brand logo

ගුවන් හමුදා කෆීර් ප්‍රහාරක ජෙට් බලඝණයේ රිදී ජුබිලිය සැමරේ

05 January 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් බලඝණයට 2021 ජනවාරි මස 05 දිනට වසර 25 ක් සපුරාලමින් සිය රිදී ජුබිලිය සමරනු ලැබීය. වැලි කතරේ සිංහයා නමින් විරුදාවලිය ලත් කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත අංක 10 බලඝණය 1996 වසරේ ජනවාරි මස 05 වන දින ඊශ්‍රායලයේ නිශ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන් 06 කින් සහ වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතාද ඇතුළුව ගුවන් නියමුවන් 06 දෙනෙකු ඇතුළු කාර්ය මණඩලයක් සහිතව ආරම්භ කර තිබේ. වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතා මෙම සුවිශේෂී වූ බලඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන්ද කටයුතු කොට ඇති අතර මාතෘභූමියේ ඒකීයභාවය සුරක්‍ෂිත කරලනු වස් සිය වගකීම් සහගත යුතුකම ඉටුකරලීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත් ප්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදුකිරීමට සක්‍රීය දායකත්වය මෙම බලඝණය වෙත ලබාදී ඇත. මෙම බලඝණය ආරම්භ වූ 1996 වසරේ සිට මාතෘභූමියෙන් ත්‍රස්ථවාදය තුරන් කරලීම උදෙසා සහෝදර හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවමින් යුධභූමියේ මහඟු කාර්යභාරයක් ඉටුකරන ලද බලඝණයකි. 1996 වසරේ සිට ගුවන් හමුදා සක්‍රීය සේවයට එක් වූ මෙම කෆීර් යානාවන් 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වා අඛන්ඩ වූ සේවයක් ලබාදෙමින් සිය වගකීම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරලීමට ඇප කැප වී තිබේ. මෙම බලගණය සිය යානාවන් සතු ඉතා සියුම් භූමිගත ත්‍රස්ථවාදී ඉලක්කයන් වෙත අති සාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් 1996 වසරේ සිට 2009 වසර දක්වා ප්‍රහාරක මෙහෙයුම් 2500 කට අධික ප්‍රමාණයක් සිදුකොට තිබේ.
 

More News..