brand logo

ගෝඨාභය අත්අඩංගුවට ගන්න කිව්වේ අපි නෙවෙයි

05 October 2019

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සොලිසිටර් ජනරාල්වරිය සහ නිශ්ශංක සේනාධිපති අතර හුවමාරු වූ දුරකථන සංවාදය ඇගේ සේවය අත්හිටුවීම දක්වා දුරදිග ගිහින්. මේ පිළිබඳ ඔබේ අදහස..? මේ හඬපටයේ සංවාදය ඇය විසින් කළ බව ඇයම පිළිගෙන තිබෙනවා. හැබැයි ඕනෑම කෙනෙකුට පුළුවන් හඬපටයේ කොටස් අරගෙන තමන්ට වාසිදායක ලෙස එය හදාගන්න. නමුත් එතුමිය කියූ එක කාරණයක් පට්ටපල් බොරුවක්. ඒක තමයි ඇවන්ගාඩ් විසින් ඉතාම නිර්මාණශීලී ව්‍යාපාරයක් මේ රටට හඳුන්වා දුන්නා. ඒකෙන් රටේ ජාතික ආදායමට ප්‍රකෝටි සංඛ්‍යාවක ධනයක් එකතු වුණාය කියන එක. මේක පට්ටපල් බොරුවක්. ඇත්ත කතාව මොකක්ද? මුහුදු ආරක්ෂක සේවයේ අවිආයුධ ගබඩා කිරීමේ ක්‍රියාදාමය ඉතා සරලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2009 දෙසැම්බර් 07 තමයි පටන් ගත්තේ. ඒක 2012 ඔක්තෝබර් 15 දක්වා කරගෙන ගියා. ඒ මෙහෙයුමේ ස්වරූපය තමයි පිටරටින් යම් යම් පිරිස් මුහුදු ආරක්ෂණ සේවයේ නියැළෙන අය ශ්‍රී ලංකාවට එනවා. ඔවුන් ගාල්ලට යනවා. නාවික හමුදාව භාරයේ තියෙන අවි ආයුධ ගාල්ලෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ඔවුන්ව ගෙනිහින් රැකවරණය දියයුතු විදේශ නැව්වලට බස්සනවා. ඉන් පස්සේ ඒ විදේශ නැව් රතු මුහුද හරහා සූවස් ඇළ හරහා යනවා. රතු මුහුදේදි ඒ අවි නැවත එම පුද්ගලයාත් සමගම එහි තිබෙන මූලස්ථානයට භාර දෙනවා. ඉන් පස්සේ ඒ නැව් ආපසු එද්දී යළි එම අවි ආයුධ රැගෙන රතු මුහුදේදි මෙහෙයුම කරලා ගාල්ලට ඇවිත් අවි භාරදීලා ආපසු යනවා. මෙතැනට සම්බන්ධ වූ පුද්ගලයන් නාවික හමුදාවේ අය නෙවෙයි. මෙතැනට විදේශිකයෝ වගේම ලංකාවේ විවිධ ආරක්ෂක සේවාවන් කරගෙන ගිය හමුදාවේ විශේෂ බළකාවල සිටි අය  හිටියා. නාවික හමුදාව කළේ අවි ගබඩා කිරීම නිත්‍යනුකූලව පවත්වාගෙන යාම පමණයි. ඒ කාලය ඇතුළත නාවික හමුදාව භාණ්ඩාගාරයට උපයා දී තිබෙනවා රුපියල් මිලියන 1837ක්. ඒ කියන්නේ මිලියන 54 ක් මාසයකට ලබා දී තිබෙනවා. ඒ වගේම විවිධ මෙහෙයුම් 9808 ක් කර තිබෙනවා. ඔබ කියන විදිහට නාවික හමුදාව කළ මේ ව්‍යාපාරය පෞද්ගලික සමාගමකට ගියේ කොහොමද? මේකේ මහා ව්‍යාපාරයක් තිබෙන බව හඳුනාගත් බලලෝභී කුමන්ත්‍රණකාරී පිරිසක් මුලින්ම මෙය නාවික හමුදාවෙන් උදුරා ගන්නවා. උදුරාගෙන ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට අයත් රක්නාලංකා සමාගමට ලබා දෙනවා. ඒ රක්නාලංකා සමාගමේ ප්‍රධානී ලෙස ඒ අවස්ථාවේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු. එහි ප්‍රධානියා ලෙස ඔහුගේම යුද හමුදා සගයෙක්. ඉන් පසු කෙටි කලක් තුළ රක්නා ලංකා එකෙන් කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේ මෙහෙයුම භාර දෙනවා මෙවැනි මුහුදු මෙහෙයුම් ගැන කිසිම අත්දැකීමක් පළපුරුද්දක් නැති ඇවන්ගාඩ් සමාගමට. ඇවන්ගාඩ් සමාගම 2012 ඔක්තෝබර් 15 සිට 2015 නොවැම්බර් 13 දක්වා මේ මෙහෙයුම කරගෙන යනවා. මේ මෙහෙයුම කරගෙන යන කාලය තුළ ඇවන්ගාඩ් සමාගම ආසන්න වශයෙන් රුපියල් මිලියන 11823 ක් උපයනු ලබනවා. නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහත්, ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේ ඔබ එවක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්ට චෝදනා එල්ල කළාද? විවිධ ප්‍රශ්න පැන නැගුණා. මෙතැන ප්‍රධානම ප්‍රශ්නය 2015 ජනවාරි මස ඇතිවූ යහපාලන ආණ්ඩුවත් එක්කම මේ පාවෙන අවි ගබඩාව ගැන ජනතාව විසින් හෙළි කළා.  මේ ගැන පැමිණිලි ආවා. අගමැතිවරයාගේ මූලිකත්වයෙන්  සියලු දේශපාලන පක්ෂවල අය නියෝජනය වන කමිටුවකින් දූෂණ වංචා සෙවීම පිළිබඳව ප්‍රගතිය සාකච්ඡා කළා. විවිධ අවස්ථාවල සොලිසිටර් ජනරාල්, පොලිස්පති මහ බැංකු අධිපති මේකට සහභාගි වුණා. මම වගකීමෙන් කියනවා සුහද ගම්ලත් ප්‍රකාශ කළා මේ ගාල්ලේ පාවෙන අවි ගබඩාව පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ ඔහු යටතේය කියලා. තමන්ට විශ්වාස වසන්ත නවරත්න බණ්ඩාර නමැති අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ පිළිබඳ යුක්තිය ඉටු කරයි ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි කියා කිව්වා. ඊළඟ සතියේ වෙනත් නඩුත් සමග මේකේ ප්‍රගතිය සමාලෝචනය කරන අවස්ථාවේදී මේ ප්‍රශ්නය පැන නැගුණාම සුහද ගම්ලත් ප්‍රකාශ කළා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නිර්දේශ ලබාදී තිබෙනවා කියලා. මම වගකීමෙන් කියන්නේ එතැන තව බොහෝ පිරිසක් හිටියා. මොනවද ඔහු ඉදිරිපත් කළ නිර්දේශ? නීතිවිරෝධීව ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට විදේශීය නැව්වලට අවි සැපයීම, අවි ගබඩා කිරීම වගේම නීතිවිරෝධීව අවි තැන්පත්කර ගැනීම පිළිබඳව ගිනි අවි ආඥාපනත යටතේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ පුපුරන ද්‍රව්‍ය ආඥාපනත යටතේ රහස් පොලිසියට අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ යුතු පස්දෙනෙක් ඉන්නවා කියලා. මේ පස්දෙනාගේ නම් සුහද ගම්ලත් ප්‍රකාශ කළා. ඒ ගෝඨාභය රාජපක්ෂ, ඒ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස සිටි ජයරත්න මහත්මිය, රක්නාලංකා හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු, ඇවන්ගාඩ් සභාපති සහ එහි මෙහෙයුම් නිලධාරියා. අපි නෙවෙයි කිව්වේ සුහද ගම්ලත්. මම අද කියනවා අඟහරුවාදා දවසක බොහෝම ආඩම්බරෙන් කිව්වේ බ්‍රහස්පතින්දාට අපි මේ වැඩේ  කරනවා කියලා. ඊට පස්සේ ඊළඟ සතියේ අඟහරුවාදා මේ ප්‍රශ්නය ආවා. මෙකේ ප්‍රගතිය වාර්තා කරන්නේ අපි නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව. දෙමළ පරිවර්තනයක ප්‍රශ්නයක් තියෙනවා මේක පරෙස්සමෙන් කරන්න ඕනේ නිසා කල් ගියා කිව්වා. ඔය විදිහට ඕක කල් ගියා. කල් ගිහිල්ලා අන්තිමට මේ වසන්ත නවරත්න බණ්ඩාර ආවා මේ සභාවට. ඇවිල්ලා මේ කාරණේ මුල මැද අග පැහැදිලි කළා. කොහොමද ගිනි අවි ආඥාපනත යටතේ වරදක් වෙන්නේ, මොනවද තිබුණු බලපත්‍ර කියලා. ඊට පස්සේ සුහද ගම්ලත් කිව්වා වසන්ත නවරත්න බණ්ඩාර වැරදියි, මෙතැන තියෙන්නේ අල්ලස් ප්‍රශ්නයක් කියලා. එවිට මේ සභාවට පැහැදිලි ප්‍රශ්නයක් ආවා. අතිරේක සොලිසිටර් ජනරාල් එකක් කියනවා, සොලිසිටර් ජනරාල් තව එකක් කියනවා. පතරොමක් නැත්නම් වෙඩි බෙහෙත් මිලිග්‍රෑම් එකක්  අතේ තියෙන මිනිස්සු අත්අඩංගුවට පත්වෙන රටක අටසීයක තුවක්කුවලට බලපත්‍ර අරගෙන තුවක්කු හාරදාහක් තියාගෙන හිටියේ කොහොමද කියන එක ගැන, ඒවා විදේශ රටවල් සමග හුවමාරු කර ගත්තේ කොහොමද කියන එක ගැන බරපතළ ප්‍රශ්නයක් රටේ තියෙනවා. මේක ප්‍රශ්නයක් කියලා අපට තේරුණා. ඕක තමයි කතාව. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න කියල කිව්වේ අපි නෙවෙයි සුහද ගම්ලත්. ඒ වගේම ඒක නතර කළේත් කවුද? අපි නෙවෙයි සුහද ගම්ලත් හරි ඔහුගේ අය. ඉන් පස්සේ නවරත්න බණ්ඩාර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් වුණා. මම දන්නෑ හේතු මොනවද කියලා. ඉන්පසු ඔහු ඔහුගේ නිර්දේශ ප්‍රසිද්ධියේ වෙබ් අඩවියේ පළ කළා. එවිට තමයි අපිත් මේකේ සවිස්තර විස්තරේ සහ නීතිපතිට යැවූ නිල ලියවිල්ල දැක්කේ. ඔය අතරෙදි මොහුට විදෙස්ගත වෙන්න අවසර දුන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ පැන නැගුණා. ඇමැතිවරු දෙන්නෙක් දුරකථන ඇමැතුමක් දීලා පාස්පෝට් එක භාර දෙන්න කියලා කිව්වා. ඕක මම ඉස්සරහා විතරක් නෙවේ තව අතිවිශාල පිරිසක් ඉදිරියේ කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාත් හිටියා. ඒ වුණාට සුහද ගම්ලත් නම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න කියා කිව්වේ පාඨලී චම්පික රණවක කියලා? මේක ඉතින් එයාගෙ කටකතාවක්නේ. නමුත් රටේ පිළිඅරගෙන තියෙන නිල ලියවිල්ල මම පෙන්වන්නම්. මේ නිල ලියැවිල්ල යැව්වෙ පාඨලී චම්පික රණවක නෙවෙයිනේ. මේ ලියැවිල්ල යැව්වේ අතිරේක සොලිසිටර් ජනරාල්. ඕක ඔබට වෙබ් අඩවියේ පැහැදිලිව බලන්න පුළුවන්. අද වෙනතුරු මේක කළේ නැහැ කියලා අතිරේක සොලිසිටර් ජනරාල් පිළි අරගෙන නැහැ. මේ ඉදිරිපත් කළේ සුහද ගම්ලත්. මෙන්න ඔහුගේ ප්‍රකාශය. මේක ලියලා තියෙන්නේ චම්පික රණවකද..? මේක ලියලා තියෙන්නේ සුහද ගම්ලත්. මට අයිතියක් තියෙනවද පරීක්ෂණ කරන්න. නීතිපතිවරයා වීමට සිටි සුහද ගම්ලත්ගේ එම උසස්වීම ඔබ ඇතුළු ව්‍යවස්ථාදායක සභාව විසින් වැළැක්වූ බවටත් චෝදනා එල්ල වෙනවා? ඔව් ඉතින් අපි ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නවා. ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා කථානායකතුමා. අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු නවදෙනෙක් ඉන්නවා. සිවිල් සංවිධානවලින් ඒ.ටී. ආරියරත්න, සිබ්ලි අසීස් සහ රාධිකා කුමාරස්වාමි වැනි අයත් හිටියා. මම හිටියා, විජිත හේරත් හිටියා. විජයදාස රාජපක්ෂ හිටියා. ජෝන් සෙනෙවිරත්න හිටියා. මට තනිවම තීරණ ගන්න බැහැ. එතැන මේ වගේ ඉහළ පත්වීම් පිළිබඳ තීරණ ගත්තේ ඒකමතිකව. මේ වගේ පදවියකට කෙනෙක් යද්දී ඔහු සම්බන්ධයෙන් කථානායකතුමාට විවිධ පැමිණිලි ලැබෙනවා. එතුමා ඒවා විභාග කරනවා. පොලිස්පති පත් කරද්දීත් පැමිණිලි ආවා. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කරද්දීත් පැමිණිලි ආවා. ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම විනිසුරුවරයකු පත් කරද්දී ඔහුට විරුද්ධව පැමිණිලි ආවා. ඒ පිළිබඳ කථානායකතුමා සහ විමර්ශන කණ්ඩායම ඒවා විමර්ශනය කරලා අපිට දැනුම් දෙනවා. ඉන්පසු ඒ ගැන අපි තීරණය කරනවා. ව්‍යවස්ථාදායක සභාවේ තීරණ අභියෝගයට ලක් කරන්න සුහද ගම්ලත්ට බැහැ. සුහද ගම්ලත් සුදුසු නම් පත්වෙනවා, නුසුදුසු නම් නැහැ. ඔහුට තියෙන දුක ඕකයි. ඔහු නීතිපති වුණා නම් නීතිය කොයි විදිහට නවයිද කියන එකට මේකම හොඳ සාක්ෂියක්. දැන් ඔහු මේ ආණ්ඩුවේම ඉහළ තනතුරක් දරනවා. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපතිවරයා වන්නේ ඔහු? ඇත්තටම ඔහුගේ දේශපාලනය ඒකෙන්ම පැහැදිලි වෙනවනේ. දේශපාලනයක් කරන ගමන් ඔහුට ඔය වගේ ස්වාධීන ආයතනයක සභාපතිකම දරන්න බැහැ සදාචාරාත්මකව. ඔහු කියා තිබෙනවා ඔහු කියන්නේ ඇත්ත කියලා. ලිඛිත දේ මිස කටින් කියන දේ නෙවෙයිනේ ඇත්ත. ඒ වගේම මම ඔබට පොඩි රහසක් කියන්නම්. මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්දෙන් පැරදුණාම මුලින්ම උදේ පාන්දරින්ම මට සුබ පතලා දුරකථන ඇමැතුම දුන්නේ අපේ හිතවත් සුහද ගම්ලත්. මොනවා වුණත් ඔහු ඔබට කරන චෝදනා බරපතළයි. ඔබේ නිර්දෝෂී භාවය උදෙසා නීතිමය පියවර ගත හැකිනේ..? මට මගේ නිර්දෝෂී භාවය පළකරන්න තරම් දෙයක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න ඕනෙ කියලා. නීතිපති දෙපාර්තමේන්තුවමයි කිව්වේ අත්අඩංගුවට ගන්නේ නැහැයි කියලා. මේ රටේ ජනතාවට මම කියනවා පතරොමක් අතේ තියෙන කෙනෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන රටක, පුපුරන ද්‍රව්‍ය අවුන්සයක් තියෙන අය හිරේ යන රටක තුවක්කු හාරදාහක ගනුදෙනුවක් කරන අය නිදැල්ලේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔබ තීරණය කරන්න. මට නීතිමය කටයුතු කරන්න අවශ්‍යතාවක් නැහැ. අපහාසයට නඩු දැම්මාම අවුරුදු විස්සක් නඩු අහනවා. 2004දී මම දාපු නඩුවක් තවම අහනවා. මේ අධිකරණ ක්‍රියාවලිය කුණු වෙච්ච යුක්තිය ඉටු නොවන ක්‍රියාවලියක්නේ. ඒ නිසා මම මින් ඉදිරියට අපහාස නඩු දාන්නේ නැහැ. ඒ බව මීට අවුරුදු තුනකට විතර කලින් තීරණය කළේ. අපේ කාලය නාස්ති වෙනවා. මේ රටේ අධිකරණ ක්‍රියාවලියක් නැහැ. ඒ නිසා අපි මේක ජනතාවට කියනවා. සාක්ෂි සහ සාධක සහිතව අපි ළඟ තොරතුරු තියෙනවා. ඕනම කෙනෙක්ට ගිහින් වසන්ත නවරත්න බණ්ඩාර මේ ඇවන්ගාඩ් පිළිබඳව 2015 ලබා දුන් නිර්දේශය කියවන්න. එතකොට සුහද ගම්ලත් හරිද චම්පික රණවක හරිද කියලා ඔප්පු වේවි. සමහරු විශ්වාස කළා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබ ඉදිරිපත් වේවි කියලා. ඒ පිළිබඳ ඔබ තුළත් බලාපොරොත්තුවක් තිබුණා? ඕක මගෙන් කිහිප දෙනෙක්ම ඇහුවා. එහෙම බලාපොරොත්තුවක් නැහැ. මට තියෙන්නේ අපේ පරපුර දිනවීමේ බලාපොරොත්තුවක්. නමුත් මා එකක් කිව යුතුයි. මේ රටේ මගේ දේශපාලන හතුරෙක්වත් කියන්නෙ නැහැ පාඨලී චම්පික රණවකට මේ රට පාලනය කරන්න බැහැ, ඔහුට සුදුසුකම් නැහැ, ඔහු දේශද්‍රෝහියෙක් කියලා. මේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත් කළා. මගේ අමාත්‍යාංශයට තමයි එකම චෝදනාවක්වත් නැත්තේ. ඒ වගේම 2017 රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කාර්යසාධනය අතින් අංක එකට ආවේ අපේ අමාත්‍යාංශය. මේ රටේ කිසිම කෙනෙක්, අඩුම ගානේ මහින්ද රාජපක්ෂ මහත්තයවත්  කියන්නේ නැහැ පාඨලී චම්පික රට කරවන්න නුසුදුස්සෙක් කියලා. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔබේ භූමිකාව කුමක්ද? අපේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරක්. අනෙක් පැත්තේ තියෙන්නේ පවුල් කඳවුරක්. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එහි නායකයන්ට ආර්ථිකය හෝ සමාජය හැසිරවීමේ මොනම බලයක්වත් නැහැ. වැඩවසම් රදළයන්ගේ වහල්ලු හැටියට තමයි ජීවත්වුණේ. අපිත් මේක හොඳට බලා ඉඳලා එපාවෙලා තමයි ආවේ. අපි රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව ස්වාධීන සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණයේදී කියපු දෙයක් තමයි මේ කඳවුරේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියන එක. ඉතින් අපි එතුමාව දැම්මා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ද්‍රවිඩ ජාතික සන්ධානය අදත් ඉන්නේ ඔවුන්ගේ ඡන්ද කේවල් කරමින්. සම්බන්ධන් ඇතුළු කණ්ඩායම තවමත් ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක් සහ දකුණේ ජනතාව ප්‍රතික්ෂේප කරන වගන්ති ඇතුළත් ව්‍යවස්ථාවක්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එනතුරු ඔවුන් බලා සිටිනවා සිය සහාය ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට. මේ තත්ත්වය ඔබ දකින්නේ කිනම් ආකාරයකටද.? දෙමළ ජාතික සන්ධානය කළින් කතා කළේ දේශපාලන විසඳුම ගැන පමණයි. නමුත් පහුගිය කාලේ පටන් ඔවුන් සමස්ත රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට  සහ ත්‍රස්තවාදය තුරන් කිරීමට මැදිහත් වීමක් කරනවා. රටට අලුතින් ව්‍යවස්ථාවක් හදන එක සජිත් ප්‍රේමදාසට කරන්න පුළුවන් දෙයක් නොවේ. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් කළයුතු දෙයක්. ජනමත විචාරනයකිනුත් අනුමත වියයුතු දෙයක්. ඒ බව දෙමළ ජාතික සන්ධානයත් දැනගත යුතුයි. ඒ වගේම දෙමළ දේශපාලනයත් පසුගිය කාලයේ ශීඝ්‍ර වෙනසකට ලක්වුණා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවමත් සැකසෙමින් තිබෙනවා. මම පැහැදිලිව කියනවා රටේ ඒකීයභාවයට හෝ බුදු දහමට ලබා දියයුතු ප්‍රමුඛස්ථානය, සෙසු ආගම් සහ ජන කණ්ඩායම්වලට ලබාදී ඇති අයිතියට හානිවන කිසිම දෙයක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැහැ. ඉදිරි වසර හතර හෝ පහ තුළ අපේ රටේ අනාගතය කෙසේ විය යුතුද යන්න පිළිබඳ දැක්මක් ඔබට තිබෙනවා. ප්‍රේමදාස පාලනයක් තුළ ඒ දැක්ම යථාර්ථයක් කරගත හැකිවේවි කියා විශ්වාස කරනවද? අපි කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. රටට ඉදිරිපත් කරන්නේ සාමූහික නායකත්වයක්. මෙය තරුණ නායකත්වයක්. මගේ වැඩසටහන කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මගේ සහ තවත් අයගේ දහස් ඇතුළත්ව ප්‍රජාතාන්ත්‍රික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරනවා. ප්‍රජාතාන්ත්‍රික සාමූහික බලය තියෙන්නේ මෙතැන. ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යුගයේ ඒ ආණ්ඩුවේ පීඩනයට ලක්වූවන් අතර කෙනෙක් ඔබ. එවන් පක්ෂයක් සමග පසුගිය වසර හතර කටයුතු කිරීම පහසු වුණාද.? ජේ.ආර්. සහ ප්‍රේමදාස පාලනයේ පීඩනයට එරෙහිව අපි එදා සටන් කළා. අද ඔය ලොකුවට කතා කරන අයට එහෙම අත්දැකීමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයත් පක්ෂයක් හැටියට වෙනස්වෙලා. මම හිතනවා මේ ජනාධිපතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ බලගතු මූලික වෙනසක් වෙයි. එජාපය ඉතිහාසයේ කිහිප වතාවක් වෙනස් වුණා. සේනානායකවරුන්ගෙන් පස්සේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා පක්ෂයත් වෙනස් කළා රටත් වෙනස් කළා. ප්‍රේමදාස මහත්තයාට රට ලොකුවට වෙනස් කරන්න තරම් කාලයක් ලැබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ යුගයේ වෙනම ක්‍රියාවලියක්. මම හිතනවා 2020 සිට එජාපය සහ ඒ හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන අලුත් දැක්මක් සහ දර්ශනයක් එක්ක යයි. ඒ ධනපතින්ගේ විදේශ ගැත්තන්ගේ පක්ෂයක් ලෙස නොවේ. අජිත් අලහකෝන්
 

More News..