brand logo

චරිත තුන්සීයකට වඩා ප්‍රතික්ෂේප කරලා තියෙනවා

17 January 2021

මස් වැද්දෙකුගේ දැවැන්ත ශරීරය ඇතුළේ සංවේදී මනුස්ස හිතකට ඉඩක් තියෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්නයට ලක්ෂ්මන් මෙන්ඩිස් කබරාගේ චරිතය ඇසුරින් අපූරු පිළිතුරක් ලබා දී තිබෙනවා. ‘මහාපොළොවෙ’ හි කබරා සමග මොහොතක් කතා කරන්න සිතුණා.

ලක්ෂ්මන් ඔබට කබරා ගැන කියන්න තියෙන කතාව මොකක්ද? කබරා ගැන මට කියන්න තියෙන කතාව මම මෙතනින් පටන් ගන්නම්. නුවර කලාවියේ සේවයේ කරපු ධර්මසේන පතිරාජගේ සමීප මිත්‍රයෙක් මුහුණු පොතේ කබරා ගැන සටහන් කර තිබුණා, ඔහු නුවර කලාවියේ සේවය කරන සමයේ කබරා වැනි චරිතයක් දකින්න ලැබුණා කියල. ඇත්තටම කබරා වැනි චරිත මේ මහපොළව මත ජීවත් වුණා සහ තවදුරටත් ජීවත් වෙනව. ‘මහ පොළොව’ නව කතාව ලියූ ශාන්ති දිසානායක හා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුමිත් රත්නායක නුවර කලාවියේ ජීවත් වුණ අය. ඔහුට වුවමනා වුණා ඒ පරිසරයෙහි සැබෑවටම මෙම නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයා කරා රැගෙන යන්න. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි කබරා ඇතුළුව මේ සෑම චරිතයක්ම ගොඩනැගෙන්නේ. ඇත්තම කියනවා නම් කබරා මගේ රංගන දිවියේ මගහැර යා නොහැකිම චරිතයක්. මොකද මේ චරිතය මගේ ළඟට ආවේ මීට අවුරුදු හතරකට කලින්. නමුත් නිෂ්පාදන කටයුතු පමාවෙලා නැවත අවුරුදු හතරකට පස්සේ මේ චරිතය කරන්න යළිත් ඔහු මාව හොයාගෙන ආවා. ඒ වෙලාවේ මං ඇහැව්වේ මල්ලී, මට දැන් මේක කරන්න පුළුවන්ද කියලයි. ඔව්, අයියා. මේක කොහොම හරි කරන්නම ඕන කියන එකයි අධ්‍යක්ෂකවරයාගේ පිළිතුර වුණේ. ලක්ෂ්මන් මෙන්ඩිස් අපට නිතර දකින්න නොලැබෙන නළුවෙක් වීමට හේතු කාරණා මොනවද? අනිවාර්‌යෙන්ම චරිත භාරගැනීමේදී තෝරන්න වෙනව. මම ටෙලි නාට්‍ය රංගනයට එන්නේ 1985 දි. මේ දක්වා චරිත 75 යි කරල තියෙන්නේ. මම චරිත 75 ක් තෝරගනිද්දි චරිත තුන්සීයකට විතර බැහැ කියලා ඇති. එක දවසක් තුළ මම නිර්මාණ හතරකට බැහැ කියලා තියෙනව. මම තෝරගත්ත හැම චරිතයක්ම විශේෂයි. ඒ හැම චරිතයක්ම අවසානයේ දාලා එන්න හිතෙන්නේ නැති තරමට මා තුළ චරිතයට ආදරයක් දැනෙන්න ගන්නවා. ඔබට මෙහෙම තෝරගෙන රඟපාන්න ලැබිලා තියෙන්නේ ඔබ ව්‍යාපාරිකයෙක් නිසා නේද? ඔව්, මගේ තාත්තා නැතිවුණාට පස්සේ මම වෙළෙඳ ව්‍යාපාරයක හිමිකරුවෙක් බවට පත්වෙනවා. එම ව්‍යාපාරය ගැනත් බලා කියා ගන්න මට කාලය අවශ්‍යයි. ඒ අතර මම භාරගන්න චරිත ඉතාම හොඳින් කරන්න වගබලා ගන්නවා. ඒක මගේ වගකීමක්. ඉතින් මම ඒ වැයකරන කාලය ගැන මට කලකිරීමක් ඇතිවෙනවා කියලා දැනෙන දෙයක් මම භාරගන්නෙ නැහැ. මම චරිතය අතහරිනවා නම් ඒක කෙළින්ම කියනවා. ඉතාම විශේෂ වූ චරිත විතරයි මම භාරගන්නේ. දැන් මගේ වයස 65ක් වෙනවා. අපිට තව ලොකුවට කාලය ඉතිරි වෙලා නැහැ. ඉතිරිවෙලා තියෙන කාලය ඉතාම හොඳින් කළමනාකරණය කරගෙන හොඳ දේවල් සඳහා යොදාගන්න වෙනවා. කලක් ඔබ මැණික් ව්‍යාපාරිකයෙක් ලෙසත් ප්‍රසිද්ධව සිටියා නේද? මගේ ඉතිහාසය බැලුවොතින් මම ඉස්සරලාම කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙක්. මගේ තාත්තා දේශපාලනය කළා. එතුමා ලංකා සමසමාජ පක්ෂයේ සමාජිකයෙක්. තාත්තගේ මිත්‍රයෙක් හිටියා කහවත්තේ, ඔහුගේ මගපෙන්වීම මත මම මැණික් විද්‍යාව ඉගෙනගෙන අවුරුදු 11ක් මැණික් ව්‍යාපාර කළා. මගේ පොල්හේන්ගොඩ ගෙදර ළඟම තමයි විජය කුමාරතුංග, ධර්මසේන පතිරාජ එහෙම පදිංචි වෙලා හිටියේ. ඔවුන්ගේ ඇසුර සමග කවදාහරි නාට්‍ය කරන්න ඕන කියලා තිබුණ කැමැත්තෙන් ඉස්මතු වුණා. ඔය කාලේ තමයි ධර්මසේන පතිරාජ මාව ඔහුගේ නිර්මාණවලට ගත්තේ. ජනප්‍රියත්වය කියන සාධකය නළුවෙක් විදිහට ඔබට කොයි තරම් වැදගත්ද? සමහර වෙලාවට ඇතැමුන් මගේ නම් දන්නෙ නැහැ. පාරෙ යද්දි අන්න අර නළුවා යනවා කියනවා. එහෙම නැත්නම් ජුණ්ඩයියා දණ්ඩා වගේ මම කළ චරිතවලින් මාව හඳුන්වනවා. එවැනි අවස්ථාවලදි මම ලක්ෂ්මන් මෙන්ඩිස් කියලා ලොකුවට සමාජයට හඳුන්වලා දෙන්න යන්නේ නැහැ. කොරෝනා තත්ත්වය එක්ක පොදුවේ කලාකරුවන්ට විඳින්න සිදුවෙන දුෂ්කරතා ඔබටත් බලපෑවද? මේ දවස්වල මම විතරක් නෙවෙයි සියලුම නළු නිළියන්. අධ්‍යක්ෂවරු, සහාය අධ්‍යක්ෂවරු, අංග රචනා ශිල්පීන්, කැමරා ශිල්පීන් ආදී මේ ක්ෂේත්‍රයේ නිරත වන සියලුම කලාකරුවන්ට ලොකු ප්‍රශ්න තියෙනවා. ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ නාට්‍යය විකාශනය වෙලත් අවුරුදු එක හමාරක් ගෙවිලත් එය විකාශය වුණ ජාතික නාළිකාවෙන් නාට්‍යයට ගෙවිය යුතු මිලියන හතක් ගෙවලා නැහැ. ඒකෙන් මටත් මුදල් ලැබෙන්න තියෙනවා. මේ දිනවල විකාශය වන ‘කැන් යූ හියර් මී’ නාට්‍යයේ ලක්ෂ 128 ක් අදාළ නාළිකාවෙන් ලැබෙන්න තියෙනවා ඒ එවැනි තත්වයනුත් ඉවසාගෙන දුක් ගැහැට විඳිමින් කලාකරුවන්ට නිර්මාණ කරන්න වෙලා තියෙන්නේ. මේව ජනතාවට හෙළි කරන්න ඕනෑ. කවුරුත් නොදන්න ඔබගේ පුද්ගලික දිවියේ වගතුග ටිකක් පවසන්න... මගේ බිරිඳ ගීතා ශ්‍යාමලී. ඇය බළන්ගොඩ ප්‍රදේශයේ කෙනෙක්. ඇය තමයි මම රංගන කටයුතුවලට ගියාම පිටකොටුවේ තියෙන මගේ වෙළෙඳ ව්‍යාපාරයේ කටයුතු බලා කියා ගන්නේ. මගේ මේ ගමනට ඇයගෙන් ලොකු සහායක් ලැබෙනවා. අපේ පුතා මොරටුව විශ්වවිද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳව හදාරලා මැණික් ව්‍යාපාරයට යොමුවෙලා ඉන්නවා. දුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලට අනුබද්ධව මනෝ විද්‍යාව හදාරනවා. ඇය ඩිප්ලෝමාව අවසන් කරලා ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවතිර්ණ වෙලා සිටින්නේ. ව්‍යාපාර, රංගනය, මගේ පවුල හැරුණම මගේ ජීවිතය හා බැඳුණ සමාජ කටයුතු ටිකකුත් තියෙනවා. ජාතික සංස්කෘතික ආයතනයේ ලේකම්වරයා විදිහට කටයුතු කරගෙන යනවා. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..