brand logo

චමත්කා මව් පදවියට

07 March 2020

මොස්තර නිරූපිකාවක් ලෙස කලාවට පිවිස සිනමා නිළියක ලෙස තමන්ටම ආවේණික මගකට අවතීර්ණ වී සිටින චමත්කා ලක්මිණි ‘හුස්ම’ චිත්‍රපටයේ රංගනයත් සමග කතාබහට ලක්වූ චරිතයක් වූවා. ඉන්පසුව ඇය සිනමාවේ අලුත් චරිතයත් රඟපෑවාද නැතිද යන්න විමසූ විට ඇය ලබාදුන්නේ වෙනස් උත්තරයක්. මේ පිළිතුර ඔස්සේ අපි චමත්කා සමග කතාබහකට එළැඹුණා. චමත්කා, හුස්ම චිත්‍රපටයෙන් පසුව මොනවද තොරතුරු? ‘හුස්ම’ චිත්‍රපටයෙන් පසු ඇරයුම් නම් ගොඩක් ලැබුණා. වැඩියෙන්ම ආරාධනා ආවේ ටෙලි නාට්‍යවලට. නමුත් මම ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැහැ කියන තැන ඉන්නවා. චිත්‍රපටත් අවුරුද්දකට එකක විතරයි රඟපාන්නේ. මම කොහොමත් කාර්යබහුල වෙලා වැඩ කරන්න කැමති නැහැ. මේ දිනවල සිනමා නිර්මාණයක් හා එක්වෙලාද? මේ දිනවල මම කලා කටයුතු කරන්නෙ නැහැ. මම මගේ පළමු දරු ප්‍රසූතියට සූදානම් වෙනවා. දරුවා ලැබෙන දින ළඟටම ඇවිත්ද? ඔව්, පෙබරවාරි මාසයේ අන්තිමට තමයි දින ලැබිලා තියෙන්නේ. දුවෙක්ද, පුතෙක්ද ලැබෙන්න ඉන්නේ? ඒ ගැන දැන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. චමත්කාට ගෘහණියගේ යුතුකම් හොඳට හුරු පුරුදුයිද? සාමාන්‍යයෙන් මට ගෘහණියගේ වැඩ තියෙන්නේ මාස හයකට සැරයක්. මොකද මගේ සැමියා නාවික නිලධාරියෙක්. ඒ නිසා ඔහු ලංකාවට එන්නේ මාස හයකට සැරයක්. එයා ලංකාවේ නැති කාලෙට මම මගේ රංගන වැඩ ඉවර කරගන්නවා. එතකොට මට එයත් එක්ක පූර්ණ කාලීනව ගෙදර ඉන්න පුළුවන්. ඒ නිසා එයා ඉන්න කාලේ මට වැඩ ආවොත් මම ඒ වැඩ බාරගන්නවා. අපි දෙන්නා සහයෝගයෙන් ගෙදර වැඩ ටික කරගන්නවා. චමත්කාට දරුවා ලැබෙන කාලයේ ඔහු ලංකාවේ රැඳී ඉන්නවද? ඔව්. ගිය මාසේ තමයි එයා ලංකාවට ආවේ. දරුවා ලැබුණට පස්සෙත් එයා යම්කිසි කාලයක් ලංකාවේ අපිත් එක්ක රැඳී ඉන්න නියමිතයි. ඔබ ගැබිනියක ලෙස ලබාගත් කිසිම ඡායාරූපයක් දකින්න නොලැබෙන්නේ ඇයි? මම නිරූපණ ක්ෂේත්‍රයේ හිටියට පහුගිය කාලයේ වැඩියෙන් කලාත්මක දේවල්වලට බර වුණ නිසා අලංකාරයට කරන දේවල් මගෙන් ඈත් වුණා. එහෙම කියලා මම ඡායාරූප ගන්න එකට අකමති නැහැ. එහෙම දේවල් වෙන්න ඕන. ෆොටෝ ෂූට් එක්ක කරන්නෙ නැතිද? ඡායාරූප ටික්ක එයි. හැබැයි ඒ කතාබහට ලක්වෙන විදිහේ ෆොටෝ ෂූට් එකක් නෙවෙයි, මගේ ආසාවට සිහිවටනයක් විදිහට කරන ඡායාරූප ටිකක්. මව් පදවියෙන් පසුව තෝරගන්න චරිත ගැන වැඩියෙන් හිතනවද? ප්‍රේක්ෂකාගාරය චමත්කා කියන නමත් එක්ක හඳුනාගත් චරිතයක් තියෙනවනේ. ඒ අනූව මගේ ඊළඟ චිත්‍රපටයේත් මට නිරුවත් වෙන්න අවස්ථාවක් තිබුණොත් ඒ චරිතයට සාධාරණයක් ඉටු කරන්න මම ඒ දේ කරයි. මම කවදාවත් පුද්ගලික ජීවිතයයි, මගේ රංගන දිවියයි පටලවා ගන්නේ නැති කෙනෙක්. රංගනය කියන්නෙ මගේ වෘත්තිය, මා නියැළී සිටින කලා මාධ්‍යය. මගේ පුද්ගලික දිවියේ මව, බිරිඳ කියන්නේ මම සැබෑවට ජීවත් වෙන විදිහ. මා දෙස පමණක් නෙවෙයි, මං හිතනව ප්‍රේක්ෂකාගාරය ඕනෑම කලාකරුවෙක් දිහා ඒ විදිහට බැලුුවොත් හොඳයි කියලා. මව් පදවිය එක්ක චමත්කා සිනමාවේ දිගු නිවාඩුවක් ගනියිද? ආයේ මගේ රංගනයක් ඇතුළත් චිත්‍රපටයක් දකින්න ලැබෙන්නේ මේ අවුරුද්දේ අන්තිමට හෝ ලබන අවුරුද්දේ මුල වෙන්න පුළුවන්. ඒවා පහුගිය කාලයේ දායක වූ නිර්මාණයන්ද? නැහැ. මේ අප්‍රේල් මාසේ අන්තිමට මම අලුත් චිත්‍රපටයක වැඩ කරන්න පටන් ගන්නවා. ඒක මේ අවුරුදුදේ හෝ ලබන අවුරුද්දේ මුල තිරගත වෙයි. මෙයත් හුස්ම වැනිම ආන්දෝලනාත්මක රංගනයක් වෙයිද? දැනට අපි ඒ ගැන කතා නොකර ඉඳිමු. මව් පදවියේ වගකීම් රංගන කටයුතුවලදී බලපෑමක් වුණොත්? මම හිතන්නේ මට තමයි ඒ ප්‍රශ්නය ලොකුවටම තියෙන්නේ. මොකද මගේ අම්මා, තාත්තා කවුරුත් ලංකාවේ නැහැ. මම විතරයි මගේ පවුලෙන් දැනට ලංකාවේ ඉන්නේ. ලංකාවේ කාන්තාවෝ දරුවෙක් හම්බවුණාට පස්සෙ තමන්ගේ ජීවිතයේ හැම දෙයක්ම පස්සට දාන්නේ ඇයි කියලා මම දන්නෙ නැහැ. මම හිතනවා මට ළමයා හම්බ වුණාට පස්සේ මම මෙහෙමයි වැඩට යන්නේ කියලා පුළුවන් වෙලාවට ළමයත් එක්ක යනවා, එහෙම බැරි වෙලාවට කුමක් හෝ විසඳුමක් හොයාගන්නවා. මම හුඟක් දේවල් මමම කරගන්නවා. අම්මා කෙනෙක්, බිරියක් වුණා කියලා ඔවුන් එහෙම ජීවිතය පස්සට දාලා අනාගතයේ දුක් වෙන්න තැනක් ඉතිරි කරගන්නවා කියලයි මම හිතන්නේ. ඔබ කියන්නේ විවාහය, දරුවන් ලැබීම, තමන් කැමති දේවල් කරන්න බාධාවක් නෙවෙයි කියලද? අපි ජීවිතයේ ඇත්ත දකින්ත ඕන. අපි අපේ දේවල් සම්පූර්ණ කරගන්නත් ඕන. කසාදයක් වුණා කියලා, ළමයි හැදුණා කියලා අපි අපේ දේවල් පස්සට දාන්න ඕන නැහැ. මම දැන් මවක්, බිරියක් කියලා අපේ නිළියෝ සමහර චරිත අත්හරින එක ගැන මොනද හිතන්නේ? නිළියක් විදිහට කෙනෙක් චරිත වර්ග කරලා තෝරන තැන ඉන්න කෙනෙක් නම් එයා කවදාවත් සිනමාවට සාධාරණයක් කරන කෙනෙක් තියා එයා, එයාටවත් සාධාරණයක් කරගන්න කෙනෙක් නෙවෙයි. එයා තමන්ගේම ජීවිතය ඇතුළෙ හිරවෙලා. අපි කසාදයක් කරගන්නේ තවත් ජීවිතයේ හිර වෙන්නද? ඔබේ දරුවාත් අනාගතයේ කලාව තෝරගන්නවාට කැමතිද? අම්ම කෙනෙක් විදිහට මම, මගේ දරුවට හැම දෙයක්ම දෙන්න උත්සාහ කරනවා. නමුත් එයා කවදා හරි එයාගේ ජීවිතය හොයාගෙන යයි, මම මගේ ජීවිතය හොයාගත්තා වගේම. සිනමාව කියන්නේ මහා ලොකුවට හම්බ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. එහෙම කියලා මම මගේ දරුවා මෙයා වෙන්න ඕන කියල නැහැ. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..