brand logo

ගෙවී ගිය සතියේ දේශපාලන උණුසුම

10 January 2021

ගෙවී ගිය සතිය මෙරට දේශපාලන කරලියේ උණුසුම් වූයේ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා හදිසි සංචාරය හේතුවෙනි. නව වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රිකයාද ඔහුවීම විශේෂත්වයකි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව ඉතා දීර්ඝ විය. එහිදී කොවිඩ් සඳහා ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත ලබාගැනීම කෙරෙහි දීර්ඝව සාකච්ඡා කෙරුණි. එන්නත ශ්‍රී ලංකාවට දීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා පොරොන්දු වූවේය. පළාත් සභා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය. මෙම හමුව අවසන් වනතුරු තවත් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ රැඳී සිටියේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා බලාපොරොත්තුවෙනි. ඒ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදීන්ය. විදේශ අමාත්‍යවරුන් දෙදෙනා පැමිණීමෙන් පසු මාධ්‍ය හමුව ආරම්භ වූයේ පැය දෙකහමාරක් ප්‍රමාද වෙලාය. මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසීමට සූදානම්ව සිටියත් ඊට අවස්ථාව නොවීය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා එම මාධ්‍ය සාකච්ඡාවේදී යළිත් කීවේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ පළාත් සභා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. මෙම හමුවෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා හමුවිය. ඒ අතරේ එජාප නායක රනිල් වික්‍රමසිංහට හදිසියේම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසට ආරාධනායක් ලැබීය. ඉන්දීය විදෙස් ඇමැති හා රනිල් අතර වූ කතාබහට වෙනත් කිසිදු නිලධාරියකු සම්බන්ධ නොවීය. එම නිසා කළ කතාබහ පිටතට ආවේ නැත. සාකච්ඡාව අවසන්ව රනිල් වික්‍රමසිංහ නිවසට ඒමට පෙර ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවේ ඡායාරූපයක්ද සමගින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි. ‘ඉන්දු-ශ්‍රී ලංකා මිතුදම ශක්තිමත් කිරීමට ඔබගෙන් ලැබෙන කැප කිරීම අගය කරන බව’ එහි සඳහන්ව තිබුණි. දෙමළ පක්ෂ එකතු කිරීම ඉන්පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීවරු පස්දෙනකු හමුවිය. ‘‘දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඉන්දියාව සෑම විටම සූදානමින් ඉන්නවා. එහි වෙනසක් නැහැ. ජනාධිපති, අගමැති හමුවේදී මම ඒ ගැන දැනුම් දුන්නා’’ යැයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එම කැපවීමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයද ලැබුණි. ‘‘ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ එකමුතුව වැඩ කරන්න. එවිට ඉල්ලීම් දිනා ගන්න පුළුවන්’’ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවවාදයක්ද දුන්නේය. මෙහිදී දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විසින් දුන් යෝජනා මාලාවේ පිටපතක්ද දුන්නේය. ශ්‍රී ලංකාවෙන් නික්ම යෑමට පෙර ඉන්දීය විදේශ අමාත්‍යවරයා විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණේය. ‘‘නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මට ඉන්දියාවේ විශාල සහයෝගයක් දුන්නා. අපි මෝදි ගම්මානය හැදුවා’’ සජිත් අතීතය සිහිපත් කළේය. ‘‘නිවාස අමාත්‍යවරයා ලෙස ඔබ කළ දේ පිළිබඳව අපි ලොකු අවධානයකින් සිටියේ’’ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය. සාකච්ඡාව අවසන් වූයේ විපක්ෂ නායකවරයාට ඉන්දීය සංචාරයකට ආරාධනා කරමිනි. බූරුවෙක් වූ හිටපු අධ්‍යාපන ඇමැති ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ ‘වැඩ සමග යළි ගමට’ යනුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව වැඩසටහන පිළිබඳ මැති ඇමැතිවරු සහ නිලධාරීන් දැනුවත් කිරීම අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඔහු සහභාගි වූයේ අතරමැදදීය. අග්‍රාමාත්‍යවරයා, බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක් මූලාසනයේ සිටියහ. ඇතැම් මන්ත්‍රීවරු, ලේකම්වරුන් අසුනගෙන සිටි පුටු පේළිවල අසුන්ගෙන සිටියහ. එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරු ඒ අතර ප්‍රධාන වෙයි. මෙම සාකච්ඡාව මෙහෙයවූයේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සංජීව එදිරිමාන්නය. මන්ත්‍රී වීමට පෙර ඔහු ස්වාධීන රූපවාහිනියේ නිවේදකයකු විය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ අයවැයේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවයි. ‘‘මුදල් රෙගුලාසි බලන්න එපා. ගමට යන්න. නිලධාරීන් අපි ආරක්ෂා කරනවා යැයි’’ අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට සහතිකයක්ද ලබා දුන්නේය. ‘‘මම 1970 මන්ත්‍රීවරයකු වුණාම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා බවට පත්කළා. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මට ප්‍රකාශ කළේ නිලධාරීන්ගෙන් ඉගෙන ගන්න කියලා. අපේ රජයත් තරුණ මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු දීලා තියෙනවා. ඔවුන්ද නිලධාරීන්ගෙන් වැඩ කරන විදිහ ඉගෙන ගන්න’’ යනුවෙන් අගමැතිවරයා අතීත කතාවක්ද සිහිපත් කළේය. මුදල් අමාත්‍යාංශ ලේකම් එන්.ආර්. ආටිගල කොන්ත්‍රාත්කරුවන්ට හිඟ බිල්පත් ගෙවමින් තිබෙන බව ප්‍රකාශ කළ පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මෙසේ පැවසුවේය. ‘‘ලේකම්තුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නම් තවම බිල් ගෙවලා නැහැ. බිලියන ගණන හිඟ බිල් තියෙනවා. පාසල් ගොඩනැගිලි ඉදිකළ අයට තමයි වැඩිපුර ගෙවන්න තියෙන්නේ. අර අකිල විරාජ් බූරුවාගේ වැඩ නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ’’ යනුවෙන් ප්‍රකාශ කරන විට සියලු දෙනාම සිනාසුණහ. එම අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ළඟට පැමිණි නිලධාරියකු නුවරඑළියේ බිල්පත් අද ලැබී ඇති බව දැන්වීය. ජනපති දුටු අලි පැටව් ගැසීම ජනාධිපතිවරයාද මෙහිදී අවධාරණය කර සිටියේ නිලධාරීන් ගමට ගොස් අහිංසක ජනතාවගේ ගැටලු සොයා බලා කඩිනම් සහන ලබාදිය යුතු බවයි. ‘‘මම හමුදා නිලධාරියකු ලෙස මීට වසර හතළිහකට පෙර ගිය ගම්මාන තවම සංවර්ධනය වෙලා නැහැ. උදාහරණයක් තමයි කැබිතිගොල්ලෑව. ජනතාව ප්‍රශ්නවලින් මිරිකෙනවා. වහාම විසඳුම් ලබාදිය යුතුයි’’ ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉන්පසු ඉදිරිපත් වූයේ අලි-මිනිස් ගැටුම පිළිබඳ ප්‍රශ්නයකි. ‘‘එම ප්‍රශ්නය අපි හඳුනාගෙන තියෙනවා. වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා විසඳුම් දීමට කටයුතු කරමින් සිටිනවා. හැබැයි විරුද්ධ පක්ෂය අලි ගැන උද්ඝෝෂණ කරන්නේ හරියට නිකම් අලි පැටව් ගැහුවේ මම ආවට පස්සේ වගේ’’ ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේය. රතන හිමිට හිමිවූ තැන අතුරලියේ රතන හිමි නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අඟහරුවාදා කථානායක ඉදිරිපිටදී දිවුරුම් දුන්නේය. උන්වහන්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් අවශ්‍ය බවයි. එහෙත් ඉදිරි පෙළ අසුනක් ගැනීමට නොහැකි වූයේ පසුපෙළ අසුනකට යැවීමට හැකි වන්නේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පමණි. ඊට අමාත්‍යවරයා විරුද්ධ වීම නිසා උන්වහන්සේට විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමි විය. ඒ, සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ළඟ අසුනයි. අග්‍රාමාත්‍යවරයා බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමටය. අග්‍රාමාත්‍ය නිල කාමරයට ඒ වනවිටත් රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, අජිත් නිවාඩ් කබ්රාල්, සරත් වීරසේකර පැමිණ සිටියහ. වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් වී තිබූ අතර ඉදිරිපත් විය හැකි අතුරු ප්‍රශ්න පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විමසීය. ‘‘අනුර දිසානායක අහන්න පුළුවන් වරාය පෞද්ගලීකරණය කරනවද? කළමනාකරණය ඉන්දියාවට දෙනවාද කියලා’‘ අමාත්‍ය ​ ජොන්ස්ටන් ප්‍රනාන්දු අනතුරු ඇඟවූයේය. ‘‘මම ඒවාට උත්තර දෙන්නම්’’ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කීවේය. දිවා භෝජන සංග්‍රහය ගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සිටින විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පැමිණ සුහද කතාබහක නිරත වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, අග්‍රාමාත්‍යවරයා සමග දේශපාලන කාරණා රැසක් දීර්ඝ ලෙස සාකච්ඡා කරන අයුරු දක්නට ලැබුණි. ඇමැතිට සෞඛ්‍යයෙන් ඇති වූ අරියාදුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙවර පැවැත්විණි. ‘‘මෙම වසර ගෙවුණු වසර මෙන් අභියෝගාත්මක වසරක් වෙනවා. රට ගොඩනැගීමට සියලු දෙනාගේම සහාය අවශ්‍යයි’’ ජනාධිපිතවරයා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද සංචාරකයන් ගෙන්වීම සහ යාල සංචාරයේදී ඇතිවූ අපහසුතා පිළිබඳව සාකච්ඡා කෙරුණි. අමාත්‍ය නාමල් රාජපක්ෂ කීවේ යාල සිද්ධිය පදනම් කරගනිමින් විපක්ෂය සංචාරකයන් ගෙන්වීම අඩපණ කරන බවයි. ‘‘විපක්ෂයට ඕන දේවල් කරන්න බැහැ’’ යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීවේය. ‘‘රට හැමදාම වහගෙන ඉඳලා හරියන්නෙ නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රට යථා තත්ත්වයට පත්කළ යුතුයි’‘ ජනාධිපතිවරයාද කියා සිටියේය. එහෙත් ලබන විසි එක්වැනිදා සිට ගුවන් තොටුපොළ විවෘත කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ බදාදා පෙරවරුව වනවිටත් නිකුත් කර නොතිබුණි. එදින පාර්ලිමේන්තුවට මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සූදානමින් සිටියේය. ඔහුගේ කතාව ආරම්භ වනතුරු මාර්ගෝපදේශ නොමැති වීම නිසා කලබලයට පත්වූ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් මේ පිළිබඳ විමසීය. ‘‘මම බලන්නම්’‘ අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. එම පිළිතුරෙන් පසු අමාත්‍යවරයා සිය කතාව ආරම්භ කළේය. කෙසේ වෙතත් සංචාරක අමාත්‍යාංශයට මාර්ගෝපදේශ ලැබුණේ බදාදා රාත්‍රියේය. මාධ්‍යයට පිඟන් බෙදූ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව වසරේදී පුවත්පත් කතුවරුන් හමුවූයේ විපක්ෂ නායක කාර්යාලයේදීය. සාකච්ඡාව ආරම්භයේදීම මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩා පැවසුවේ, ‘‘දේශපාලනය වැඩි වශයෙන් ලියන්න පුළුවන් වසරක් වේවා’’ යනුවෙනි. ‘‘මුද්‍රිත මාධ්‍ය කොවිඩ් නිසා දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. මාධ්‍ය තියෙන්නේ රජය රකින්න නෙවේ. සත්‍යය මත පදනම්ව විවේචන ඉදිරිපත් කරන්න’’ විපක්ෂ නායකවරයා කීවේය. මෙහිදී ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මාධ්‍යයට කළ බලපෑම් පිළිබඳවද අදහස් පළ කළේ රනිල්ගේ නම නොකියමිනි. ‘‘පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මාධ්‍යකරුවන්, හිමිකරුවන්ට අපි පහර ගහලා නැහැ’’ යනුවෙන් ඔහු කියා සිටියේය. පුවත්පත් කතුවරුන් මෙහිදී පක්ෂයේ නව ව්‍යවස්ථාව, නිලධාරී මණ්ඩලය, ආසන සංවිධායකවරු පත්කිරීම පිළිබඳවද කරුණු විමසූහ. ‘‘හිතමිතුරන්ට හා ගජ මිතුරන්ට තනතුරු දෙන්නේ නැහැ’’ සජිත් සහතිකයක් දුන්නේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී චම්පික රණවකට එල්ල වූ විරෝධය පිළිබඳවද මෙහිදී පැවසුවේය. ‘‘රජය ෆේල් වෙනකොට එක එක්කෙනා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට පුළුවන් අපිත් සමග එකතු වෙලා දේශපාලනය කරන්න’’ සජිත් ප්‍රේමදාස පිළිතුරු දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යළි භාරගන්නේදැයි විමසූ විට ඔහු පැවසුවේ සමගි ජන බලවේගය තාවකාලික අම්බලමක් නොවන බවයි. සුහද හමුව අවසානයේ පාතරාසය ගැනීමට පුවත්පත් කතුවරුන් සඳහා පිඟන් දුන්නේද විපක්ෂ නායකවරයා විසිනි. එහෙත් කතුවරුන් සමග ඔහු ආහාර ගත්තේ නැත. ජලනිගේ සාදය විපක්ෂ නායකවරයා ආහාර නොගත්තද ඔහුගේ බිරිඳ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ භාර්යාවන්ට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ තරු පහේ හෝටලයකදීය. ‘‘අපි ජලනි ගැන හිතපු විදිහ වැරදියි. ඔයා හොඳ කාන්තාවක්’‘ මන්ත්‍රී බිරින්දෑවරු කීවෝය. ඔවුන් සියලු දෙනාම වෙන වෙනම ඡායාරූපවලට පෙනී සිටීමද විශේෂත්වයකි. එහිදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ බිරිඳ සිය දරුවා සමග පැමිණ සිටියාය. එම දරුවා සෑම ඡායාරූපයකටම පෙනී සිටීමට උත්සාහ කරන විට ජලනි ප්‍රේමදාස පැවසුවේ, ‘‘අනේ මේ පුතා නම් තාත්තා වගේ. හැම ෆොටෝ එකටම ඉන්නවා’’ යනුවෙනි. එන්නතෙන් පසු පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ​කොල්ලුපිටියේ පිහිටි නිවසේදී හිටපු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ, ‘‘ඉන්දීය විදේශ ඇමැතිවරයා මොනවද කතා කළේ’’ යනුවෙනි. ‘‘විශේෂ දෙයක් නැහැ’’ නායකයා සුපුරුදු සිනාවෙන් ප්‍රශ්නයෙන් පැන ගියේය. පක්ෂයේ නියෝජය නායක රුවන් විජේවර්ධන කියා සිටියේ ‘‘රජය ඉක්මනින් ජැටිය ඉන්දියාවට දෙයි’‘ යනුවෙනි. ‘‘කොවිඩ් එන්නත දීලා තමයි රජය පළාත් සභා ඡන්දය තියන්න යන්නේ’’ වජිර අබේවර්ධන කතාව වෙනත් මානයකට යොමු කළේය. ගාලු මුවදොරදී ඇතිවූ හිටපු ජනපතිවරුන්ගේ ගැටුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 122 වැනි ගුණ සමරුව සිකුරාදා දිනට යෙදී තිබුණි. ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා උදෑසනම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත්‍රා බණ්ඩාරනායක දියණියන් දෙදෙනා පැමිණියේ හිතවතුන් පිරිසක්ද සමගිනි. පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සුනේත්‍රා පිළිරුව අතගා බැලුවේ පිරිසුදුව තිබේද යන්න පිළිබඳවයි. ඊට හිටපු ජනාධිපතිනියද එක්වූවාය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා හෝ මන්ත්‍රීවරුන් සහභාගි වී නොසිටීමද විශේෂත්වයකි. කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර සමගි ජන බලවේගයට එක්වූ කුමාර වෙල්ගමද මෙම අවස්ථාවට එක්ව සිටියේය. ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ගමන් මාර්ගය වැරදියි. ඉන්න නායකයෝ අවස්ථාවාදියි. පක්ෂයේ නම විකුණලා තමන්ට බලය ගන්න ඔවුන් උත්සාහ කරනවා. පාක්ෂිකයෝ කලකිරිලා’’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ සැලියුට් එකක් ගසා මාධ්‍යවේදීන්ට ආචාර කරමිනි. කවදත් කතා මැවීමට සමත් හිටපු ජනාධිපතිනියද වටකර ගත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ කිසියම් ආවේගශීලීත්වයකින් පිළිතුරු දුන්නාය. ‘‘පක්ෂයට දැන් ගමන් මාර්ගයක් නැහැ. පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රි ඉන්නේ නීතිවිරෝධීවයි. මම පක්ෂයෙන් ගැලවිලා නැහැ. සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂයේ සභාපති. හැබැයි මට කිසිදු රැස්වීමක් කියන්න එපා කියලා සිරිසේන කියලා තිබෙනවා. අද උත්සවයටත් ආරාධනා කළේ නැහැ. සිරිසේන තමයි එක්සත් ජාතික පක්ෂයට ගියේ’’ යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. හිටපු ජනාධිපතිනිය පිටත් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු මැති ඇමැතිවරු පුෂ්පෝපහාර දැක්වූහ. ‘‘අපි අතරේ කිසිදු ප්‍රශ්නයක් නැහැ’’ හිටපු ජනපති කීවේ හිටපු ජනාධිපතිනියගේ චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ ගුණ සැමරුම පැවැත්වෙන අතරේ ශ්‍රීලනිපයේ වර්තමාන ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා සිටියේ රෝගාතුරවය. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව සිකුරාදා උදෑසනම තහවුරු විය. ඉකුත් කාලයේ කථානායක හා මැති ඇමැතිවරු රැසක්ම තමන්ට කොවිඩ් වැලඳී ඇතිදැයි සැකහැර ගැනීමට පීසීආර් පරීක්ෂණ කළද කිසිවකුට රෝගය වැලඳී තිබුණේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් මුල් වරට කොවිඩ් ආසාදිත වූ බව හෙළිවූයේ දයාසිරි ජයසේකරටය. පසුගිය සතියේ කුරුණෑගල නිවසට වී සිට රාජ්‍ය අමාත්‍යවරයා ඉන්පසු කොළඹ නිවසට පැමිණ සිටියදී පීසීආර් පරීක්ෂණයකට බඳුන් විය. එහිදී අනාවරණය වූයේ ඔහුට රෝගය වැලඳී ඇති බවය. දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන හික්කඩුවේ සංචාරක හෝටලයක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර ලබමින් සිටී. හිතවතුන් රාජ්‍ය අමාත්‍යවරයාට කතා කළ විට ඔහු පැවසුවේ ‘‘මට කොහොම ආසාදනය වුණාද දන්නේ නැහැ’’ යනුවෙනි. ​කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ජනවාරි පළමුවැනිදා පැවති උත්සවයකටද සහභාගි වූයේය. පාර්ලිමේන්තුවේ නව වසරේ කිසිදු රැස්වීමකටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි වී නොතිබීමද විශේෂත්වයකි.
 

More News..