brand logo

ගේල් එක්දින පිටියෙන් සමුගනී

18 February 2019

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 1999 වසරේ දී එක්දින වරම් හිමි කර ගත් 39 හැවිරිදි ක්‍රිස් ගේල් මේ වන විට බටහිර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 284 ක්. ලකුණු 9,727 ක් රැස් කර ඇති ඔහු එක්දින ශතක 23කට ද හිමිකම් කියනු ලබනවා. කෙසේ වෙතත් ක්‍රිස් ගේල්, එංගලන්තයට එරෙහි තරග 5කින් යුත් එක්දින තරගාවලිය සදහා මේ වන විට නම් කර ඇති කොදෙව් සංචිතයට ද ඇතුළත් වනවා. සිය සමු ගැනීමේ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රිස් ගේල් පවසා ඇත්තේ මෙම වසර ඔහුට ඉතාමත් වැදගත් වසරක් බවත් එය සාර්ථකව අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. යොවුන් ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථානය ලබාදීමට හා ඔවුන් ක්‍රීඩා කරන අයුරු ක්‍රීඩාගාරයේ සිට නැරඹීමට තමන් කැමැත්තක් දක්වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ක්‍රිස් ගේල් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවනි වන්නේ හිටපු නායක බ්‍රයන් ලාරාට පමණයි. https://youtu.be/nhgEStjrlLQ
 

More News..