brand logo

ගෝඨා සහ ජනපති ඝාතන කුමන්ත්‍රණය පොලිස් හා දේශපාලන ලොක්කන් ගැන මධුෂ් කට අරියි

11 May 2019

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේ චෝදනාව එල්ල වී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. පසුගිය පෙබරවාරි 07 වැනි දින ඩුබායිහි දී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනා අවස්ථා හතකදී මෙරටට පිටුවහල් කළ අතර මධුෂ් පසුගිය 5 වැනි දින එරටින් පිටුවහල් කිරීමෙන් පසු කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය. නාමල් කුමාර නමැති අයෙක් සිදු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කළ බව එහි සඳහන් වෙයි. ඊට එවකට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාද සහාය දැක්වූ බවට චෝදනා එල්ල කළේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊට අදාළව අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කීපයකදී ප්‍රකාශ සටහන් කර ගත්තේය. ඔහුගේ කටහඬ පරීක්ෂණයක්ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවැත් වූයේය. ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට මාකඳුරේ මධුෂ්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හැකි වී ඇත. ඒ අතර ඉහළ පොලිස් නිලධාරින්, දේශපාලනඥයන්ගේ නම්ද හෙළිව ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව ළඟදීම නීතිපතිවරයාට යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර එම උපදෙස් අනුව ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. මේ අනුව මාකඳුරේ මධුෂ්ගෙන් රඳවා ගැනීමේ නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ ය.
 

More News..