brand logo

චාල්ස් කුමාරයා වෙනුවෙන් කළු සල්ලි සුදු කළහැටි

12 November 2019

එය අතිශයින්ම පෞද්ගලිකවූත්, සුහදශීලීවූත් ප්‍රිය සාදයක් විය. බ්‍රිතාන්‍යයේ පිහිටි පෞරාණික වදැගත්කමකින් යුතු ඩම්ෆ්‍රීස් මන්දිරයේ පැවති මෙම සාදයේ සත්කාරකවරයා වූයේ බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන්නට සිටින වේල්සයේ චාල්ස් කුමරුය. සාදයේ අරමුණ වුණේ ණය බරින් මිරිකී තිබුණු චාල්ස් කුමරුගේ එක්තරා පුණ්‍යාතන පදනමක් ඉන් නිදහස් කරන්නට නොමසුරුව මුදල් ලබාදුන් පරිත්‍යාගශීලීන්ට කෘතගුණ දැක්වීමයි. නමුත් මේ පරිත්‍යාගශීලීන් ප්‍රකට කළ නිර්ලෝභීත්වය අවංක චේතනාවෙන් සිදුකරන ලද්දක්ද යන්නට කසුකුසු නැඟෙන්නට වැඩි කලක් ගියේ නැත. 2014 වසරේදි පැවති මෙම සාදයේ නොදත් පැතිකඩක් ගැන තතු හෙළිවන්නට ගත්තේ මෑතකදීය. ආගන්තුක පිරිස අතර සිටි රුසියානු ව්‍යාපාරිකයන් පිරිසත්, මුදල් පරිත්‍යාග කරන්නට ඔවුන්ව උසිගැන්වූ ප්‍රකට ධනපතියකු වන ‘රූබන් වර්ධන්යාන්ගේ‘ පැටිකිරියත් කරළියට ආවේ චාල්ස් කුමරුගේ පුණ්‍යාතනය, රුසියානු කළු සල්ලි සුදු කිරීමේ මාෆියාව නැමැති සංකීර්ණ ශාඛා ජාලයේ කෙළවරකට ඈඳමිනි. ලිතුවේනියාවේ  ‘උකියෝ‘ නැමැති බැංකුවෙන් පිටතට කාන්දු වූ ගිණුම් වාර්තා මෙවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වකට මඟ පෑදුවේ කෙසේද යන කතාව ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවකට නොදෙවෙනි කුතුහලාත්මක වින්දනයක් ගෙනෙන්නකි. කතාවේ ප්‍රධාන චරිත දෙක වන වේල්සයේ චාල්ස් කුමරු හා රූබන් වර්ධන්යාන් අතර මිතුදමක් ගොඩනැඟෙන්නේ 2009 නොවැම්බර් මාසයේදි පමණය. ඒ වර්ධන්යාන් චාල්ස් කුමරුගේ පුණ්‍යාතන පදනමට ඇ. ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමත් සමඟය. පරහකට හිටියේ මේ සා දැවැන්ත පරිත්‍යාගය සිදුකෙරුණේ රුසියානු ධන කුවේරයාගේ පෞද්ගලික ගිණුමකින් නොව බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්වල ලියාපදිංචිකොට තිබුණු  ‘ක්වන්ටුස් ඩිවිෂන්‘ නැමැති ‘කවච සමාගමක‘ ( Shell company ) නමින් ලිතුවේනියාවේ උකියෝ බැංකුවේ අරඹා තිබූ ගිණුමකින් වීමය. ධනකුවේරයෙකු මෙන්ම දානපතියකු ලෙසද කීර්තියට පත්ව සිටින වර්ධන්යාන් මේ කියන කාලයේදී ‘ට්‍රොයිකා ඩයලොග්‘ නමින් ආයෝජන බැංකුවකද හිමිකරුව සිටියේය. එසේ සිටියදීත් හිතමිතුරු චාල්ස් කුමරුගේ ගැලවිල්ලට වර්ධන්යාන් ධන පරිත්‍යාග ලබාදී තිබුණේ ලිතුවේනියාව වැනි අප්‍රකට රටක පිහිටි බැංකු ගිණුමකින් වීම සැකමුසු කුතුහලය අවුස්සන කරුණක් විය. අවස්ථා තුනකදී එලෙස ලිතුවේනියානු බැංකුව හරහා ‘ක්වන්ටුස් සමාගම‘ ඇ.ඩොලර් 200,000 ක් ලබාදී තිබිණි. “මම මගේ බැංකුවේ  නිලධාරීන්ට වේල්සයේ කුමරුගේ පදනමට අරමුදල් යවන්න කියලා උපදෙස් දීපු එක විතරයි කළේ. අරමුදල් එන්නේ කොහෙන්ද, ඒවා යවන්නේ කොහොමද කියන එක මම මහා ලොකුවට හොයන්න ගියේ නැහැ.’’ වර්ධන්යාන් ලොකුවට හෙව්වේ නැතත් ‘සංවිධානගත අපරාධ හා දූෂණ වාර්තා කිරීමේ ව්‍යාපෘතිය’ ( Organized Crime and Corruption Reporting Project ) ලිතුවේනියාවේ වෙබ් සමාගමක් හා එක්ව රුසියානු කළු සල්ලි  ඇමරිකානු සුදු ඩොලර් බවට පරිවර්තනය කිරීමේ අයථා යාන්ත්‍රණය ගැන ලොකුවට විමර්ශනයක් කර තිබිණි. රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ ධුර කාලයේදි එරට සිදුවූ කුප්‍රකට වංචාවන් ගණනාවකින් ඉනූ කළු සල්ලි ඩොලර් බිලියන 4. 6 ක් රුසියාවෙන් මෙහෙයවූ අක්වෙරළ සමාගම් හැත්තෑවකට අයත් ලිතුවේනියා බැංකු ගිණුමක් හරහා යුරෝපයට මෙන්ම ඇමරිකාවටද ප්‍රවාහනය කර ඇති බව හෙළිවුණේ ඒ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය. එය ජාත්‍යන්තර බැංකු ගිණුම් ඉතිහාසයෙන් වාර්තාවූ රහසිගත ගිණුම් වාර්තා පිටතට කාන්දුවීමේ දැවැන්තම සිදුවීමක්ද විය. අද වන විට ට්‍රොයිකා ඩයලොග් ආයෝජන බැංකුව රුසියාවේ වන දැවැන්තම රාජ්‍ය බැංකු දෙකක් විසින් පාලනයට පමුණුවාගනු ලැබ අවසන්ය. එය වර්ධන්යාන්ගේ පාලනය යටතේ තිබූ 2004 වසරේ සිට එහි කළමනාකරුවන් පිරිසක් විසින් රුසියානු ධන කුවේරයන්ගේ කළු සල්ලි රටින් පිට කරන්නට පවත්වාගෙන ගිය අක්වෙරළ කවච සමාගම් හැත්තෑවක එකතුව අද හැඳින්වෙන්නේ ‘ට්‍රොයිකා ලොන්ඩරිය‘ (Troika Laundromat) කියාය. ජාත්‍යන්තරයේ සුපිරි චරිත හා බ්‍රිතාන්‍ය රජ පවුල සමඟ මෙන්ම රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සමඟද සමීප සබඳතා පවත්වන ආර්මේනියානු ජාතික ධන කුවේර වර්ධන්යාන් නම් කියන්නේ රුසියානු වංචනිකයන්ගේ කළු සල්ලිවල පව් සෝදා හැරීමේ අරමුණින් යුරෝපා රටවල් අතර විසිරුවා හරින්නට දියත් කළ එවැනි ‘සේදුම් යාන්ත්‍රණයක්’ ගැන තමා හාංකවිස්සියක්වත් නොදන්නා බවයි. මීට දෙවසරකට පෙරදී ‘ෆෝර්බ්ස්’ සඟරාව විසින් රුසියානු ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක අනූනවයට නම් කළ වර්ධන්යාන්ගේ සහායෙන් චාල්ස් කුමරු ඩම්ෆ්‍රීස් මැදුර වෙන්දේසි වීමෙන් වළක්වා ගත්තා පමණක් නොවේ ඊට යාබදව පිහිටි ‘ද මෙයින්ස්’ නැමැති ගොඩනැගිල්ල සංචාරකයන්ට කුලියට දිය හැකි සුඛෝපභෝගී කාමර දහසයකින් යුතු නිවාඩු නිකේතනයක් බවටද පරිවර්තනය කරගත්තේය. ඒ වෙනුවෙන් කළගුණ සලකන්නට වර්ධන්යාන් ප්‍රමුඛ ඔහුගේ රුසියානු ව්‍යාපාරික සගයන්ට භෝජන සංග්‍රහයක් පැවැත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බව සිතූ චාල්ස් කුමරු නවීකරණය කළ මහල් ගොඩනැගිල්ල ‘ඩිලිජාන් ගොඩනැගිල්ල’ ලෙස අලුතින් බව්තිස්ම කළේය. ඒ වර්ධන්යාන්ගේ පරිත්‍යාගශීලීත්වයෙන් ආර්මේනියාවේ ඉදිකළ පාසලක් සිහිවීම පිණිසය. ට්‍රොයිකා ලොන්ඩරිය හෙවත් දූෂිත රුසියානු ධනපතීන්ගේ බදු ගෙවීම්වලට නතුනොවූ කළු සල්ලි බිලියන ගණනින් රුසියාවෙන් පිටකරන්නට ට්‍රොයිකා ඩයලොග් බැංකුව ගෙනගිය යාන්ත්‍රණය, නමින් කියැවෙන ආකාරයටම ක්‍රියාත්මක වූයේ රෙදි සේදුම් යන්ත්‍රයක් පරිදිය. 2004 වසරේ සිට අට වසරක් පුරා රුසියානු ධනපතින්ගේ මුදල් ඒවායේ හිමිකරුවන් කවුදැයි සොයාගැනීමට නොහැකි වන පරිදි අක්වෙරළ සමාගම් මෙන්ම බැංකු ගිණුම් ගණනාවක් අතර එහා මෙහා ‘කරකවමින්‘ කලවම් කිරීම කෙතරම් සාර්ථකව සිදුවුණාද යත්, අවසානයේදි නීත්‍යනුකූලව ඉපයූ මුදල්වලින් වංචනික මුදල් වෙන්කර ගැනීම උගහට විය. එලෙස පව් සෝදා හැරි මුදල් පුද්ගලික ජෙට්යානා, සුඛෝපභෝගි නෞකා, දේපළ, මහා මංදිර හා වතුයායවල් මිලදී ගැනීමටත්, නිවාඩු ගතකිරීමටත්, පාපන්දු තරග නැරඹීමට ටිකට්පත් මිලදී ගැනීම්, සුපිරි පාසල්වල පාසල් ගාස්තු ගෙවීම යනාදි විවිධාකාරයේ වැය ශීර්ෂයන් යටතේ වියදම් කෙරී තිබෙන්නේ නීත්‍යනුකූල විධිවිධානවලට යටත්වය. රුසියාවේ මාෆියාවලින් ඉනු රූබල්, යූරෝ හා ඩොලර් බවට පත්ව බටහිර ලෝකයට  පිටමං කිරීමේ ගනුදෙනු බහුතරයක් සිදුවුණේ ලිතුවේනියාවේ ‘උකියෝ‘ බැංකුව හරහාය. 2013 දී වසා දැමූ මෙම බැංකුව පිළිබඳ කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැත. එසේම ට්‍රොයිකා ලොන්ඩරිය හරහා සිදුකළ ගනුදෙනුවල වටිනාකම ඇ.ඩොලර් බිලියන 8.8 කට වැඩි මිස අඩු නැත. චාල්ස් කුමරුගේ පුණ්‍යාතනය මෙන්ම පුටින්ගේ අඹ යහළුවකු වන ‘සර්ගේ රොල්ඩුගින්ට’ ට්‍රොයිකා ඩයලොග් වෙතින් ඩොලර් මිලියන හැත්තෑවක් ලැබුණේද එවැනි වැය ශීර්ෂයක් යටතේය. පුටින්ගේ වැඩිමහල් දරුවාගේ ඥාන පියාද වන තරමට දුරදිග ගිය මිතුරුකමක් තිබෙන රොල්ඩුගින් වූකලී කලකට ඉහතදී ලෝකය හෙල්ලූ ‘පැනමා පේපර්ස්’ හෙළිදරව්වෙන් අක්වෙරළ බැංකු මගඩීන්ට සම්බන්ධ බවට ප්‍රකටවූවෙකි. රුසියානු ජනපති පුටින් වෙනුවෙන් බදුගෙවීම පැහැර හැරීමට රඳවාතබාගත් මුදල්වල වගඋත්තරකරු වූයේ ඔහුය. එවැනි පුද්ගලයකු ට්‍රොයිකා සමාගම්වලින් මුදල් ලබාගත්තේ ඇයිද යන්නට කළ විමසීම්වලදී වර්ධන්යාන් ලබාදී තිබුණේ ‘දන්නේ නැත’ යන පිළිතුරයි. එසේම වර්ජින් දූපත්වල පිහිටි ක්වන්ටුස් අක්වෙරළ සමාගමෙන් වර්ධන්යාන්ට ප්‍රතිපාදන සපයා තිබුණේ චාල්ස් කුමරුගේ පුණ්‍යතනය ණය බරින් නිදහස් කිරීමට පමණක් නොවේ. ට්‍රොයිකා ඩයලොග් බැංකුවේ ප්‍රිය සම්භාෂණයකට පොප් ගායක ‘ප්‍රින්ස්’ ගෙන්වා ගැනීමටද, වර්ධන්යාන්ගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීමටද හා ඔහු සහභාගිවූ ලෝක නායකයන්ගේ සමුළුවක් වෙනුවෙන්ද ආදී වශයෙන් අවස්ථා ගණනාවකදී වර්ධන්යාන් වෙනුවෙන්  ඩොලර් මිලියන ගණනක් මෙම අක්වෙරළ සමාගමෙන් වැයකොට තිබේ. තත්ත්වය එසේ තිබියදීත් ට්‍රොයිකා ලොන්ඩරියට වංචනික ක්‍රමවලින් ඉපයූ මුදල් ලැබුණු බවක් තමා දන්නේ නැත යන ස්ථාවරය වර්ධන්යාන් වෙනස් කළේම නැත. ලෝකයේ සතරදිග් භාගයේ සිටින ඉහළපෙළේ දූෂිත නිලධාරින් දිළිඳු රටවලින් අයථා මාර්ගවලින් වංචනික ලෙස ගරාගන්නා මුදල් දියකර හැරීමට තෝරාගන්නා රටක් ලෙස එක්සත් රාජධානිය ප්‍රකටව තිබෙන්නේ අද ඊයෙක සිට නොවේ. එහෙව්කොට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් පවත්වාගෙන යන, චාල්ස් කුමරුගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මකවන පුණ්‍යායතනයක්ද එවැනි සංකීර්ණ ජාලයක කෙළවරකට ඈඳීම අරුමයක් නොවේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නැමැති දූෂණ විරෝධී ව්‍යාපාරය විසින් පසුගියදා සිදුකළ අනාවරණයකට අනුව එලෙස සැකසහිත වංචනික මුදල් රට තුළට ගෙනඒමට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය සමාගම් හා පුද්ගලයන්ගේ ලැයිස්තුව පන්සිය අසූදෙකක් දක්වා දුරකට විහිදෙන්නකි. එවැනි මුදල් ගනුදෙනු සිදුකළ කවච සමාගම් දාහත්දහසක් අතරින් එක්දහස් හාරසිය පනස්පහක්ම ලියාපදිංචිකොට තිබෙන්නේ බර්මිංහැම් නුවර තැබෑරුමක ඉහළ මාලයේ වූ කාර්යාලයක නමටය. කළු සල්ලි මාෆියාවේ පැටලුණු එවැනි තවත් ප්‍රකට පුද්ගලයෙකු වන්නේ මෝල්ඩෝවා හිටපු අගමැති ‘ව්ලැඩ් ෆිලැට්ගේ‘ තරුණ පුතු වන ව්ලැඩ් ලුකා ෆිලැට්ය. ලන්ඩනයේ ‘සිටි විශ්වවිද්‍යාලයේ’ ඉගෙනුම ලබමින් සිටින හේ එක්සත් රාජධානියේ ගතකරන සුඛෝපභෝගි ජීවිතයට දවසක කුළිය පවුම් දහසක්වූ මංදිරයක්ද, පවුම් 200,000 ක් වටිනා බෙන්ට්ලි බෙන්ටයාගා වර්ගයේ සුපිරි මෝටර් රථයක්ද ඇළත්ය. මේ අධිසුඛෝපභෝගි ජීවිත රටාවට ඇවැසි මුදල් ලැබී ඇත්තේ කේමන් දිවයින ඇතුළු විදෙස් රටවල් කිහිපයක වූ දැවැන්ත අක්වෙරළ බැංකු ගිණුම්වලිනි. ගහේ කටු උල්කරන්න ඕනෑ නැතිවාක් මෙන් තරුණ ෆිලැට් සම්බන්ධයෙන් මෙය අරුමයක් නොවන්නේ ඔහුගේ පියාද ‘සියවසේ මහා හොරකම’ ලෙස විරුදාවලී ලැබූ දැවැන්ත වංචාවකට සිරදඬුවම් ලබමින් සිටින්නෙකු බැවිනි. එක්සත් රාජධානිය හරහා සිදුකෙරෙන කළු සල්ලි සුදු කිරීමේ යාන්ත්‍රණයෙන් ඵල ප්‍රයෝජන ලැබූ තවත් අයෙකු වන්නේ සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ ඥාති දියණියක වන ‘අනීෂ් චව්කාත්ය‘. අල් අසාද්ගේ නැඟණියගේ දියණිය වන ඇයට අයත් පවුම් 25,000 ක් මෙම වසර මුලදී ජාතික අපරාධ ඒජන්සිය විසින් රාජසන්තක කොට තිබිණි. ලන්ඩනයේ  University of Arts  හි මෝස්තර නිර්මාණ ශිල්පය හදාරමින් සිටින ඇය කේම්බ්‍රිජ්හි පදිංචිව සිටි නිවසේ කුළිය පමණක් වසරකට පවුම් 60,000 ක් බව කියැවේ. ජාත්‍යන්තර තලයේ අල්ලස් හා දූෂණ සිද්ධීන් හාරසියයකට අධික සංඛ්‍යාවක් විශ්ලේෂණය කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිදුකළ අනාවරණවලින් මේ අල්ප මාත්‍රයක් පමණි. අයථා මාර්ගවලින් සුපිරි බලවතුන් පොදිගසන වංචනික මුදල් බහුතරයක් දිළිඳු රටවල රාජ්‍ය භාණ්ඩාගාර සූරා ලබාගත් ඒවාය. ඒවායේ අවසන් ලැගුම්පළ වන්නේ අක්වෙරළ බැංකුය. නැතහොත් යටිමඩිගැසූ මුදල්වලින් කරකියාගත දෙයක් නොමැතිව මිලදී ගන්නා ජෙට් යානා හා නෞකාය. ඒත් නැතිනම් සුඛෝපභෝගි මහා මැදුරුය. මිල කළ කොහැකි වටිනාකමින් මෙන්ම පෞරාණික වැදගත්කමකින් යුතු කලාකෘති හා මිණි අභරණද  ඒ අතර නැතුවා නොවේ. රුක්ලන්ති පෙරේරා
 

More News..