brand logo

ගෝඨාභයගේ ඉල්ලීම පිළිබදව නීතිපතිවරයාගේ ස්ථාවරය ඔක්. 03 වැනිදා ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් නියෝගයක්

01 October 2019

ඉදිරි ජනාධිපතිවරණයේ දී නාම යෝජනා පත්‍ර භාර දීමේ කටයුතු සඳහා මෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරගැනීම සඳහා විදේශගතවීමට දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රයේ තාාකාලිකව මුදා හරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය ඔක්තෝබර් මස 3 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (01) නියෝග කළේය. පසුගිය රජය සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයෙහි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම මගින් රජයට රුපියල් මිලියන 33.9 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද  දින ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලූ සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කරන ලදී. මෝසම ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර සිටින අතර ඊට අදාළව ඔහු විසින් ලබන 07 වනදා නාමයෝජනා පත්‍ර භාරදීමට නියමිතව තිබෙන බව සඳහන් කර සිටියේය. නාම යෝජනා පත්‍ර භාර දීමේ කටයුතුවලදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවශ්‍යව තිබෙන බව සඳහන් කර සිටියේය. ඊට අමතරව තම සේවාදායකයා මෑතකදී සිංගප්පුරුවේ දී හදවත් සැත්කමකට භාජනය වූ බවත් ඊට අදාළව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා ඔහුට මේ මස 09 වනදා සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට අවශ්‍ය ව ඇති හෙයින් දැනටඅධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැර අධිකරණය විසින් පණවා තිබෙන විදේශ ගමන් තහනමද අදාළ කාල සීමාව සඳහා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ජනාධිපති නීතිඥ ශබ්රි මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා කරුණු දක්වමින් විත්තිය විසින් ඉදිරිපත් කරන මෙම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව සඳහන් කර සිටියේය. එහෙත් එම ඉල්ලීම තහවුරු කිරීමට අවශ්‍ය කරනු ලබන ලේඛන විත්තිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති වීම ගැටළු සහගත බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මේ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. එම ඉල්ලිම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම මෝසම ඔක්තෝබර් මස 3 වනදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය වෙත දැනුවත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රජයේ නීතිඥවරයාට නියෝග කරන ලදී. අධිකරණ වාර්තාකරු
 

More News..