brand logo

ගෝඨාභය ගැන අපි හිතූ තක්සේරුව වැරදුණා

04 September 2022

ගෝඨාභය ඇමෙරිකාවට බය වුණා

පොහොට්ටුවත් එක්ක දීගේ ඉවරයි. මතුවට දීග යන්නෙත් නෑ

දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන නිසා ඇමරිකානු තානාපතිනියට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ

පසුගිය රජයේ ක්‍රියාකලාපයන් විවේචනය කිරීමත් සමග එම රජයේ ඇමැති ධුරයකින් ඉවත් විමට සිදුවූ එක් ඇමැතිවරයකු වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශයි. පසුව ඔහු ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින පක්ෂ එකමුතුවක් ලෙස කටයුතු කරමින් සිටී. වත්මන් ජනාධිපතිවරයා වෙතද සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කළද ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි විය. මෙම තත්ත්වය මත මෙම ස්වාධීන වූ පක්ෂ එකමුතුව අද (04) නව සභාගයක් පිහිටුවීමට තීරණය කර ඇත. මෙහි නායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශයි. මේ ඔහු සමග ‘සති අග අරුණ’ කළ සාකච්ජාවකි .

ස්වාධීන පක්ෂ එකමුතුව නව සභාගයක් පිහිටුවීමට තිරණය කළේ ඇයි?

එක පැත්තකින් මේ ආර්ථික අර්බුදය එක්ක වඩා අසරණ වෙච්ච ජන කොටස්වලට පිහිටවීම සඳහා අපි යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒවගේම මේ අර්බුදයෙන් ගොඩ එන්න නිසි මාවතක් ආණ්ඩුවවත් වෙනත් පාර්ශ්වයක්වත් පෙන්නනවා කියලා අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන පුළුල් දේශපලාන සන්ධානයක් ගොඩනගන්න හිතුවා. සැප්තම්බර් හතරවැනිදා මහරගම තරුණසේවා සභාවේදී එය එළිදැක්වෙනවා. ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා අර්බුදයෙන් එළියට එන මාවත පිළිබඳව පළල් සංවාදයක් රට තුළ ඇති කරන්න. එමගින් යමිකිසි දේශපාලන අවිනිශ්චිතතාවයකට පත්වෙලා ඉන්න අතිවිශාල ජනතාවට ඒ අයගේ මාවත නිර්මාණය කරලා දෙන්න. ඒ වෙනුවෙන් අපි මේ දවස්වල මහන්සියෙන් කටයුතු කරනවා.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකොළහම දැන් මේ පක්ෂ එකමුතුවෙ නැහැ. ටිරාන් අලස්, අතාවුල්ලා ශ්‍රී ලනිපය වාගේ පක්ෂ දැන් මේ එකමුතුව අත හැර ගිහිල්ලා. ?

ඔව් සමහර පක්ෂ ආණ්ඩුව පැත්තෙ හිටගෙන තියෙනවා. අපි පක්ෂ අටක් ඉන්නවා. ආරම්භයේදී ඒ පක්ෂ අටෙන් තමයි සභාගය හැදෙන්නෙ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට යද්දි තව තව පාර්ශ්ව මේකට එකතු කරගන්න.තව අය එකතුවෙන්න ඉන්නවා. ඒ එකතුවෙන අය කැමති නැහැ දැන්ම ඒක අනාවරණය කරනවට. ඒ ගොල්ලො හිතනවා ඒ පියවර ගන්න ඕන මැතිවරණයක් ආසන්නයේදී කියලා.

ඔබ ඇතුළු කණ්ඩායම මෙම සභාගය පිහිටුවන්නේ චීනයෙන් දෙන අධාර වලින් කියලා චෝදනාවක් තියෙනවා. මේ චෝදනාවේ ඇත්ත මොකක්ද?

අපිට චීනයෙන්වත් කොහොන්වත් කිසිම ආධාරයක් ලැබිලත් නැහැ. ලැබෙන බවට කිසිම තොරතුරක්වත් නෑ කවුරුහරි කියනවනම් අපිට කොහොන් හරි චීනයෙන් හරි ඇමරිකාවෙන් හරි බලුකිස්ථානයෙන් හරි හම්බෙනවා කියලා කරුණාකරලා ඒක සාක්ෂි සහිතව කියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මෙම සභාගය පිහිටුවන උත්සවයට එන්න කියලා ඔබ ඇතුළු පිරිස ආරාධනා කරලා තියෙන්නේ ඇමරිකානු විරෝධී කණ්ඩායමට විතරයි නේද?

නැහැ ඒක වැරදි. ඒක සම්පූර්ණ පදනම් විරහිත ප්‍රවෘත්තියක්. අපි ආසියානු කලාපයේ සියලුම රටවල්වලට වගේ ආරාධනා කළා ඉන්දියාවට, චිනයට , ඉන්දුනිසියාවට මාලදිවයිනට, නේපාලයට, වියට්නාමයට, කියුබාවට ඒ ආදි රටවල් බොහොමයකට ආරාධනා කළා. ඇමරිකානු තානාපතිවරියට ආරාධනා කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අපේ ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වන ඇමරිකානු දේශපලාන න්‍යාය පත්‍රයට අපි කිසිලෙසකින්වත් එකඟතාවයක් නැහැ.

ඇමරිකාව වැනි බලවත් රටවල් ප්‍රතික්ෂේප කරමින් මේ වගේ නව දේශපාලන ගමනක් යන්න පුළුවන්ද?

මේ අවස්ථාවේදි අපේ නව සභාගය පිහිටුවීමේ අවස්ථාවට ආරාධනා කරන්නේ අපේ හිතට එකඟ අයත් එක්කනෙ. යම් කිසි දුරකට හරි අපේ හිතේ ඒ පිළිබඳ හැඟීමක් ඇති කරගන්න පුළුවන් අයත් එක්ක. ඒ කියන්නෙ සියයට සියයක් එකඟයි කියන එක නෙමෙයි. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා හානිකර න්‍යාය පත්‍රයක් අතේ තියාගෙන ක්‍රියත්මක වෙන අයෙකුට ඒ ආරාධනාව ලැබෙන්නෙ නැහැ. මේ අවස්ථාවේදී. නමුත් සමහර අවස්ථාවලදි රාජ්‍ය බලය ගැනීම වැනි තත්ත්වයකදී අපිට ඔය හැම රටක් එක්කම කතා බහ කරන්න, ගනුදෙනු කරන්න රාජ්‍ය සම්බන්ධතා පවත්වන්න වෙනවා. මේක අපේ දේශපලාන තේරීමක්නෙ.

හිටපු ජනාධිපතිගේ මහින්ද චින්තන වැඩපිළිවෙළේ ප්‍රතිපත්ති ප්‍රකාශයට නම යෝජනා කළේ ඔබ. මහින්ද සුළඟ ප්‍රචාරක වැඩසටහනෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිරීමේ කාර්යයේත් බර කරට අරන් වැඩ කළේ ඔබ. එදා හිතුණෙ නැද්ද කවදහරි මෙහෙම වෙනස් දේශපලාන ගමනක් එන්න වෙයි කියලා. ?

මහින්ද රාජපක්ෂට සහය දීම සහ ඔහු සමග යුද්ධය ජයග්‍රහණය කිරීමේ පාලන තන්ත්‍රයේ කොටස්කරුවෙක් වීම ගැන මට කිසිම පසු තැවීමක් නැහැ. ඒ නිසාම තමයි ඔහුව ඇතැම් ව්‍යාජ චෝදනා පදනම් කරගෙන පරාජය කළාට පස්සේ, අපේ රටට සාමය දිනා දීමට අවදානමක් අරගෙන ක්‍රියාකළ නායකයකු පරාජිතයෙක් හැටියට ගෙදර යායුතු නැහැ කියන හැඟීම මත පදනම්ව ‘මහින්ද සුළඟ’ ආරම්භ කළේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්ෂ ඇතුළුව ගෝ​ඨාභය රාජපක්ෂ පිළිබඳව අපි කලින් තබා තිබ්බ තක්සේරුව වැරදියි කියලා පිළිගන්න වෙනවා. ඒකට හේතුව ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැටියට අපිට හම්බවුණේ. එක පැත්තකින් ඔහු පවුලේ මානසික බාධාවල සිරකරුවෙක්. අනිත් පැත්තෙන් ඔහුගේ බලාපොරොත්තුව තියෙනවා මේකෙන් විශ්‍රාම ගිය දවසට තමාගේ මුනුපුරන් දරුවන් සමග ඇමරිකාවේ ජීවත් වෙන්න අවස්ථාව උදාකරගන්න. එතුමාගෙ බිරිඳටත් ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන නිසා. ඒ නිසා ඇමරිකාව තරහා නොවී සිටිය යුතුයි කියන පදනමේ ඉඳලා තමයි ඔහු හැමදෙයක් දිහාම බැලුවෙ. ඒ වගේම දේශපලාන වශයෙන් තිබිච්ච අපරිණතකම නිසා පී.බී ජයසුන්දරලාගේ ගොඩක් ලණු ගිල්ලා. මහින්ද රාජපක්ෂ කෙරෙහි තිබූ තක්සේරුව හරි. හැබැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දිහා බලලා ඒ අනුව කළ තක්සේරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වලංගු වුණේ නැහැ.

හිටපු ජනාධිපතිවරයා මානසිකව සිරකරුවෙක් වෙලා හිටියා කියලා ඔබ කිව්වෙ මොන අදහසකින්ද?

පවුලෙන් එන බැඳීම්වල හිරකාරයෙක් වුණා. මොන රටේ ජනාධිපතිද තමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එක ගේට්ටුවක් වහගෙන එන යන එකට බාධා කරනකොට ඒකට ඉඩ දෙන්නෙ. ඇයි එකත් ඉවසුවේ ඒ මහා මනුෂ්‍යය ගුණාංගයක් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මම හොඳටම දන්න කාරණයක් ඇමරිකානු තානාපති ඇවිල්ලා සතියට තුන්වතාවක් විතර අහනවා අහවලා අයින් කරලාද ඉන්නෙ? නෑ කියනවා. මම කව්ද කියලා කියන්නෙ නැහැ. මම හොඳටම විශ්වාස කරනව මේ ගේට්ටුව ළගින් කට්ටිය අයින් නොකළේ එවැනි මානසික බාධවක් නිසා. ලෝකයේ කිසිම ජනාධිපතිකෙනෙක් එහෙම කරන්නෙ නැහැ. ඒ වගේ දේවල්වලින් ඔහු පෙන්නුවෙ ඒ මානසික බැරියර් එක ඇතුළෙ ජීවත් වෙන කෙනෙක්ගේ චරිතයක්.

රාජපක්ෂ පවුලේ ආධිපත්‍ය ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාලයේ සිට ඔහු ගේ සහෝදරයන් වගේම නාමල් රාජපක්ෂ සමගත් දේශපාලන කටයුතු කළා. ඒ කාලයේදිත් ඔබ ඔවුන්ට සහයෝගය දැක්වුවානේ. ඒ වෙලාවේ පවුල් ආධිපත්‍යයක් තියෙනවා කියලා පෙනුනෙ නැද්ද?

2015 කාලය කියන්නේ වළකට වැටීමක්නේ .ඕන මෝඩයෙක් වළකට වැටුණොත් මොළේට ලාභයක් කරගන්නවානේ. පවුල් පාලනය කියලා පැරද්දුවට පස්සේ ආයෙ ආවම ඊට වඩා පවුල් පාලනයක් ඇති කරගනියි කියලා අපි ඇත්තටම හිතුවෙ නැහැ. අපි ආණ්ඩුව පිහිටුවලා මාසෙකින් ගැටීම පටන් ගත්තේ. විසිවෙනි සංශෝධනයට. ද්විත්ව රට වැසියාව ගෙන්වා ගන්න එතනම තිබ්බේ පවුල් ඕනකමනෙ. ආපු ගමන් කරපු පළමුවෙනි වැඩේ ඒකනෙ. ඒක කාගේ ඕනකමටද කළේ බැසිල්ගේ ඕනකමට. පටන් ගත්තෙම පවුලේ අවශ්‍යතාව දිහා බලලා. වැරදීමේ ආරම්භය එතන. හැටනව ලක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටීම ගැන කනගාටුවක් තියෙනවා. හැබැයි. මේගොල්ලො වපුරපු දේ අනුව අස්වැන්න නෙළා ගත්තා. ගෝඨාභය රාජපක්ෂට ඕනකමක් තිබුණෙ නැහැ සිය කැමැත්තෙන් පවුල්වාදී වෙන්න හැබැයි ඔහුට ධෛර්යයක් තිබුණෙ නැහැ පවුලෙන් එන පවුල්වාදි ප්‍රවණතාව මැඬ පවත්වාගන්න. ඔහු ඒකට යට වුණා.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න මුල් වුණ කාරණා මොනවද?

ආණ්ඩුවේ ඉද්දි අපි ඇමැති මණ්ඩලය තුළ විශාල අරගලයක් ආවා. විසිවැනි සංශෝධනයේ පටන් ගැටුමකින් පටන් ගත්තානෙ අපි කිහිපදෙනා හරි කරදරකාරයෝ කියලා හිතුවා. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ. ඊට පස්සෙ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටුම ආවානෙ. එතනදිත් කිසි දෙයක් කරන්න බෑ මේ අය එක්ක වගේ ඒ අයට අපි ගැන හැඟීමක් ආවා. ඊට පස්සේ මේ ආර්ථික අර්බුදය කලින් දැකලා අපි කිව්වනෙ මේ පෙර ක්‍රියාමාර්ග ගන්න කියලා උදය ,මම,වාසු ඒ බලපෑම කළා. අන්තිමට පක්ෂ නායක රැස්වීම කැඳවන එකත් ඒ නිසා නැවැතුණා. ඊට පස්සේ අපි තීරණය කළා මේක එළියට කියනවා කියලා. මාර්තු දෙක අපි ඒක කිව්වා.මාර්තු තුන උදය ගම්මන්පිලයි මාවයි ඇමැතිකම්වලින් අයින් කරපු ලියුම ආවා. අපිට ඇමැතිකම මහලොකු කජ්ජක් නෙවෙයි. ඒක ගැන හිතනවානම් අපි ඒ වගේ ප්‍රකාශ කරන්නෙ නැහැ. අපි ඒක කළේ එක්කො හැදෙන්න නැත්නම් අපි එළියට බහින්න. දෙකෙන් එකකට සූදානම්වෙලා හිටියෙ. ක්ෂණයකින් ප්‍රතිචාරයක් ආවා ඒ අනුව ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමක් හැටියට අපේ මතය අරන් ගියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අයින් වෙන්න පෙර සැලැස්මක් අපේ තිබුණෙ නැහැ.

පාර්ලිමේන්තුවේ දී හදිසි නිතිය සම්මත කර ගැනීමට ඔබ ඇතුළු කණ්ඩායම පක්ෂව ජන්දය ලබා දුන්නා.දැන් හිතෙනවද ඒ කරපු දේ සාධාරණයි කියලා?

යහපාලන ආණ්ඩුව කාලයේ පොළපාළිවලට සැලකුවෙත් ඔහොම තමයි. මල් මාලා දිලා පිළිගත්තෙ නැහැනෙ පෙළපාළිකරුවන්. වතුර කඳුළු ගෑස් ගැහුවා. හදිසි නීතියට අපි පක්ෂව ජන්ද දුන්නේ හදිසි නීතියෙන් ලැබෙන විශේෂ බලය සාමාන්‍ය ජනයාගේ අයිතිවාසිකම් පොඩිපට්ටම් කරන්න යොදාගත්තොත් ඊළඟ මාසෙ මේකට විරුද්ධව ජන්දය දෙනවයි කියලා හිතාගෙන. හැබැයි අපි ඒ භුමිකාවට යටත්ව පක්ෂ වුණේ ඒවෙලේ රටේ තිබුණු තත්ත්වය සලකලා. ඒ වෙලේ තිබුණු පාලනයක් නැති තත්ත්වයක්. අන්තිමට විවිධ වර්ගයේ පාපිෂ්ඨයන් රටේ පාලනය එක එක විදිහට අතට අරන් හිටියා. ඒ අරාජිකත්වය තුරන් කිරීම සඳහා අවශ්‍ය දේ අපි කළේ. අපි බලාපොරොත්තු වුණේ අරාජිකත්වය තුරන් කර ගැනීම.

ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඔබ සහය ලබාදුන් ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස හදිසි නීතියට පක්ෂව ජන්දය දුන්නෙ නැහැ? ඒ කණ්ඩායම ඔබ සමග ඒ වෙලාවේ හිටියෙ නැහැනේද?

මෙහෙමයි මේ කවුරුත් දන්නෙ නැහැ අරගලය කාගෙද කියලා. මේ අරගලය කාගෙද කියලා තේරුම්ගන්න තරම් දේශපාලන ඥානයක් තිබ්බනම් ඒ දේට පක්ෂව පෙනී ඉන්න යන්නෙ නැහැ. මම වචනයක්වත් කියලා නැහැ අරගලයට පක්ෂව. මුල් අවස්ථාවේ ස්වාභාවික ආවේගයෙන් ඕක පටන් ගත්තේ ජෙනුවින් මිනිස්සුනෙ. මධ්‍යම පාන්තික තරුණ දරුවෝ එහෙම එකතුවෙලා. නමුත් ඒක හයිජැක් කළා. එක්සත් ජනපද ආධාර වැඩසටහනෙන් තව ඇමරිකානු ආධාර ඒජන්සියක් තියෙනවා එන්. ඊ .ඩී කියලා ඒකෙන් ,තව තව තැන් වලින් මුදල් යොදවලා තියෙනවා අරගලයට. අපි කරුණු සිහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඔතන හිටපු සමහර යු ටියුබර්ස්ලාට සල්ලි ආවා. සමහර අරගලකරුවන් කියන අයට සල්ලි ආවා, ඒක වාණිජ ව්‍යාපෘතියක්. එහෙම අරගල ගැන අපි පරිස්සම් වෙන්න ඕන. ජන ආවේගය දඩ මීමා කරගෙන වෙන පැත්තකට මේරට ඇඳගෙන ගිය අරගලයට මම කවදාවත් පක්ෂ වෙන්නෙ නැහැ. සටනේ උච්චතම අවස්ථාවේදිවත් මම ඒක කිව්වා.

රුසියාවෙන් තෙල් ගැනීම සම්න්ධව ඔබ මැදිහත් වෙලා කටයුතු කළා. මේ වෙද්දි රුසියාවෙන් ඉන්ධන ගැනීමේ වැඩ කටයුතුවලට මොකද වෙලා තියෙන්නෙ?

අපි රුසියානු රාජ්‍ය තෙල් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලංකාවට ගෙන්නුවා. ගෙනත් මහබැංකු අධිපති, බලශක්ති ඇමැතිවරයා ඇතුළු විෂයට අදාළ අය සාකච්ජාවක් පැවැත්වුවා. එහෙ තියෙනවා මහ බැංකුව වගේ විදෙස් රටවල්වලට ණය දෙන බැංකුවක් .ඒ බැංකුවේ සභාපතිවරයා සාකච්ජා කරලා කියන්නම් කිව්වා ඒක කොහොමද වෙන්නේ කියලා. මෙහෙන් ඉල්ලුවේ ඩොලර් මිලියන පන්සියයක් මාසෙකට. ඒ ගොල්ලො එහෙ ගිහින් අවුරුද්දකට පස්සෙ ගෙවන්න තියෙන හැකියාව ගැන බැලුවා. ඊට පස්සේ ඒ අය කිව්වා පන්සියයක් බැහැ තුන්සියයක් වගේ ප්‍රමාණයකට එකඟ වෙන්න පුළුවන්. අපි අවබෝධතා ගිවිසුමක් එවනවා, ඒකට එකඟද නැද්ද කියලා කියන්න කියලා. අවබෝධතා ගිවිසුම ඇවිල්ලා මාස එකහමාරක් විතර වෙනවා.දවස් කිහිපයකට කලින් ඒ අවබෝධතා ගිවිසුමට එකඟයි කියලා ඇරියා. එතකොට දැන් එගෝලලො සුදානම්ව ඉන්නවා ඒ අයගෙන් අපි බොරතෙල් ගත්තොත් සියයට පහළොවත් විසිපහත් අතර බිල අඩුවීමක් වෙනවා. දැන් වෙළෙඳපොළේ මිලට වඩා. බොරතෙල් අපිට ඕනෙ නැව් දෙකක්. ඒකට යන්නෙ ඩොලර් මිලියන එකසිය අසුවක් වගේ ගණනක්. තවත් මුදලක් ඉතිරියි. පිරිපහදු තෙල් ගේන් පුළුවන් මිල අඩු නිසා කියපු ඩොලර් මිලියන පන්සියයක ප්‍රමාණය සමහර වෙලාවට තුන්සියයට ගේන්න පුළුවන් වෙයි. මිල අඩුවීමේ වාසිය නිසා. මොන හේතුවක් නිසාද දන්නෙ නැහැ පෙට්‍රොලියම් එකේ නීති අංශයේ අය වාණිජ අංශයේ අය මේකට ලෝකෙ නැති දේ කිව්වා මේ අවබෝධතා ගිවිසුම හරියන්නෙ නැහැ, සමාගමේ පැටිකිරිය හොයන්න ගියා. තනාපතිවරයා ඒ ගැන සොයා දුන්නා. ඕවට තමයි කාලය ගියෙ. දැන් අවබෝධතා ගිවිසුමට එකඟතාව පළ කරලා තියෙනවා. තව නොබෝ දිනකින් රුසියාවෙ තෙල් සමාගම් නියෝජිතයන් ලංකාවට එනවා. සමාගම නෙවෙයි ණය දෙන්නේ අර බැංකුවෙන් ණය දෙන්නෙ.අපි ගෙවන්නෙ බැංකුවට. කඩිනමින් මේ දේවල් කෙරුණොත් නොබෝ දිනකින් ඒ කටයුත්ත සාර්ථක වෙන්න පුළුවන්. එහෙම වුණොත් එදාවේල තෙල් නැවක් එන එක බලන් ඉන්න ඔනෙ නැහැ.

හැමෝම විරුද්ධව අදහස් ප්‍රකාශ කරද්දි පහුගිය දවසක චිනෙන් ආපු ආන්දෝලනාත්මක නැව පිළිගන්න ඔබතුමා ඇතුළු කණ්ඩායම ගියානේද ?

අපිට ආරාධනාවක් අාවා. තානාපති කාර්යාලයෙන් තව කට්ටියකටත් ආරාධනාවක් එන්න තිබ්බා. අපි හිතුවා ඒ ආරාධනවා පිළිගන්න ඕනෙ කියලා. ඒ නැව එන එක වළක්වන්න හැදුවට මුලින් එන්න කියලා පස්සේ එපා කිව්වා ඒක තුට්ටු දෙකේ වැඩක්නෙ. ඒ නිසා අපි ඒක වැරදියි කියලා පෙනී සිටියා. ඉතිං ප්‍රසිද්ධියේ පෙනී හිටපු අපිට ඒ නැව පිළිගන්න තානාපති කාර්යාලයෙන් උත්සවයකට ආරාධනා කළාම ඒකට නොගිහිං ඉන්න තරම් හේතුවක් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට හදිසි ණයක් දීමට එකඟවීම ගැන මොකද්ද දරන අදහස ?

දැන් ඉන්දියාව ඩොලර් බිලියන තුනක් දිලා තියෙනවා. ඉවරයිනෙ දැන්. බිලියනයක් ඉවරවෙන්න තෙල් නැව් දෙකයි ඕනෙ. ඒ නිසා මේක ණයකින් බේරෙන්න පුළුවන් කියන එකම වැරදියි.මම කියන්නෙ නැහැ ණය ලැබෙනවනම් ගන්න එපා කියලා. ඒක එකම උත්තරය හැටියට දරාගෙන ගියොත් ඒකෙන් විතරක් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න බැහැ. පුළුවන්කම තියෙන්න ඕන ආයෙ ණය ගන්නවා කියනවා වෙනුවට නිෂ්පාදන ආර්ථිකයකට පණ දෙන්න.. සේවා ආර්ථික සහ සුබසාධන ආර්ථිකයක්නෙ අපිට තියෙන්නෙ. මේ ආර්ථික ක්‍රමවලට මාරුකරගන්න ඕන මේක. එහෙම පෑලැන් එකක් නැතුව අයි එම් එෆ් බිබික්කම දිහා බලාගෙන හිටියොත් මිට වඩා අමාරුවේ වැටෙන්න පුළුවන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්කළ අතුරු අයවැය ගැන දරන්නේ මොනවගේ අදහසක්ද ?

දැඩි සත්කාරයේ ඉන්න ආර්ථිකයට පැරසිටමොල් පොවල බඩට අතින් ඇන්නා වගේ එකක් ඒ කතාව. දැඩි සත්කාරයෙ ඉන්න කෙනාගේ ප්‍රශ්නය පැරසිටමොල්ට්වලින් විසඳන්න බැහැ. එතන තියෙනවා මේ අර්බුදයේ ගැඹුර. ඒක විසඳන්න පුළුවන් විදිහෙ මැදිහත්වීමක් ඒ අයවැයෙන් පේන්නෙ නැහැ.සම්ප්‍රදායික අයවැය කතාවක්.

ඉදිරියේදි පොදුජන එක්සත් පෙරමුණත් එක්ක මැතිවරණයකට එන්නෙ නැහැ කියලා වගකීමෙන් සහතික වෙන්න පුළුවන්ද?

පොහොට්ටුවත් එක්ක අපෙ කිසිම දීගයක් මතුවට ඇතිවන්නේ නැත. ඒවගේම පොහොට්ටුවෙන් ඉල්ලා කිසිවකුට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා සිතන්නේ නැහැ.ඒක සහතිකයි. ඒ පරිච්ජේදය අවසන්. වරුණි පෙරමුණ
 

More News..