brand logo

ගෙදරට ආ ටියුෂන් ගුරුවරිය ක්‍රෙඩිට් කාඩ් සොරකම් කර මුදල් ඇදලා

30 June 2020

සිය දරුවාට ඉගැන්වීමට නිවසට පැමිණි ගුරුවරිය නිවසේ තිබූ බැංකු කාඩ්පත් සොරකම් කොට මුදල් ලබාගත් බවට පානදුර දකුණ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ල දේශපාලනඥයකුගේ බලපෑමෙන් යටගැසීමට සූදානම් වන බවට දෙවරක් පොලිස් සහන මැදිරිය දැනුවත් කළද පලක් නොවූ බව පැමිණිලිකරු පවසයි. තම දරුවාට වැඩිදුර අධ්‍යාපනය ලබාදීම සඳහා දිනකට රුපියල් දහස බැගින් ගෙවීමේ එකඟතාව මත වාද්දුව ප්‍රදේශයේ ගුරුවරියක නිවසට ගෙන්වා ගන්නේ ප්‍රදීප් නාලක නමැති ව්‍යාපාරිකයකු විසිනි. ව්‍යාපාරිකයා එම ගුරුවරිය පිළිබඳ විශ්වාසය තැබුවේ සිය දරුවාගේ අනාගතය යහපත් කිරීමට ඇගේ දායකත්වය හා උපකාරය උපරිමයෙන් ලැබුණු නිසාවෙනි. එහෙත් ගුරුවරියගේ යටි සිතේ තිබුණේ වෙනත් අරමුණකි. දරුවාට පාඩම් කියාදෙන අතරේ ඇගේ නෙත් සිත් යොමවූයේ නිවසේ තිබූ වටිනා භාණ්ඩ වෙතය. ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත්වලින් විශාල මුදලක් නිතිපතා හුවමාරු වන බව දැනගත් ඇයට මුදල් පිළිබඳ ආසාවක් ඇතිවූයේ නිතැතිනි. ඒ නිසා එම කාඩ්පත්වලින් මුදල් ලබාගැනීමේ සොර සිතක් පහළ වූ ඇය ඊට උපක්‍රමයක් සොයමින් සිටියාය. දිනක් ගුරුවරිය ව්‍යාපාරිකයාගේ සත් හැවිරිදි දරුවාගෙන් පුතාගේ තාත්තාගේ වැඩිම සල්ලි තියෙන්නේ මොන බැංකුවේදැයි විමසුවේ පොටක් පාදාගන්නා අරමුණෙන් යුතුවය. ඇගේ වාසනාවට මෙන් දරුවාට බැංකු කාඩ්පත්වල රහස්‍ය අංක සියල්ලම මතක තිබුණේය. එමෙන්ම ජංගම දුරකථනයෙන් බැංකු කටයුතු කෙරෙන අයුරුද මේ කුඩා දරුවා හොඳින් දැන සිටියේය. චාටු බස් දොඩමින් දරුවාගෙන් ඒ සියලු තොරතුරු දැනගත් ගුරුවරිය එම බැංකු කාඩ් සොරකම් කොට දින කිහිපයක් බැංකු කිහිපයකින් මුදල් රැගෙන ඇත. ඒ සියල්ල කිසිවකුටත් නොදැනෙන සේ කරන්නට ඇයට හැකිවූයේ නිවසේ කිසිවකුට ඈ පිළිබඳ සැකයක් අවිශ්වාසයක් නොමැති නිසාවෙනි. ව්‍යාපාරිකයා දිනක් යම් ගනුදෙනුවක් සඳහා බැංකුවට ගිය විට ඔහුට දෙලෝ රත්විය. ඒ සිය ගිණුම්වලින් රුපියල් ලක්ෂ හය හමාරකට ආසන්න මුදලක් අඩුවී බව දැනගත් විටදීය. බැංකු කළමනාකරු මුණගැසුණ ව්‍යාපාරිකයා සියලු විස්තර ඔහුට පැවසුවේ යම් විසඳුමක් ලබාගන්නා අටියෙනි. කළමනාකරුගේ උපදෙස් පරිදි සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී ව්‍යාපාරිකයාගේ ඇස් උඩ ගියේය. සියලු දත්තයන් පරීක්ෂා කර බැලීමේදී එම මුදල් ලබාගෙන ඇත්තේ තම දරුවාගේ ගුරුවරිය බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි විය. ඇය සමග තවත් පුද්ගලයෙක්ද මීට සම්බන්ධ බවට සීසීටීවී දර්ශන ඔස්සේ හොඳ හැටි පැහැදිලි විය. ඉන්පසු ව්‍යාපාරිකයා 2019 වසරෙහි මැයි මස 22 වැනි දින සිය පානදුර දකුණ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේය. පොලිසිය එම පැමිණිල්ල භාරගන්නේද අදිමදි කරමිනි. සැකකාර ගුරුවරිය සමග බැංකුවට එන පුද්ගලයා ඇගේ පෙම්වතා වන පොලිස් අධිකරණ කොට්ඨාසයේ සැරයන්වරයා මෙම පැමිණිල්ල භාර නොගන්නා ලෙසට පානදුර පොලිසියට බලපෑම් කර තිබීමයි. එසේම ඔහු හිතවත්කම් දක්වන ප්‍රදේශයේ දේශපාලනඥයකු හරහාද මේ පිළිබඳව පොලිසියට බලපෑම් කර තිබීම පොලිසියේ පසුබෑමට තවත් හේතුවක් වී තිබිණි. කෙසේ වෙතත් කීප වරක්ම අධිකරණයෙන් බැංකු වාර්තා ලබාගැනීමට නියෝග ලබාදුන්නද පානදුර දකුණ පොලිසිය එම උසාවි නියෝගද ඒ තරම් ගණනකට ගෙන නැත. එම උසාවි නියෝග මායිම් නොකළා පමණක් නොව පැමිණිලිකරු අපරාධ අංශ ස්ථානාධිපතිට ලබාදුන් සීසීටීවී දර්ශනද අස්ථානගත වී ඇත්තේ විවිධ බලපෑම් නිසාය. මේ නිසාම පැමිණිලිකරු පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට ගොස් දෙවරක්ම පැමිණිලි කළේ මෙවැනි පසුබිමක් යටතේය. කෙසේ වෙතත් දැන් පොලිස් සහන මැදිරි අංශය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ජේ.ජී.එස්. පීරිස් ඒකපාර්ශ්වීය නොවී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසට පානදුර දකුණ පොලිසියට දැන් ලිඛිතව දන්වා ඇත්තේය. එහෙත් සිදුව ඇත්තේ සැකකාරිය අත්අඩංගුවට ගැනීම නොව පැමිණිලිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමයි. පවරා ඇති නඩුව ඉවත් කරනොගන්නේ නම් මුළු පවුලම මරා දමන බවට මෙම ගුරුවරියගේ පෙම්වතා වූ පොලිස් සැරයන් තර්ජනය කළ බවට ව්‍යාපාරිකයා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයටද මේ ගැන පැමිණිලි කිරීමට ව්‍යාපාරිකයා පියවර ගෙන තිබේ. ඒ අනුව 2020 ජනවාරි මස 30 වැනි දින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සතුනිකා ඩී. සුමතිපාල ලිඛිතව දන්වා ඇත්තේ පොලිස් මූලස්ථානයට මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි. 2020-2-22ට පෙර එහි ප්‍රගතිය අමාත්‍යාංශය වෙත වාර්තා කරන ලෙසද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත. එහෙත් පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති, එහි අපරාධ අංශ ස්ථානාධිපති යන දෙදෙනාම මාස පහකට ආසන්න කාලයක් තිස්සේ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් පෙන්වීමට සමත්ව නැත්තේය. ඊට හේතුව සැකකාරියගේ පෙම්වතා වන පොලිස් සැරයන්වරයාගේ බලපෑම නිසාය. පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 63796 දරන නඩුවේ බී වාර්තාවේ සඳහන් වන්නේ වඩුගේ අනුෂා ප්‍රියංගිකා පෙරේරා නමැත්තිය මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි. පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ දරුවාගේද ප්‍රකාශ පොලිසියෙන් සටහන් කරගත්තද ඒවාද මේ වනවිට අතුරුදන් වී ඇති බවද කියැවේ. හේමන්ත ලියනපතිරණ
 

More News..