brand logo

ගෙවල් බිද රු. මිලියන 8කට අධික වටිනා භාණ්ඩ සහ මුදල් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

09 September 2019

රාගම, වත්තල, කදාන ඇතුළු පොලිස් වසම් 10ක ගෙවල් බිද රුපියල් ලක්ෂ 80කට වැඩි වටිනා රන් භාණ්ඩ සහ විදුලි උපකරණ සොරකම් කළ සංවිධානාත්මක කල්ලියක නායකයා ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වත්තල හේකිත්ත ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදි ඊයේ (08) වයස අවුරුදු 34ක් වූ වත්තල පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිය ගැන අනාවරණය වී ඇත. මෙම සොරකම් සිදුවීම් වලට සම්බන්ධ තවත් සැකකරුවෙක් පසුගිය 03 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක රැදවුම් නියෝගය මත ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය කරගත් තොරතුරු මත වයස අවුරුදු 43ක් වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සහෝදරයන් ද බව පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත. සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුම යුධ හමුදාවෙන් පැන ගිය අය වන අතර, ඒක් අයෙකු යුධ හමුදා කමාන්ඩෝ බලකායේ සේවය කළ අයෙකි. මෙම කල්ලිය නිවෙස් වලින් සොරකම් කරන ලද ලක්ෂ 17ක් පමණ වටිනා රන් ආභරණ සොයාගෙන ඇත. මෙම සැකකරුවන් තිදෙනා එක්ව සොරා ගන්න ලද ජෙනරේටර්, ගයින්ඩර්, පාපැදි, පවර් ෂෝ, ග්රිල් මැෂින්, පොලව තලන මැෂින් ආදී භාණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊට අමතරව රුපියල් ලක්ෂ හතර හමාරක මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත. කැළණිය පොලිස් කොට්ඨාශය භාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් ඇතුළු නිලධාරීන් කණ්ඩායම විමර්ශන මෙහෙයවයි.
 

More News..