brand logo

ගෝඨායට එරෙහි පැමිණිල්ලක් සදහා අවශ්‍ය ලේඛන ලබාදෙන ලෙසට අධිකරණයෙන් නියෝගය 2ක්

26 September 2019

2005 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් සිටිමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වූ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලැබුුුනු පැමිණිල්ලකට අදාළව සිදු කරන පරීක්ෂණයක් සඳහා අවශ්‍ය කරන ලේඛන ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (26) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට සහ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට නියෝග කළාය. මෝසමක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය කරන ලදී. රහස් පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණයට අදාලව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කළහ. එම ප්‍රකාශ වලට අනුව 2005 වසරේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති වකවානුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඊට අදාළ ලේඛන ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් ඒවා තමන් සතුව නොමැති බවට එම නිලධාරීහු ප්‍රකාශ කර ඇති බවද රහස් පොලිස් නිලධාරීන් සඳහන් කර සිටියහ. ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය කරන ලේඛන තමන් වෙත ලබාදෙන ලෙස ආගමන හා විගමන පාලකවරයා සහ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් රහස් පොලිස් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.එම ඉල්ලීම් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝග නිකුත් කරන ලදී. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව රහස් පොලිසිය විසින් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් සඳහන් කර තිබේ. 2005 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ ඇමෙරිකානු පුරවැසියෙකු වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන කටයුතුවල නිරත වී ඇති බවත් ඒ මගින් ඔහු පුරවැසි පනත, මැතිවරණ පනත සහ ආගමන හා විගමන පනත උල්ලංඝනය කර ඇති බවට එම පැමිණිල්ලෙන් කරුණු දක්වා ඇති බවද රහස් පොලිසිය සඳහන් කරයි. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ඇති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බවට පැමිණිල්ල මගින් කරුණු සඳහන් කර ඇති බවත් ඒ පිළිබඳව ද විමර්ශන සිදුකරන බව රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ. ඊට අමතරව ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඳහන් කර තිබුණත් ඔහු ඊට අදාළව මේ දක්වා විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් කර නොමැති බවට ද එම පැමිණිල්ල තුලින් කරුණු දක්වා ඇතැයි සඳහන් කළ රහස් පොලිසිය ඒ පිළිබඳව විදේශ අමාත්‍යාංශය, ඇමරිකානු කොන්සල් කාර්යාලය යන ආයතනවලින් තොරතුරු ලබාගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාව මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..