brand logo

‘‘ගොරකා කාපු රිළවා වගේ’’ ගසෙන් උපන් ප්‍රස්තාව පිරුළු

04 May 2019

අන්දරේගේ නිවසට වැඩිමල් සොහොයුරිය බැලීම සඳහා දිනක මනාලයකු පැමිණ තිබණි. ගෙදර අය විසින් පැමිණි පිරිසට වචනයකින් සංග්‍රහ කිරීමට භාර කෙරුණේ අන්දරේටය. අන්දරේ සුපුරුදු පරිදි සියල්ලන්ට ආචාර කර අවසර ගෙන කතාවක් පටන් ගත්තේය. ඔහු පුරුදු පරිදි කවියද කතාවට එක්කරගෙන සොයුරිය හා මනාලයා අතර ගැළපීම කවියෙනුත් විස්තර කළේය. බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගෙයි දේවතුමට මහ බඹු දුන් ළියක් වගෙයි ලෝකෙ ඉන්න පඬිනට පිස්සුවක් වගෙයි කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි කවියේ අවසානයේ කියැවුණු කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි කියන ප්‍රස්තාව පිරුළෙන් අන්දරේ සියලු දෙනාම සිනා සයුරේ ගිල්වීමට සමත් වුණේය. එහි කියැවුණු කොහොඹ, අප කවුරුත් හොඳින් දන්නා ගසකි. කොහොඹ දිවට තිත්ත හා කෂාය රස ගෙන දෙන්නකි. එසේම කරවිල ද තිත්ත රසෙහි රජු ලෙස හැඳින්විය හැක. කොහොඹ සහ කරවිල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පමණක් නොව දේශීය වෙදකමටත් නැතිවම බැරි ඖෂධීය ශාකයන් දෙකකි. කරවිලවල ඇත්තේ ආයුර්වේද දර්ශනයට අනුව තිත්ත රසයි. කරවිල ශරීරයට දිරවීමෙන් පසුව ඇති වන්නේ කටුක විපාකය වේ. කරවිල සතුව ත්‍රිදෝෂයන් වන වා පිත් සහ සෙම නැසීමේ හැකියාව ඇත. තවද බෝ නොවන රෝගයන් රැසක් නැසීමට ඇති ඖෂධයකි කරවිල. මේ අනුව කොහොඹ තිත්ත රසයෙන් යුක්ත ශාකයකි. ඒ සමග කරවිල වැනි තිත්ත වැලක් එකට එක් වූ විට තිත් රසය තවත් වැඩි වේ. නැතිනම් තිත්ත රසය දෙගුණයක් වේ. දුර්ගුණයන් නැතිනම් අයහපත් සිතුවිලි ඇති දෙදෙනකු එකට එක් වූ විට සිදුවන්නේ එයමය. දුර්ගුණයද දෙගුණයකින් වැඩි වේ. කොහොඹ ගසේ තිත්ත රසය ජන සාහිත්‍යකරුවන් මිනිසුන්ගේ දුර්ගුණයන් පැහැදිලි කිරීමට උපමාවක් ලෙස යොදා ගෙන ඇත. ‘‘කොහොඹ ඇටයට කිරි වත් කරමින් හැදුවත් එහි තිත්ත ගතිය ඉවත් නොවේ’’ ප්‍රස්තාව පිරුළ මගින් පහදා දීමට උත්සාහ කර ඇත්තේ කොතරම් උදව් උපකාර කළත් දුර්ජන පුද්ගලයාගේ ඒ දුෂ්ට ගුණය ඉවත් නොවේ යන්නය. ‘‘තිත්ත කොහොඹ ගසේ රස මී බඳින්නා වගේලු.’’ මෙයින්ද තවදුරටත් කොහොඹ ගසේ තිත්ත රසය පැහැදිලි​ වේ. නමුත් ඇත්ත වශයෙන්ම පැහැදිලි වන්නේ කොතරම් අයහපත් වූත් දුර්ගුණයෙන් යුක්ත වූත් පරිසරයක වුවත් උසස් ගුණයෙන් යුතු උසස් ගති ලක්ෂණ දරන උසස් සිතුවිලි දරන පුද්ගලයන් බිහිවිය හැකිය යන්නය. මෙය දෙව්ලොව උතුම් පානය අමෘතය වේ. මිනිස් ලොව අමෘතයට සමාන වූ පානයකි මී පැණි. මී පැණිවල රසය තිත්ත රස වූ කොහොඹ ගසක බඳින ලද මී වදයෙදි එම රසය වෙනසක් නැත්තේය. ගැස්ට්‍රයිටිස් වැනි ආම්ලික දේ අහිතකර රෝගී අවස්ථාවකදී දිවුල් හිතකර වන්නේ එහි අන්තර්ගත ඇස්කොබික් අම්ලය (Ascobic Acid) හේතුවෙනි. ආම්ලික දේ අහිතකර අවස්ථාවක ආම්ලික දේ හිතකර වීම පිටුපස පුළුල් වූ ආයුර්වේද දර්ශනයක් අන්තර්ගත වේ. යම් විසක් ශරීරගත වූ විට එම විෂ ශරීරයෙන් ඉවත් කිරීමට හැකි වන්නේ එවැනිම වූ විසක් මගිනි. විසෙන් විස නැසීම ලෙස හැඳින්වේ. මේ අනුව ‘‘ඇඹුලෙන් ඇඹුල නැසේ’‘ යන ප්‍රස්තාව පිරුළ එදිනෙදා අප විසින් භාවිත කරන භාෂාවට එක් වූයේ දිවුල්වල ඇති මේ කතාන්දරය මුල් කොට ගෙනයි. සමාජයට පිළිලයක් නැති නම් බරපතළ අහිතකර වූ කරුණක් ඉවත් කළ හැක්කේ එවැනිම වූ කරුණක් මගින්ය යන්න එහි තේරුමයි. අපි යමෙකු අතිශයෙන් අකැමැති වූ විට නැතහොත් නුරුස්සන විට ‘‘නයාට අඳුකොළ වගේ’‘ කියා ප්‍රස්තාව පිරුළක් යෙදෙයි. අඳු ශාකයේ පත්‍රවලින් විහිදෙන්නේ ඉතා අප්‍රසන්න වූ අමිහිරි ගන්ධයක්ය. ඒ අප්‍රසන්න වූ ගන්ධය දරුණු සර්පයකුට පවා දරාගත නොහැකි වූ අපුලකින් යුක්තට. මේ අනුව කිසියම් දෙයක් හෝ පුද්ගලයෙක් පිළිබඳ අප සිත තුළ ඇතිවන අප්‍රසන්න වූ හැඟීම් නයාට අඳුකොළ වගේ යැයි කියයි. ගම්මිරිස් ඇටේ සැර දැනෙන්නේ විකුව විටයි’’ යන පිරුළ සමාජගත වූයේ ගම්මිරිස් දිවට දැනෙන රසය තිත්ත හා කටුක වේ. එනිසා දිවට සැරගතියක් දැනේ. නමුදු ප්‍රමාණයෙන් ගම්මිරිස් ඉතා කුඩා ඇටයකි. ඇතැම් පුද්ගලයන්ගේ සිතුවිලි හා අදහස් අප කිසිදා නොසිතූ පරිදි ඉතාමත් භයංකාර වූ සිතුම් පැතුම් ඇති පුද්ගලයන්ය. අද ඔබත් මමත් ජීවත් වන සමාජයේ සෑම විටම අපට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීම්වලටය. යහපත් පුද්ගලයකු ලෙස ජීවිතය ගත කිරීමට කොතරම් සිතුවත් එම සිතුවිල්ල අප අතරින් ගිලිහී යන අවස්ථා ඕනෑතරම්ය. බුද්ධ චරිතය දෙස බැලූ විට රහසින්වත් පව් නොකළ බුදුන්ටද විවිධ වූ පුද්ගලයන් විසින් අවමන් සහගත ලෙස සලකා ඇති අවස්ථා එමටය. එසේ නොකළ වරදකට තමන්ට අවමන් විඳීමට සිදුවූ විට ‘‘මම අබමල් රේණුවකවත් වරදක් කර නැත.’’ බව බොහෝ දෙනකු කියයි. අබ මල් ඉතා කුඩා මලකි. එහි රේණු සැලකූ විට ඊටත් වඩා අතිශයින් කුඩා වේ. එසේ නම් කුඩා හෝ නොසැලකිය හැකි තරම් වූ වරදක් නොකළ බව ‘‘අබමල් රේණුවකින් හෝ වරදක් කළ නැති බව’’ යන්නෙන් අදහස් වේ. අබ සමග බැඳුණු තවත් ප්‍රස්තාව පිරුළකි ‘‘අබ කෑ අයගේ නහය දනී’’යන්නය. අප ආහාරයට ගත් විට කටුක හා තිත්ත වූ රසයක් දිවට දැනේ. එවිට උගුරට තිත්ත රසය යන විට නාසයටද දැවිල්ලක් ඇති වේ. යම් වරදක් කළ පුද්ගලයෙක් එම වැරැද්ද පිළිබඳ විස්තර පවසද්දී වැරැද්දට හවුල් වූ අනෙක් වැරැදිකරුවන්ට තමාටද වරද පැටවේ යැයි ඉඟි පහල වේ. එවන් අවස්ථාවක ‘‘අබ කෑ අයගේ නහය දනී’‘ වැනි ප්‍රස්තාව පිරුළක් යෙදේ. ලංකාදීපය පෘතුගීසී, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් යටත් විජිතයක් ලෙස පැවතුණ කාලයක් විය. දෙවන රාජසිංහ රජ දවස පෘතුගීසීන්ගෙන් සිදු වූ තාඩන පීඩන හමුවේ රජු විසින් ලන්දේසීන්ගේ උපකාර ඇතිව පෘතුගීසීන් පළවා හැරීමට තීරණයක් ගත්තේය. රජතුමා විසින් ගත් මේ තීරණය හරියට ‘‘ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ’’ යැයි පසුව සිතන්නට විය. මෙසේ කීමට හේතුව කලින් සිටි පෘතුගීසීන්ට වඩා පසුව ආ ලන්දේසීන් නරක් වීමය. ඉඟුරු හා මිරිස් දෙවර්ගයම සැර ගතියෙන් යුතුය. එහිදී ඉඟුරු මිරිස් සංසන්දනාත්මක බැලූ කලදී ඉඟුරු හි සැර මිරිස්වල සැරට සාපේක්ෂව අඩුය. එබැවින් පෘතුගීසීන් හා ලන්දේසීන් අතර සිදුවූ අතීත සිදුවීම මත අදටත් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ යන ප්‍රස්තාව පිරුළ වහරේ යෙදේ. ‘‘ගොරකා කාපු රිළවා වගේ’’ යන්න අපේ වහරේ යෙදෙන ප්‍රස්ථාව පිරුළකි. තමා විසින්ම සිදු කළ යම් කිසි අනුවණ ක්‍රියාවකින් තමාට අපහසුතාවට පත් වූ අවස්ථාවකදී මෙම පිරුළ කෙනෙකුගේ සිහියට නැගේ. රිළවා ගොරකා කෑමට ඉමහත් රුචිකත්වයක් දක්වන්නේය. නමුදු එහි ඇති මදය නැතිනම් ඇටය සැපූ විට මදයේ ඇති මැලියම් රිළවාගේ දත්හි තැවරීම හේතුවෙන් කට ඇර ගැනීමට නොහැකිව රිළවා දැඩි අපහසුතාවට පත්වේ. ඇතැම් අවස්ථාවලදී අප මතු පරපුර පිළිබඳ නොසලකා අද ගැන පමණක් සිතා වැඩ කිරීමට පුරුදු වී තිබේ. මෙසේ අනාගතය ගැන නොසිතීම හේතුවෙන් මානව සමූහයාටම අහිතකර බලපෑම් ඇතිවන අවස්ථා බහුල වේ. වනාන්තර එළිකිරීම මීට කදිම නිදසුනකි. මේ හා ගෙතුණු ප්‍රස්තාව පිරුළක් අපට හමුවේ. එනම් ‘‘අතු කඩා මොර කන්නා වගේ’’ මොර ගස්වල පලදාව වසරකට වරක් නොලැබෙන අතර අවුරුදු කිහිපයකට වරක් පල දැරීම සිදුවේ. එවිට ගෙඩියෙන් ගෙඩිය කඩා ගැනීම පහසු කාර්යයක් නොවේ. මේ බැවින් මොර ගසේ අතු කපා පලදාව ගැනීමට මොර කඩන්නෝ පුරුදු වී සිටිති. එසේ අතු කැපීම නිසා ගසට සිදුවන හානිය ඉතා බරපතළ වේ. අට්ටික්කා හෙවත් දිඹුල් ගසේ මල් පිපීමක් සිදු නොවේ. නමුදු කඳ වටා ගෙඩි හට ගනී. එබැවින් කිසියම් දෙයක් කිසිදා නොවන විට ‘‘දිඹුල් මල් ගන්ට දිය ඇද්දා වගෙයි’’යැයි උපමාවක් සහිතව සුභිෂිතයේ මෙසේ පහදා දේ. සකල සුර නරන් මුදුනත සැදූවද විපුල මුනි සරණ හැර අන් සුරන් යැද නිමල මොක් පිණිස සත කිනා දුලද දිඹුල මල නිසා වෙහෙසුණු වැදි දියැද යම්කිසි අදහසක් ඉදිරිපත් කිරීමේදී කිසියම් අවස්ථාවක් මුල් කරගෙන යම්කිසි පිරුළක් ඉදිරිපත් කිරීමට ඈත අතීතයේ සිටම මිනිසුන් පුරුදු පුහුණු වී සිටියහ. එයින් ප්‍රස්ථාව පිරුළු දහස් ගණනක් අපේ වහරට එක්වී තිබේ. එයින්ද ස්වභාවධර්මය හා වෘක්ෂලතාවන් සමග බැඳුණු ප්‍රස්තාව පිරුළු ද බොහෝය. මෙවැනි ප්‍රස්ථාව පිරුළු මගින් යම් කරුණක් සරලව ව්‍යංගයෙන් ඉදිරිපත් කළ හැකි වීම සිදුවන්නා සේම, වෘක්ෂලතාවන් හා බැඳුණු ප්‍රස්තාව පිරුළුවල විශේෂත්වය වන්නේ ඒ පිරුළට වෘක්ෂලතාවන්ගේ ගුණ ගැන සැලකිලිමත් වී නිර්මාණය වී තිබීමය. අපරාජිත් මනුප්‍රිය හෙට්ටිආරච්චි
 

More News..