brand logo

චන්ද්‍රිකා ඇක්සිඩන්ට් එකක්?

17 March 2021

මෙරට සිව්වැනි විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග පිළිබඳ කතා රාශියක් ගොඩනැගී තිබේ. පළමුවැනි අගමැතිනියගේ දියණිය වුවද ඇයට මව තරම් කීර්තියක් පැතිරවීමට හැකිවූයේද යන්න වෙනම සලකා බැලිය යුතු කරුණකි. පළමු අගමැතිනිය වූ ඇයගේ මව මෙරට දේශපාලන සංස්කෘතිය තුළ තීරණාත්මක බලපෑමක් කළ චරිතයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ශීතල යුද සමයේ ලංකාවේ නායකත්වයට පත්වූ ඇය ලෝක බලවතුන් මැදින් තම දේශපාලන ගමනේ නිරත වූවාය. බල කඳවුරුවලට ගැති නොවී රට ගැන හිතමින් ඇයගේ පාලන සමයේ ගත් තීන්දු තීරණ රටට ඉමහත් ජයග්‍රහණ රැසක් හිමි කිරීමට හේතුවූ බව පෙනේ. එහෙත් ඇයගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන සමය බෙහෙවින් කාලය නාස්ති කළ කාලපරිච්ඡේදයක් සේ සමහරු දක්වති. එයට හේතුව එක්සත් ජාතික පක්ෂයේ පාලන සමය අවසන් කර බලයට පත්වුවද ජනතා අභිලාෂ තේරුම් ගැනීමට ඇය අසමත්වීමය. ශ්‍රී ලංකා හමුදාවද දැවැන්ත පරාජයන් රැසකට මුහුණ දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදීය. ඒ අතර දැක්විය හැකි සුවිසල් පරාජය නම් අලිමංකඩ කඳවුරු සංකීර්ණය ශ්‍රී ලංකා හමුදාවට අහිමි වීමය. අප මේ සඳහන් කිරීමට අපේක්ෂා කරන්නේ ඇයගේ දේශපාලන භූමිකාව පිළිබඳ විශ්ලේෂණයක් නොවේ. ඇය පිළිබඳ හොඳින් දන්නා සමීප නිරීක්ෂකයකුගේ වැදගත් නිරීක්ෂණයක් ඉස්මතු කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සමීප නිරීක්ෂකයා අන් කවරකුවත් නොව පෙර අපරදිග සරසවි රැසක මහැදුරකු සේ සේවය කළ ලෝක සම්මානිත විද්වතකු වූ මහාචාර්ය වල්පොල රාහුල හිමියෝය. චන්ද්‍රිකා ප්‍රංශයේ සෝර්බෝන් සරසවියට ඇතුළු වූ කාලයේ උන්වහන්සේ එම සරසවියේ පර් යේෂණ කටයුතුවල නිරතව සිටියහ. චන්ද්‍රිකා සෝර්බෝන් සරසවියට භාරදීමට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වල්පොල රාහුල හිමියන්ද හමුවූවාය. එසේ හමුවී උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළාය. ඒ චන්ද්‍රිකා ගැන පොඩ්ඩක් බලන්නැයි කියාය. එතැන් සිට වල්පොල රාහුල හිමියෝ චන්ද්‍රිකා කුමාරතුංගට උපදෙස් දෙමින් ඇය ගැන දියණියක සේ සලකා බැලූ බව සඳහන් වේ. එසේ ප්‍රංශයේදී ඇසුරු නිසුරු කළද පසුකාලීනව චන්ද්‍රිකා ආරම්භ කළ ඇගේ දේශපාලන ගමන නම් වල්පොල හිමියන්ගේ මනාපයට හේතු නොවූ බව පෙනේ. සාම තවලම් යමින් චන්ද්‍රිකා පාලන සමයේ කළ වැඩ වල්පොල හිමියන් අනුමත කළේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග රටේ නායකත්වයට පත්වූ විට ඇය පිළිබඳ විමසීමට දෙස් විදෙස් මාධ්‍යකරුවන්ගේ අවධානයට ලක්වූ චරිතයක් වූයේ වල්පොල රාහුල හිමිය. අලුත් නායිකාව පිළිබඳ තමන් වහන්සේගේ අදහස විමසූ විට වල්පොල රාහුල හිමියෝ මඳක් සිනාසී දුන්නේ මෙවැනි උත්තරයකි. ‘‘That is an Accident." උන්වහන්සේ සඳහන් කළේ චන්ද්‍රිකා රටේ නායකත්වයට පත්වීම අහඹුවක් බවය. වල්පොල හිමියන්ගේ ප්‍රකාශය මෙරට දේශපාලන ක්ෂේත්‍රය මැනවින් නිරීක්ෂණය කිරීමෙන් කළ එකක් බව පෙනේ. චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වූයේ ඇයට ප්‍රබල තරගයක් දිය හැකි බොහෝ දේශපාලන තරගකරුවන් කොටි සංවිධානය සහ වෙනත් කණ්ඩායම් මගින් ඝාතනය කළ පසුබිමකය. ඇයට එල්ල වූ කොටි බෝම්බ ප්‍රහාරය සේම ඇගේ සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය වීම ඇය කෙරෙහි ඡන්දදායකයන් සංවේදී කිරීමට බලපෑ තවත් කරුණකි. වරුණ අබේසේකර
 

More News..