brand logo

චන්දිමාල් යුද හමුදා අධිකාරීලත් නිලධාරියෙකු ලෙස බඳවා ගැනේ

26 September 2019

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට්, එක්දින සේම විස්සයි විස්ස ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් යුද හමුදාවේ අධිකාරීලත් නිලධාරියෙකු ලෙස බඳවා ගෙන තිබේ. එන්.සී.සී. ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වශයෙන් මෙතෙක් පළමු පෙළ තරග ක්‍රීඩා කළ චන්දිමාල් ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග සඳහා සහභාගි වනු ඇත. ‘යුද හමුදාව යටතේ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 350ක් පමණ සිටිනවා. චන්දිමාල් වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙක් අපිත් එක්ක එකතු වීම ඒ ක්‍රීඩකයන්ටත් ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේම අපේ තරුණ ක්‍රීඩකයන්ට ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා’ යි යුද හමුදා ප්‍රකාශයකයෙක් “අරුණ” වෙත පැවසීය. නිලයකට පත් වීමත් සමගම අවශ්‍ය විටෙක චන්දිමාල්ට යුද හමුදා නිල ඇදුම ඇඳීමට සිදුවන අතර කිසියම් පුහුණුවකටද නුදුරේදී ඔහුට එක්වීමට සිදුවෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 146 කට සහභාගි වී තිබෙන චන්දිමාල් එහිදී ලකුණු 3599ක්ද, ටෙස්ට් තරග 53 කදී ලකුණු 3768ක්ද, විස්සයි විස්ස තරග 54කදී ලකුණු 800ක්ද ආදී වශයෙන් රැස්කරගෙන තිබෙයි. චන්දිමාල්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තවත් සක්‍රීය ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී කටයුතු කිරීමට සූදානමින් පසුවන බවත් වර්තා වේ. ගයාශාන් විතානආරච්චි
 

More News..