brand logo

ගුවන් තොටුපලේ දේශපාලන පත්වීම් වලට විරෝධය

15 June 2021

ගුවන්තොටුපලේ සුදුස්සන් හලා දේශපාලන පත්වීම් ලබාදීමට අන්තරේ විරෝධය…

ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තුළ ආරක්ෂක අංශයේ නිළධාරි තනතුර සඳහා තෝරාගන්නා ලද 27 දෙනෙකුට පත්වීමේ ලිපි ලබා නොදී දේශපාලන බලපෑමෙන් වෙනත් පිරිසක් සඳහා උසස්වීම් ලබාදීමට උත්සාහ කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය (15 වැනිදා) පවසයි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශයේ ආරක්ෂක නිළධාරින් ලෙස ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ 27 දෙනෙකුගේ පත්වීම් ක්‍රියාත්මක නොකොට දේශපාලන බලපෑම් මත එම තනතුරු සඳහා යළිත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සුදානම් බව අසාධාරණයට පත් සේවකයෝ පවසා ඇත. ප්‍රායෝගික පරීක්ෂණයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් එම 27 දෙනාට පසුගිය ජූනි 03 වන දින පත්වීම් ලිපි ලබාදීමට සියලූ කටයුතු සූදානම් කර පැවතියත් එය ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත අවලංගු කර ඇති බවද අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතීඥ ජානක අධිකාරී විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සේවකයන්ගේ සුදුසුකම් මත දිය යුතු තනතුරු සුදුස්සන් හට නොදී දේශපාලන හෙංචයියන්ට ලබාදීමට උත්සාහ කිරීම පිළිබඳව තම සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින බවද සුදුසුකම් ලැබූ සේවකයන්ට පත්වීම් නිසි පරිදි ලබාදෙන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.   දර්ශාන් කානිල් මොරටුව
 

More News..