brand logo

ගෝඨා සහ සජිත් ගැන සොයන්න වෙනම කණ්ඩායම්

15 August 2019

මෙතෙක් පාස්කු ප්‍රහාරයේ අන්තවාදීන් සොයා ගිය බුද්ධි අංශ කණ්ඩායම්වලින් බහුතරයක් යළිත් දේශපාලනඥයන්ගේ තොරතුරු සෙවීමට යොදවා ඇතැයි අනාවරණය වේ. ජනාධිපතිවරණ උණුසුම පටන් ගැනීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇත. මෙම තත්ත්වය මත අන්තවාදී කණ්ඩායම් ගැන විමර්ශන යටපත් වීමේ අවදානමක්ද ඇතැයි ආරක්ෂක ප්‍රධානීහු අනාවරණය කරති. මේ ආකාරයට පාස්කු ප්‍රහාරය එල්ල වනතෙක් පොලිස්පතිවරයා යටතේ වූ බුද්ධි අංශ හා රාජ්‍ය බුද්ධි සේවාව වැඩිපුරම අනුයුක්ත කර තිබුණේ දේශපාලන තොරතුරු සොයා බැලීමට බවද එම නිලධාරීහු අනාවරණය කරති. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ඔහු සමග ගනුදෙනු කරන දේශපාලනඥයන්, හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයන් ගැන සෙවීමට වෙනමම පොලිස් බුද්ධි අංශ කණ්ඩායම් ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත. ඇමැති සජිත් ප්‍රේමදාස ඇතුළු අනිකුත් දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධවද වෙන වෙනම බුද්ධි අංශ සොයා බලන බව හෙළිවී ඇත. මෙම බුද්ධි තොරතුරු සොයා යෑමට පටන් ගැනීමත් සමග සහරාන්ගේ සගයන් ඇතුළු අන්තවාදීන් ගැන විමර්ශනය කළ බුද්ධි නිලධාරීන්ද දේශපාලන තොරතුරු හා රැස්වීම් සොයා යන්නට සිදු වී ඇතැයි එම නිලධාරීහු පවසති. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් යුක්ති සහගත, සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නැති බවත්, වරදකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය රජයට දැනුම් දුන්නේ ඊයේ (14දා) ය. මෙතෙක් සිදු කරන පරීක්ෂණවල කිසිදු ධනාත්මක සලකුණක් මෙතෙක් දක්නට නොමැති වීම අවාසනාවට කරුණක් බව මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු කතෝලික රදගුරු සම්මේලනය දැනුම් දී ඇත. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ අවි පුහුණුව ලද ත්‍රස්තයන්ගෙන් මෙතෙක් අල්ලා ඇත්තේ සියයට පනහක් බවත්, තවත් සියයට පනහක් නිදැල්ලේ බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (14දා) මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළේය. මෙම අන්තවාදීන්ගෙන් එකසිය තිහක් හඳුනාගත්තත් අල්ලා ගත්තේ හැටක් බවත්, ත්‍රස්තවාදීන්ව හඳුනාගෙන කොටුකර ගැනීමට යාන්ත්‍රණයක් හෝ සැලසුමක් නොවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෙළි කළේය. සහරාන්ගේ අන්තවාදී කණ්ඩායම ගැන විමර්ශන කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂව සිටි නියෝජ්‍ය පොලිස්පති ධුරයට මෑතකදී උසස් වූ වරුණ ජයසුන්දර උසස්වීම සලකා එම ඒකකයෙන් මාරු කර යැවීමෙන් මෙතෙක් එම ඒකකයේ කළ විමර්ශනද අඩාළ වී ඇතැයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..