brand logo

ගෝඨාභය රාජපක්ෂගේ නඩුව මාර්තු 01කට කල්යයි

22 February 2019

මැදමූලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(22) කැඳවනු ලැබුවා. මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. නඩුව කැඳවු අවස්ථාවේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා දැනුම් දී ඇත්තේ මෙම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු විසින් තම අධිකරණය වෙත අභියාචනා බාරදුන් බවයි. එම අභියාචනා භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. ඉන් අනතුරුව නඩුවේ 6 වන විත්තිකරු ලෙස නම් කර සිටින මහින්ද සාලිය නමැත්තා නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙනී නොසිටි බවයි වාර්තා වන්නේ. ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා නඩු විභාගයට සහභාගි වීම සඳහා අද දින අධිකරණයට පැමිණි බවත් ශල්‍යකර්මයකට භාජනය වී සිටින ඔහුට හදිසියේ ලේ වහනය වීම නිසා අධිකරණයෙන් පිටව ගොස් මේ වන විට රෝහල් ගතව සිටින බවයි. අනතුරුව නඩු විභාගය මාර්තු මස 01 වනදා දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට එම විත්තිකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද ඔහුගේ නීතිඥ වරයාට නියම කළේ. ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.
 

More News..