brand logo

ගෝඨාගේ සහ ශ්‍රීලනිප පොහොට්ටු ගිවිසුම් එළියට

11 February 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ප්‍රථම වරට ඊයේ (10 වැනිදා) ප්‍රසිද්ධියට පත්කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙම ගිවිසුම් ප්‍රසිද්ධ කර තිබේ. ගිවිසුම් ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇත්තේ අවබෝධතා ගිවිසුමක් නොමැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නගන චෝදනාවලට පිළිතුරක් ලෙස බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මෙම ගිවිසුම් දෙකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුම අත්සන් කර ඇත්තේ 2019 ඔක්තෝබර් 10 වැනිදාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම 2019 ඔක්තෝබර් 19 වැනි දින අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පක්ෂ දෙක අතර ගිවිසුමට අත්සන් කර තිබේ. එය කරුණු 22කින් යුක්තය. ජනාධිපතිවරයා සමග අත්සන් කළ ගිවිසුමට එවකට ජනාධිපති ධුර අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර අත්සන් කර ඇත. එය කරුණු 17කින් යුක්තය. මෙම ගිවිසුම්වලට අදාළ නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කර ඇත. එම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේද අනුමැතිය හිමිවී තිබේ. උදයජීව ඒකනායක
 

More News..