brand logo

චාල්ස්ගේ මරණය මිනීමැරුමක්- නඩුව කඩිනම් කරන්න

03 September 2020

ඝාතනයක් බවට සැක කෙරෙන සිය පුත්‍රයාගේ මරණය පිළිබඳව පැවැත්වෙන නඩු විභාගය කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ජාතික මේරියන් ඉන්ඩියා බෙයාර් නම් කාන්තාව නීතිපති දප්පුලද ලියේරා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ. මෙම නඩුව මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණයක විභාග වෙමින් පවතී. මේරියන්ගේ පුත්‍රයා 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. ඔහු ප්‍රතිකාර වෙනුවෙන් යොමුව ඇත්තේ කළුතර පිහිටි ඔස්ට්‍රේලියානු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මෙරට ශාඛාවක් වෙතය. 37 හැවිරිදි චාල්ස් ජීවන් ​බෙයාර් නමැති මේරියන්ගේ පුත්‍රයාගේ සිරුර 2018 වර්ෂයේ ජනවාරි මාසයේදී කොළඹ උද්‍යානයකදී සොයාගනු ලැබීය. චාල්ස්ගේ මරණයෙන් දින කිහිපයකට පසුව කළුතර අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසා දමා එහි ප්‍රතිකාර ලැබූ සෙසු විදේශීය පුද්ගලයන් ඔවුන්ගේ රටවලට යවා ඇති බවත් එහි සිටි ඔස්ට්‍රේලියානු කාර්ය මණ්ඩලයද ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඇති බව අනාවරණය වී ඇත. චාල්ස්ගේ මරණය මිනීමැරුමක් සේ සලකා පොලිසිය විසින් විමර්ශන මෙහෙයවා තිබේ. මේ අතර අදාළ ඔස්ට්‍රේලියානු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශීය හවුල්කරු ලෙස කටයුතු කළ ආයතනයකට එරෙහිවද පොලිසිය වෙනම නඩුවක් ගොනු කර තිබේ. චාල්ස්ගේ මෘත ශරීරය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ හිසට සහ බෙල්ලට සිදුකළ පහරදීමකින් මරණය සිදුව ඇති බවයි. මේ අතර පොලිස් වාර්තාවන්ට අනුව මෙම මරණයට කිසිදු ශ්‍රී ලාංකිකයකු සැක කෙරී නැත. චාල්ස්ගේ මව වන මේරියන් මෙම නඩුව මහාධිකරණයක් වෙත මාරු කර කඩිනම් කරන ලෙස නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
 

More News..