brand logo

චානුක රත්වත්තේගේ නඩුව ඔක්තෝබර් 29 වැනිදා දක්වා කල්යයි

27 August 2019

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියක් නොමැතිව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නීතිපතිවරයාට දැනුම් දුන්නේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන ලේඛන ගොනු තමන්ට පරික්ෂා කිරීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ දැනුම් දුන්හ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන අතර ඉදිරි විමර්ශන වලට අදාල ඉතාම සංවේදී ලේඛනද ඇතුලත්ව තිබෙන හෙයින් එම ලේඛන නොමැතිව සෙසු ලේඛන පරික්ෂා කිරීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බව දන්වා සිටියේය. ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛණ පරික්ෂා කිරීමට ඉඩ දෙන ලෙස පැමිණිල්ලට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නඩුව නැවත ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙසත් එදින මෙම නඩුවේ විභාගය ආරම්භ කරන දිනය නියම කරන බව දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියක් නොමැතිව "එන්ට්‍රස්ට්" නැමැති මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් බැංකු පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරනු ලැබ තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..