brand logo

චරිතෙට සෙට් වුණේ නැතිනම් අත්හැරල දානවා

04 August 2020

කූඹියෝ නාට්‍යයෙහි ප්‍රියන්ත මහඋල්පත ලෙසින් අතිශය ජනාදරයට ලක්වූ කලණ ගුණසේකර, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නළුවෙක්, ඒ වගේම තිර රචකයෙක්, කෙටි චිත‍්‍රපටකරුවෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඒ විතරක් නෙවෙයි රංගනය උගන්වන ගුරුවරයෙක්... ඔහුගේ පිටපතකට ඔහුගේම රංගනය එක්වූ අපූරු සිනමා නිර්මාණය සූස්ති... තාමත් ප්‍රියන්ත මහඋල්පතගම ට ප්‍රතිචාර තියෙනවා නේද? ඇත්තටම කලණ ගුණසේකර ට වඩා ප්‍රියන්ත මහඋල්පතගම තමා බොහෝ පිරිසක් දන්නේ, ඒ වගේම ගිනි අවි එකේ සුන්නා කියලත් සමහරු දන්නවා. ඉතින් මාව හඳුනා ගන්නේ ඒ චරිත දෙක හරහා නිසා ඒවා මට වඩා ප්‍රසිද්ධයි. මුලින්ම විකාශය වූ ටෙලි නිර්මාණ ගැන මතක් කළොත්, මට මතක හැටියට මේ වසන්ත කාලයයි කියන එක. සිනමාවේ මුල්ම නිර්මාණය මොකක් ද? මුලින්ම රඟපාපු ෆිල්ම් එක කොහෙද කියලාවත් දන්නේ නැහැ. ප්‍රධාන චරිතයක් කියලා මම මුලින්ම කළේ මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා කියන එකේ. ඒක තමා මම කරපු දැනෙන චරිතය සහ බලපු සුළු පිරිසකගෙන් වැඩිම ප්‍රතිචාරයක් ලැබුණු චරිතය. මේ වෙද්දී චිත්‍රපට කීයක විතර රඟපාලා තියෙනවද? කෞශල්‍ය මාධව පතිරණගේ ඉක්කා. ජගත් මනුවර්ණගේ මුරුග සන්නිය. කසුන් පතිරණගේ නයිට් රයිඩර්. ප්‍රභාත් අංගම්පලගේ කැළණි කැම්පස් එකට කරපු වියසිදුර. එතකොට සිංහයා කියලා අපේ කෙනෙක් ඉන්නවා එයාගේ දිගු දුර මිසයිල. තව ඉතින් ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ සහ සුජීව ප්‍රියලාල් ගේ ෆිල්ම් වලත් රඟපාලා තියෙනවා. වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ වේදිකාවටද, පුංචි තිරයට ද, සිනමාවටද? එහෙම එකක් නැහැ. මම මේ මොහොතේ කරන්නේ මොකක්ද ඒකට තමා මගේ ෆෝකස් එක තියෙන්නේ. එහෙම නැතුව සිනමාවද වේදිකාවද ටෙලි නාට්‍ය ද කියලා මට විශේෂ වෙන්නේ නැහැ. ඒ ඒ මොහොතේ මම ජීවත් වෙන්නේ. චරිතයක් තෝරා ගන්නේ කොහොමද? මට චරිතය ගැන දැන ගන්න පිටපත ඕනේ. එතකොට මම නොදැනුවත්වම ඒ චරිත ඇතුළට ගන්නවා. එතකොට මම ඒක අතහරින්නේ නැතුව ඒක ඇතුළත ජීවත් වෙනවා. එහෙම නැති එකක් නම් මම කියවලා බලලා හරි කතා කරලා හරි ප්‍රතික්ෂේප කරනවා. මොකද හැම එකකම රඟපාන්න මට කම්මැලිකමකුත් තියෙනවා. අනික බාහිරෙන් පේනවට වඩා ලොකු මහන්සියක්, විඩාවක් තියෙනවා චරිතයක් කරද්දී. මට චරිතය සෙට් වුණේ නැත්නම් මම ඒ විඩාව ගන්න කම්මැලියි. මේ වෙද්දී කලණ වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ද? මම වෘත්තීය රංගන ශිල්පියෙක් තමයි. ඒත් ලංකාව වගේ රටක ඒක වෘත්තීයක් ද කියලා මටත් ප්‍රශනයක් තියෙනවා. මොකද දැන් අපි මේ ළඟදීත් කතා වුණේ, ඔබ නළුවෙක් විදියට අමාරුවෙන් නේද ජීවත් වෙන්නේ කියන එක ලංකාවේ දී විතරයි අහන්නේ. වෙන රටක නළුවෙක් ගෙන් එහෙම අහන්නේ නැහැනේ. මොකද මේක ඉතා අගනා වෘත්තියක් අපි මේ කරන්නේ. අනිකාට තවත් කෙනෙක් ගේ චරිතයක් බලන්න සලස්වනවා කියන්නෙම මුළු සිතුවිලිම වෙනස් වෙන දරුණු වෘත්තියක් මේක. නමුත් ඒ වෘත්තීයට ලංකාවේ තත්ත්වයක් ගොඩ නැගිලා නැහැ. ඒ නිසා තමා ලංකාවේ අපි නැවත නැවතත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නළුවෙක් විදියට කොහොමද ජීවත් වෙන්නේ කියන එක, කෙටියෙන්ම කියනවා නම් නළුවෙක්ට ණයක්වත් දෙන්නේ නැහැ. මේ රට දන්නේ නැහැ රංගනය වෘත්තියක් කියලා නමුත් මගේ වෘත්තිය රංගනය තමා. හරි මිලක් නියම වෙන්නේ නැහැ කියල ද කියන්නේ? හරි මිලක් කිසිම කෙනෙක් ට නියම වෙන්නේ නැහැ. තේ වත්තක වැඩ කරන කම්කරුවෙක්ටවත් හරි මිලක් නියම වෙන්නේ නැති රටක අපි ගැන කතා කරලා වැඩක් නැහැ. මේ දවස් වල සමාජ ජාලවල සූස්ති ගැන කතා වෙනවා, මොකක් ද මේ සූස්ති කියන්නේ? උදාර පල්ලියගුරුට ඕනේ වුණා අපි එක්ක ෆිල්ම් එකක් කරන්න. කුෂාන් වීරරත්න තමා අධ්‍යක්ෂණය කළේ. ඒ නිසා අපි කණ්ඩායමක් එකතු වෙලා පිටපතක් හදාගෙන කරපු වැඩක්. මේක තරුණ තරුණියන්ට අපේ තියෙන දේවල් ශෙයා කර ගන්න කරපු පොඩි වැඩක්. ආදර කතාවක් ද නැද්ද කියලත් හොයන්න බැරි පොඩි කතාවක්. පිටපත ලියන්නෙත් ඔබමයි ඔව්. මම ලියපු එකක රඟපාපු මුල්ම අවස්ථාව මේක. මීට කලින් මම අයිස් ක්‍රීම් කියන ෆිල්ම් එකේ පිටපත සහ තව පිටපත් කිහිපයක් ලිව්වා ඒත් ඒ එකකවත් රඟපාල නැහැ. සූස්ති තුළ ඉන්න මාලක හරහා එළියට එන්නේ කලණ ද? නැහැ. මම කියවන මම හිතන, අපේ ඔළුවේ තියෙන පොඩි කතාවක්, ඒක මගේ කතාවක් නෙවෙයි. මම ඒකෙ ඇතුලේ ඇති සමහර විට. සූස්ති කිව්වම සමාජ ගත වෙන්නේ වෙනත් අදහසක් නේද? සූස්තියක් කිව්වම ඇත්තටම අපි මේ ෆිල්ම් එක ඇතුලේ ගංජා කියන මූඩ් එක නෙවෙයි කතා වෙන්නේ. ඒක අපි නම දාලා තියෙන්නෙත් මූඩ් එකක් විදියට. අපි කන දෙයක වුණත් මූඩ් එකක්නේ, උදාහරණයකට අපි ගත්තම සීනි තියෙන කෙනෙක් කරවිල කනවා කියන්නෙත් එයාගේ ශරීරය යම් වෙනසකට ලක් කරන්න පුළුවන් නිසානේ. ඒකෙත් තියෙන්නේ එක විදියකින් මූඩ් එකක් තමා. මොකද ඕක ලේත් එක්ක තියෙන ප්‍රශ්නයක් නේ. සමහර අය අරක්කු බොනවා. සිගරට් බොනවා. ගංජා ගහනවා. නමුත් මම කියන්නේ නැහැ ඒක හරිද වැරදිද කියලා. මොකද මට එහෙම කියන්න බැහැ මොකද ආගමිකව සංසකෘතිකව වැරදි වෙන්න පුළුවන්. රජය වුණත් ඕවා නවත්වන්නේ නැත්තේ එකනේ, එහෙම නැත්නම් එක මොහොතක ඕවා රජයට නවත්තන්න පුළුවන්නේ. ඒවා සිස්ටම් ඉතින්,මේවා මේ විශාල කතන්දර. රාජ්‍ය නායකයින් පවා හොඳට බොන කන අය ඉන්නේ. ලෝකේ හැටි ඒක. අපි මේ සූස්ති හරහා ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මේක මේ තරුණ ජීවිතයක් ඇතුලේ සිද්ධ වෙන ට්‍රිප් එකක්. අපි ඉතින් සූස්ති කියලා නම දාලා තියෙන්නේ මූඩ් එකක් නිසා. හැබැයි තරුණ පරම්පරාවට වැරදි පූර්වාදර්ශයක් දෙනවා කියලා චෝදනාවක් ආවොත් එහෙම නම් මම නැවත අහනවා ලංකාවේ මිනිහෙක් සූසයිට් කර ගත්තොත් ඒකට රජය වග කියනවද? ඒ නිසා මම වග කියන්නේ නැහැ. රජය වග කියනවා නම් අපි මේක මෙතැනින් එහාට කතා කරමු. මොකද සූසයිට් කර ගන්නා රටවල් අතරින් වැඩිම රටක් මේක. අපි කතා කරන්නේ සියදිවි නසාගැනීම මිසක් අර මාතෘකාව නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ දී කලණත් සූස්ති භාවිතා කරනවද? මම ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. අන්තිම තප්පරේ ජීවිතේට කොච්චර වටිනවද? අපි මේ සූස්ති තුළින් කතා කරන්නේ තප්පරේකත් එක අංශුවක්, ඒ කියන්නේ ඉතාම කුඩා කාලයකින් මිනිස් සිතුවිල්ලක් එහාට මෙහාට වෙන්න පුළුවන් කියන එක. කලණ ගේ ජීවිතේ එහෙම ගත්ත තීන්දු තීරණ තියෙනවද? කිසිම මොහොතක ජීවතයක් වෙනස් වෙන්නේ නැහැ. අපේ හැඟීමක් වෙනස් වෙනවා තප්පරෙන් අංශුවකින්. උදාහරණයකට අපි මේ කතා කර කර ඉන්න ගමන් වැටෙන්න ගියොත් අපි වෙනස් වෙනවා. ඒ වගේම තමා සිතුවිල්ලක් හිතට ආවමත් අපි වෙනස් වෙනවා. තාරුණ්‍යය ආදරය ගැන මොකක් ද අදහස? ඉතාම සුන්දරයි. මිනිසුන්ට තියෙන තිබිය යුතුම හැඟීමක්. ඒක ඇතුලේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආදරය ඇතුළේ තමා ආදරයයි වේදනාවයි සියලුදේවල් තියෙන්නේ. ඔක්කොම මිනිස් හැඟීම් නිසා ඒ දේවල් විඳින්න ඕනේ. ආදරය හොඳයි වෛරයට වඩා. කේන්දරේ විශවාස කරනවාද? මම නම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ලංකාව වගේ රටක මිනිස්සුන් ඒක විශවාස කරන එක හොඳයි කියලත් හිතෙනවා. නැත්නම් මිනිස්සුන්ට මොනවත්ම නැති වෙනවා. ඒ නිසා කේන්දරේ හරි තියෙන එක හොඳයි. නැත්නම් මිනිස්සු ඉච්චාභංගත්වයට පත්වෙනවා. විවාහ වෙද්දී කේන්දරේ බැලුවද? මම නම් බැලුවේ නැහැ. මගේ අම්මා බැලුවා. මොකද කේන්දරේ බලන්න ඕනේ කියලා කිව්වම මම දුන්නා. මට මතකත් නෑ. හැබැයි ගැළපෙනවා ඇති. සහකාරිය ගැන කිව්වොත් ගයත්‍රී හීනටිගල. ඇය දෙරණ මාධ්‍ය ආයතනයේ නිෂ්පාදිකාවක් විදියට කටයුතු කරන්නේ. කොහොමද පවුල් ජීවිතය මම හිතන්නේ දැන් දෙන්නා එක්කෙනෙක් වෙනවා කියන එක. එහෙම එකක් නැහැ. එයා එක්කෙනෙක් මම එක්කෙනෙක්. අපි දෙන්නා පොදුවේ එක තැනකට එන්න තීරණය කළාම එකට ජීවත් වෙනවා කියලා. එයාට සිද්ධ වෙනවා මගේ පැත්තට එන්න. මටත් සිද්ධ වෙනවා ඒ පැත්තට යන්න. අපි ඒ මධ්‍ය ලක්ෂ්‍යය මේ වෙනවිට හොයාගෙන අවුලක් නැතිව ජීවත් වෙනවා. අලුත් ෆිල්ම් එක ගත්තම මරණය ගැන කතාවෙනවා, කලණටත් එහෙම හිතිලා තියෙනවා ද? එහෙම හිතෙනවා නොහිතෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම හිතන්නේ ඕනෙම කෙනෙක් ට එක පාරක් හරි එහෙම හිතෙනවා. ඒක කරන්නම හිතෙන දෙයක් නෙවයි. කෝ කුඹියෝ පිටපත ලියපු දමිත දමිත ඇත්තටම මේ වෙනකොටත් අපි හොයාගෙන නැහැ. හැබැයි මම හිතන්නේ එයා කොහේ හරි ලස්සනට ඇති කියලා. මොකද දමිත කියන්නේ වෙන හැඩයක් තියෙන වෙන විදියක චරිතයක්. ලක්මාල් ධර්මරත්න ෆිල්ම් එකක් කරනවනේ, ඒ කුඹියෝ තුළින් ද? නැහැ, කුඹියෝ නාට්‍ය නෙවෙයි. වෙනස් අලුත් දෙයක් ඒක සූස්ති තිරගත වෙන්න පටන් අරන්, ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක් ද? මම කියන්නේ ලංකාවේ තිරගත වෙන හැම ෆිල්ම් එකක්ම බලන්න. මොකද මේ කර්මාන්තය අපි අපිටමයි ගොඩ දාගන්න වෙන්නේ. ඒ අස්සේ තරුණ පරම්පරාව ෆිල්ම් එකක් කළොත් අනිවාර්‌යෙන් කොහොම හරි බලන්න. නූතන තරුණයා කොතැනද ඉන්නේ කියලා හරි මිනිස්සු දැන ගන්න ඕනේ. ඒ අතරත් සූස්ති අනිවාර්‌යෙන් බලන්න. කලාව නියෝජනය කිරීම ගැන අද මොකද හිතෙන්නේ මේක ඉතාම හොඳ විෂයක්. මොකද හැම වෙලාවෙම අනෙක් කෙනාගේ ඇස් දෙක හරහා කන හරහා මනසත් එක්ක කතා කරන්නේ. හරි, ඉස්සරහට රඟපාන්න ආස චරිත මොනවද? මම ආසයි එක එක චරිත රඟපාන්න, මම ආසයි Action ෆිල්ම් එකක් කරන්න. මොකද මම සටන් ක්‍රම ඉගෙන ගෙන තියෙන නිසා. ගෑනු කෙනෙක්ගේ චරිතයක්. වයසක කෙනෙක් ගේ. එතකොට සත්තුන්ගේ චරිතයක් වගේ විවධ චරිත කරන්න ආසයි. සම්මාන උත්සව ගැන සහ සම්මාන ගැන මොකක් ද අදහස? එක්තරා මණ්ඩලයක් ඉන්නවා. ඒ මණ්ඩලේ කැමැත්ත තමා අවසන් තීරණය. අපි ඒ තරගයට මුහුණ දෙනවා නම් ඒ විනිශ්චය භාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. සම්මානයක් හම්බෙන කොට මාර ගටක් එන්නේ. එළියට ගියාම ප්‍රේක්ෂකයා මාරයි මාරයි කියද්දී ඊටත් වඩා ගටක් එන්නේ. ඒ දෙකෙන් කොයිකද අඩු කොයිකද වැඩි කියලා හිතාගන්න බෑ. මට මේ සම්මානය හම්බෙන්න ඕනේ කියලා නම් අදහසක් ඇත්තෙම නැහැ. කවදාවත් සම්මාන බලාගෙන රඟපාන්න බැහැ. අද ඉන්න තැන ගැන ජීවිතය ගැන මොකද හිතෙන්නේ? අවුලක් නෑ නේද කියලා හිතෙනවා. ලැබුණු ජීවිතය ගැන මොකද හිතෙන්නේ කියන්න තියෙන්නේ අපේ දේ අපිම ගොඩ නගා ගමු කියන එක. මගේ නිර්මාණ බලපු නොබලපු ආදරණීය හැම ප්‍රේක්ෂකයෙක්ටම කියන්න තියෙන්නේ ලංකාවේ ෆිල්ම් එකක් ආවම හෝල් එකට ගිහින් බලන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම අපිට මේ වෙද්දී බණින පිරිසක් එළියේ ඉන්නවා. අපිව පක්ෂ වලට දාලා තියෙනවා. කිසිම දෙයක් දන්නේ නැතුව. අලුත් පරම්පරාවට බණින්න කලින් Art වලින් බලන්න. මම වචනවලින් ෆේල් මනුස්සයෙක්. මම කතා කරද්දී ප්‍රේක්ෂකයෝ මට ඇතිවෙනවා නෙවෙයි නැති වෙනවා. ආයේ මම වැඩකරන්න ගත්තම පිටපතකින් හරි රඟපෑමකින් හරි ප්‍රේක්ෂකයා මට ආදරය කරනවා. සමහර විට ඒ ආදරය කරන කෙනාම මම කතා කරද්දී මා එක්ක තරහා වෙනවා. මොකද අපිට ඇත්ත කියැවෙනවා. ඒක මගේ වැරද්දක් නෙවෙයි මම ගොඩනැගිච්ච මේ රටේම ප්‍රශ්නයක්. අනුෂා රණසිංහ
 

More News..