brand logo

ගෝඨා-කරුණා යළි බේරේ

19 October 2019

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මීට දස වසරකට ඉහතදී වෙල්ලමුල්ලිවයික්කාල් බිමේදී මරණයට පත්වූ මොහොතේ මුළු රටම සැනසුම් සුසුම් හෙළුවේ දැන්වත් නිදහසේ ඉන්නට ඉඩ ලැබුණු බව සිතමිනි. එහෙත් එම අදහස වරදින්නට කල් ගියේ නැත. කොටි හතර පස් වතාවක්ම යළි මිනී වළෙන් නැගිටින්නට උත්සාහ දැරූහ. එම සියලුම උත්සාහයන් ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් ව්‍යර්ථ කෙරිණි. එනමුත් යළිදු වරක් කොටි මිනී වළෙන් නැගිටින්නට ගත් උත්සාහය අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ ගිය සතියේ සමත් වූහ. මේ සිද්ධිය අනාවරණය වන්නේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය ත්‍රිකුණාමලයේදි ජෝෂප් පීටර් රොබින්සන් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමගය. ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගත්තද කිළිනොච්චියේ අම්බාල්කුලම් 442 දරන නිවසේ පදිංචිව සිටි ඔහු එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබල චරිතයකි. කොටි නායක ප්‍රභාගේ පුත් චාල්ස් ඇන්තනි යටතේ වූ චාල්ස් ඇන්තනි බළකායේ සිටි ඔහු ප්‍රභාකරන්ට ආරක්ෂාව සපයන රාධා බළකායට තෝරා ගත්තේ සටන්කාමියකු වූ නිසාය. ශිරාලන් හෙවත් සේරා නමින්ද මොහුව හැඳින්විය. රොබින්සන් ත්‍රිකුණාමලයේදී ටී 56 ගිනි අවියක් සමග අල්ලා ගත් පසුව භාරදෙන්නේ සේරුනුවර පොලිසියටය. රොබින්සන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී ස්විස්ටර්ලන්තයේ සිට ඉන්දියාවට පැමිණ සිටින ස්විස් කොටි ජාලයේ පිරිසක් පිළිබඳ තොරතුරු හෙළිවිය. ඔවුන්ගේ මෙරටට එවූ සාමාජිකයන් ක්‍රියාත්මක වන ආකාරයත් අනාවරණය වී තිබේ. කිළිනොච්චියේ පල්ලියක මානසික රෝගියකු ලෙසද තවත් වරෙක වයරින් බාස් කෙනකු ලෙස වෙස් වළාගෙන රොබින්සන් ත්‍රිකුණාමලයට එන්නේ ප්‍රබල ඉලක්කයකට බව සඳහන්ය. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉලක්ක කරගෙන මොහු නැගෙනහිරට එවූ බව හෙළි වී තිබේ. ජනාධිපතිවරණයට පෙර කරුණා අම්මාන් ඝාතනය මොවුන්ගේ ඉලක්කය බව බුද්ධි අංශවලට තහවුරු විය. ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කරමින් නැගෙනහිර පළාතේ ගෙයින් ගෙට යෑමට කරුණා අම්මාන් සූදානම් වන බව හෙළිවීමත් සමග ඝාතන සැලසුම ඉක්මන් කළ බව පැවසේ. මෙම ඉලක්කය ගැනීමට නැගෙනහිරට ගිය මොහොතේ අත්අඩංගුවට ගත් රොබින්සන්ගේ කිළිනොච්චි අම්බාල්කුලම් නිවස කිළිනොච්චි පොලිසියෙන් පරීක්ෂා කරන්නේ අල්ලාගත් දිනයේදීමය. එහි තිබී පිස්තෝල තුනක්, ටී 56ක්, අත්බෝම්බ 05ක්, දුර විදින අර්ධ ස්වයංක්‍රිය රයිෆලයක්, බෝම්බ පුපුරුවන ඩෙටනේටර් 62ක්, පතොරම් ඇතුළු අවි ආයුධ රැසක් සොයා ගෙන තිබුණි. ඒ අවස්ථාවේදී සැකකරුගේ බිරිඳ හා සොහොයුරියද එහි සිට ඇත. මොහුගේ තොරතුරු මත යාපනය, කොණ්ඩාවිල්හි ඉඩමක් පසුපස සඟවා තිබූ කිලෝ පහළොවක් බරින් වූ පැති බෝම්බ (ක්ලේමෝ) දෙකක් ඔක්තෝබර් 14දා අත්අඩංගුවට ගැනිණි. මීට අමතරව තවත් අවි ආයුධ රැසක්ම අත්අඩංගුවට පත්ව තිබිණි. මීට පෙරත් කරුණා අම්මාන්, ඝාතනය කිරීමට කළ සැලසුමක් මෙම කොටි ජාලයට අයත් කණ්ඩායම් අත්අඩංගුවට ගත් මොහොතේ අනාවරණය වී තිබිණි. 2018 ජුනි 22දා ඔඩ්ඩුසුඩාන් හිදී ත්‍රිරෝද රථයකින් ආයුධ ප්‍රවාහනය කරමින් සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ අවස්ථාවේදී එක් අයෙක් පැන ගියේය. ඔහු කිළිනොච්චියේදී හසුවූ ජෝශප් පීටර් රොබින්සන් තිබන් හෙවත් සේරා නමැති කොටි සාමාජිකයා හෙළි කර තිබේ. අවසන් යුද සමයේ යාපනය හමුදා පාලන ප්‍රදේශයට රිංගා ප්‍රහාර එල්ල කරන සැලසුමක් මත ක්‍රියාත්මක වෙමින් තිබියදී සේරා හෙවත් තිබන් බුද්ධි අංශවලට කොටු විය. අවසන් යුද්ධයෙන් පසුව සේරා නිදහස් වූයේ පුනරුත්ථාපනය කළ පසුවය. ඉනික්බිතිව ඔහු කටාර් රාජ්‍යයේ රැකියාවකට පැන ගත්තේය. යළි 2017 දී තිබන් ලංකාවට එන්නේ කොටි ඩයස්පෝරා නායකයන්ගේ මෙහෙයවීම් මතය. තිරුබා හෙවත් සේරාගේ කණ්ඩායමට ඉන්දියාවේ සිට සීෆෝ පුපුරන ද්‍රව්‍ය කිලෝ හතළිහක් ඇතුළු අවි ආයුධ මන්නාරම් මුහුදු තීරයෙන් මෙරටට ආ බව බුද්ධි අංශ හෙළි කර ගත්තේය. එදා ඔඩ්ඩුසුවාන්වලදී කිරුබා පැන ගියද දිනේෂ් නමැති කොටියා කොටු විය. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් හෙළි වූයේ ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කරුණා  අම්මාන්, ද නැගෙනහිරදී ඝාතනය කිරීමේ සැලසුමක තොරතුරුය. එපමණක් නොව දෙමළ සන්ධාන යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ට බෝම්බ තැබීමට ගත් සැලසුමක්ද හෙළිවිය. කරුණා මෙන්ම කොටින්ගේ හිටපු ජාත්‍යන්තර නායක කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන් ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා දෙමළ ජනතාවට ද්‍රෝහී වූ බව කියමින් ඝාතනය කරන්නට වූ සැලසුමක් ගැන කියවිණි. ඔඩ්ඩුසුඩාන් සිද්ධියෙන් හමුදා බුද්ධි අංශ හෙළි කර දුන් තොරතුරු සියල්ල පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නොතකා හැරි බවට චෝදනා එල්ල විය. එනමුත් කොටි යළි නැගිටින්නට උත්සාහ ගන්නා බව යළිදු වරක් තහවුරු විය. මෙම වසරේ ජනවාරි 01 දා පුලියන්කුලම්, කැලෑවේදී ආයුධ බෑගයක් රැගෙන එමින් සිටියදී පොලිසිය දැක පුද්ගලයකු පැන ගියේය. ඔහු රාසයියා ආනන්දරාසාය. ආනන්ද රාසා ඉන්දියාවට පැනගත්තද, එම කණ්ඩායමේ වයිමුත්තුරාසා සුදාකරන්, කාර්තික්, සුතිර්ෂන් හා කල්‍යාණි දර්ශනී (රුබි) නමැති ආනන්දරාසට නවාතැන් දුන් කාන්තාව ද අත්අඩංගුවට පත්විය. දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් එවමින් මෙම කොටි ප්‍රභූ ඝාතනයකට යැවීමට උත්සාහ ගත් බව අනාවරණය විය. ලංකාවේදීත් මෙම සතියේ අසු වූ තිබන්ගේ තොරතුරු මත මෙම කොටි ජාලය සක්‍රිය කරන්නට මුල් වූ දිනේෂ් හෙවත් රිසිකේෂන්ව මෙරට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පසුගිය 13 දා අත්අඩංගුවට ගත්තේය. ඒ කිළිනොච්චි, ශාන්තිපුරම්වලදීය. මින් පෙර ඔඩ්ඩුසුඩාන් සිද්ධියට හමුදා බුද්ධි අංශය අල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබූ දිනේෂ් ඇප මත මුදා හැර තිබුණි. ඒ හරිහැටි ඔහු පිළිබඳ විමර්ශන නොවූ නිසාය. දැන් යළි දිනේෂ් හා තිබන් යන කොටි සාමාජිකයන් අත්අඩංගුවට පත්වී තිබේ. ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී හෙළි වූ වන්නියේ කුමන්කුලම්වල සිට දිනේෂ් විසින් නැගෙනහිරට ගොස් ඉලක්කියන් මාස්ටර්ට දුන් ස්නයිපර් අවි දෙක ක්‍රියාත්මක කිරීමට තනියම ඉලක්ක සොයා යන කොටියකු වන සේරාට යැවූ බව දැන් ඇති සැකය වන්නේය. පලෙයි රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා වූ වෛද්‍ය සින්නයියා සිවරුපන් හමුදා බුද්ධි අංශයෙන් අල්ලා ප්‍රශ්න කරද්දී අනාවරණය කළේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යළි සක්‍රිය වන කොටි ජාලයේ අනිවාර්යම ඉලක්කයක් බවය. ජාත්‍යන්තර කොටි ජාලය ඩයස්පෝරා සහායෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බැරිනම් පාතාලය යොදා හෝ ඉලක්ක ගැනීමට සැලසුම් කරන බව සින්නයියා සිවරූපන් හෙළි කර තිබුණි. සිවරූපන් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 19 දාය. කොටි නායක ප්‍රභාකරන්ගේ පුද්ගලික වෛද්‍යවරයා වූයේද මොහුය. කොටින්ගේ රාධා බළකායේ සන්නද්ධ කණ්ඩායම් තුනක් මෑතකදී ස්විස් කොටි ජාලයේ උපදෙස් මත මෙහෙයවා තිබුණේද මොහු බව බුද්ධි අංශ හෙළි කර ගෙන තිබිණි. මොහුගෙන් හෙළි වූ තොරතුරු මත වෙත්තිලයිකර්නි මුහුදේ බෑගයක දමා ගිල්වා තිබූ C 4 පුපුරන ද්‍රව්‍ය කිලෝ පහළොවක් අගෝස්තු 22 දා නාවික හමුදාවට හමු වී තිබිණි. මෙම වෛද්‍යවරයා හෙළි කළ කරුණු හා ඔඩ්ඩුසුඩාන් පුලියන්කුලම් විමර්ශනවලදී හෙළි වූ කරුණු කාරණා එකකට එකක් ගැළපෙන බව දැනට කර ඇති විමර්ශනවලදී හෙළි වී තිබේ. මේ සියලු කාරණා මගින් අලුතින්ම හසුවූ කොටි ජාලයක් කරුණා අම්මාන් මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුමක නිරත වන බවට සාක්ෂි සාධක සහිතව ඇති බව බුද්ධි අංශ කියන්නේය. මෙම සතියේ අසුවූ තිබන්ට ඉන්දියාවේ සිට ස්විස් කොටි ජාලයේ නැදුමාරන් ඇතුළු කණ්ඩායම් අවි ආයුධ මෙන්ම රුපියල් කෝටි තුනකට අධික මුදලක් එවූ බවද හෙළිවී ඇත. ආරක්ෂාවේ හිඩැසක් වූ තැන ඉලක්කගත ඕනෑම ඉලක්කයකට යෑම යළි නැගිටින කොටි ජාලයේ ඉලක්කය බව බුද්ධි අංශ අනතුරු හඟවා තිබේ. තිබන් හෙවත් සේරාගේ බිරිඳගේ ජංගම දුරකතනයේ තිබන් ස්නයිපර් අවියක් සහිතව ගත් ඡායාරූපයක් ද තිබී හමුව තිබේ. ලබන සතියේදී ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන රැස්වීම් නැගෙනහිර පළාතේදී පැවැත්වීමට නියමිතව තිබූ නිසා ඔහුව හෝ එයට එක්වන දෙමළ නායකයකු ඉලක්ක කර සේරා එහි ගිය බව බුද්ධි අංශවලට ඇති සැකයය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..