brand logo

ගුවන් හමුදා පාපැදි සවාරිය අනිද්දා

05 March 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව 22 වැනි වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය අනිද්දා (7 වැනිදා) ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. සාමාන්‍යයෙන් දින 3ක හෝ 4ක පාපැදි සවාරියක් වශයෙන් පැවැත්වෙන අදාළ පාපැදි සවාරිය උද්ගත වයිරස තත්ත්වය හමුවේ මෙවර එක් දිනකට පමණක් සීමා වී තිබීම කැපී පෙනෙන කාරණයක්. ආරක්ෂකමය හේතූන් මත 2009 වසරේ හැරුණු විට සෙසු සෑම වසරකදීම ගුවන් හමුදා පාපැදි සවාරිය නොකඩවා පවත්වා තිබේ. මේ වන විට ලංකාවේ වැඩිම වාර ගණනක් පැවැත්වූ පාපැදි සවාරිය වන්නේද ගුවන් හමුදා පාපැදි සවාරිය වන අතර 20 වතාවක් පවත්වා ඇති ලංකා සවාරිය ඊට දෙවැනි වේ. කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ වන පිරිමි තරගයට වත්තල දක්වා දිවෙන නිදහස් ධාවන කලාපයද (කිලෝ මීටර් 10) ඇතුළුව අයත් මුළු දුර කිලෝමීටර් 179.30කි. වත්තල සිට ජා ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය, ගිරිවුල්ල, නාරම්මල, කුලියාපිටිය, මාදම්පේ, වෙන්නප්පුව, කොච්චිකඩේ ඔස්සේ මීගමුව හරහා කටුනායක 20 කණුව අසලින් අවසන් වේ. ප්‍රධාන තරගාවලියට සමගාමීව 10 වැනි වරට පැවැත්වෙන කාන්තා පාපැදි තරගයට අයත් මුළු දුර කිලෝමීටර් 70කි. ඒකල ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භවෙන එම තරගය මිනුවන්ගොඩ, දිවුලපිටිය, ගිරිඋල්ල, පන්නල, දංකොටුව, කොච්චිකඩේ ඔස්සේ මීගමුව හරහා 20 කණුව අසලින් අවසන් වේ. ගයාශාන් විතානආරච්චි
 

More News..