brand logo

ගෝඨා පත්වෙලා මාස 9ක් - රටට වුණු සෙත මොකක්ද?

06 July 2020

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි බෙදී නොගිය යූඑන්පී තනි ආණ්ඩුවක් හදන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් මෙලෙස අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ජනතාව අමතමින් මෙසේද පැවැසීය. විශාල බලාපොරොත්තු ඇතිව ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුව ලබාදුන්නා. දැන් මාස 09ක් ඉකුත් වුණා. මොකක්ද වෙලා තිබෙන්නේ. කෙරෝනා ආවා එහිදී ලොව රටවල් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. සමහර රටවල් එම අවස්ථාවට මුහුණ දීමට සූදානම් වුණා හැකි අයුරින් ජනතාවට උදව් කළා. එංගලන්තයේ පඩි ගෙවන්න තුනෙන් දෙකක් ආධාර දෙනවා කීවා ඇමෙරිකාවත් එලෙසමයි. එක එක අයුරින් කටයුතු කළා. වෛද්‍ය පරීක්ෂණ කලින්ම පටන් ගත්තා. දෙවැනි වරට ඒ සඳහා මුහුණ දීමට සූදානම් වෙනවා. එහෙත් අපි මොනවද කරලා තිබෙන්නෙ ජනතාවට සහනයක් ලබා දෙන්නේ නෑ. අද විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි වෙලා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අය වුවද ස්වයං රැකියාවන් කඩා වැටිලා. අඩුම තරමේ ත්‍රීවීල් රථයකින්වත් අද මුදල් ඉපයීමට හැකියාව නෑ. එදා ත්‍රීවීල් එකේ ගමන් ගත් අය අද ඇවිදගෙන යාමට හුරුවෙලා. හැම තැනම වැටිලා. අපේ අය සහන දෙනවා වෙනුවට උපදෙස් ලබා දෙන්නේ ත්‍රීවීල් හයර් නොමැති නම් ලීසිං සමාගමට භාර දෙන්න කියායි. කර්මාන්ත ශාලාවල සේවකයන් ඉවත් කළා. ඇඟලුම් කම්හල් වසා දමලා. විදේශ සංචාරක නිකේතන වසා දමලා. අද ක්‍රියා කරන්නේ පැය දෙකේ හෝටල් පමණයි. සිල්ලර කඩ වසා දමලා ඒ අතර මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ. රට බෙදන චිත්‍රයක් මවාගෙන කටයුතු කරනවා. එහෙත් මේ රට බෙදන්නේ නෑ. පොඩි චිත්‍රය පිළිබඳ සිතිය යුතුයි මේ පොඩි චිත්‍රය නම් ගෙදර ආර්ථිකයයි. මේ තත්ත්වය මත තව මාස තුනක්වත් රට දුවන්න බෑ. කොරෝනා පටන් ගන්න පෙර පෙබරවාරි මාසයේ සිට වෙනත් රටවල් පියවරවල් ගත්තා. අපි තාම බලාගෙන ඉන්නවා ලෝක බැංකුවෙන් කොරෝනාවලට මුදල් ලැබුණා. ඒවාට මොනවා කළාද දන්නේ නෑ. ඒක ජනතාව අතරේ බෙදුවේ නෑ. ජනාධිපතිතුමා ලීසිං නැති කරනවා කීවා. ඒත් නෑ එදා වේදිකාවල මහින්ද මහත්තයා නැගලා කීවේ පොල් ගෙඩියේ මිල කොහොමද? කියා එහෙත් අද සැමන් ටින් එකක් කීයද? කියා අහනවා. ජනතාවට මේ අවස්ථාවේ සහන ලබා දිය යුතුයි. විදුලි බිල මාස තුනක් ගෙවන්න එපා කීවා. පසුව මාස තුනේම බිල එකට එව්වා. සහන ලබා දෙනවා වෙනුවට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ කළා. ඊට උඩින් ට්‍රැක්ටරයකුත් ගියා වගේ වුණා. ඒ මදිවට ජල බිලත් ආවා. දැන් කොහොමද ​මේවා. අපි අගෝස්තු මාසෙන් පසු අපේ ආණ්ඩුව මේ විදුලි බිල කොටස් කර මාස 12න් ගෙවන්න සහනය දෙනවා. ඒකත් ජනතාවගේ ආර්ථිකය සමාන්‍ය තත්ත්වයට උදාවූ පසුවයි. මේ බිල් නැවත සංශෝධනය විය යුතුයි. ලෝක වෙළෙඳ​පොළේ තෙල් මිලත් සමග මේවා අඩුවිය යුතුයි. ​ඔබ මේ ගෙවූ බිලෙහි වැඩි කොටස ඉදිරියේදී ඔබ අතටම පත් කිරීමට සලසනවා. අයිරංගි එදිරිසිංහ - කඩුවෙල
 

More News..