වශයෙන් අපරාධ කොටස් දෙකකට බෙදෙනවා. මිනීමැරුම් සහ බලහත්කාරකම් ආදී අපරාධ ගැනෙන්නේ ශාරීරික අපරාධ ගණයට. ඉතිරිය දේපොළ අපරාධ. මෙයිනුත් දේපොළ අපරාධ තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. වර්තමානයේ දී ඉන්දියාව පුරාම වැඩියෙන් දකින්න තියෙන්නේ අන්තර්ජාල අපරාධ (Cyber Crime) මේ අපරාධ දිනෙන් දිනම ඉහළ යන තත්ත්වයක් තිබෙන්නේ. ඉදිරියේදී මේ සඳහා අලුතින් නීති රීති එකතු වේවි. මුළු මධ්‍ය ප්‍රදේශයම සීසීටීවී කැමරා මගින් ආවරණය වෙනවා. ලංකාවේ පොලිසිය ගැන ඔබට යම් අදහසක් තිබෙනවද? ලංකාවේ පොලිසියත් හොඳින් ක්‍රියාත්මක වන බව පෙනුණා. පසුගියදා මම අනුරාධපුරයේ සංචාරය කරන අතරතුරදී දැක්කා ඇක්සිඩන්ට් එකක්. මම ඒ ගැන විමසිලිමත් වුණා. අසල සිටි පොලිස් නිලධාරින් ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා මම දුටුවා. හැබැයි පොලිස් ස්ථාන වෙත යන්න හෝ පොලිස් නිලධාරින් හමුවෙන්න අවස්ථාවක් මට ලැබුණේ නැහැ. සමස්ත ඉන්දියාව තුළම කොපමණ නිලධාරින් ප්‍රමාණයක් පොලිස් සේවයේ යෙදෙනවද? ඉන්දියාව ඉතාම විශාල රටක්, මධ්‍ය ප්‍රදේශය පමණක් විශාලත්වයෙන් ලංකාව වගේ තුන් ගුණයක්. මෙවැනි විශාල රටක පොලිසියේ ක්‍රියාත්මක වීම ඔබට හිතාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතන විදිහට එම ප්‍රමාණය බොහෝ විට මිලියන 10 කට පවා වැඩිවිය හැකියි. ඔබේ රටේ පොලිසිය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න මොනවද? ප්‍රධානම ප්‍රශ්නය පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ට අවශ්‍ය සුබසාධන කටයුතු නිසි පරිදි ඉටු නොවීම. නිවාස ප්‍රශ්නය සහ දරුවන්ගේ අධ්‍යාපනය අාදී ප්‍රශ්නවලදී ඔවුන් විශාල ලෙස පීඩාවට පත් වෙනවා. පොලිස් සේවයේදී ඔබ ලබා ඇති ඇගයීම් මොනවද? ඉන්දියානු රජය විසින් පිරිනමන Meritorious සහ Gallantry විශේෂ පදක්කම් මම ලබාගෙන තිබෙනවා. Meritorious Meddal from Persident of India Gallantry Meddle From President of India. ඔබ සාහිත්‍යයට ලැදි පවුලක සාමාජිකාවක්. ඒ සම්බන්ධය මොකක්ද? රබීන්ද්‍රනාත් තාගෝර් තරම්ම ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත් වූ නාගර්ජුන් පඬිතුමා මගේ මාමා. අම්මාගේ සහෝදරයා. ඔහු ලංකාවෙත් ඉතාම හිතවතෙක්. මගේ මව ආචාර්ය ඌෂා කිරන් ඛාන් Ushakiran Khan ඉන්දියාවේ ප්‍රසිද්ධ කිවිඳියක්. ඇයත් බොහෝ පතපොත ලියලා තියෙනවා. දීප්ති ප්‍රමිතා අධිකාරි
 

More News..