brand logo

ගුවන්තොටේ ඉදිකිරීම් පමා කළ එජාප ඇමැතිගේ සමාගම අසාදු ලේඛනයට

30 November 2019

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 3 වැනි අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ බව කියන හිටපු එජාප ඇමැතිවරයකුට අයත් ඉදිකිරීම් සමාගමක් වහාම අසාදු ලේඛන ගත කර (Black list) එම ව්‍යාපෘතියේ ඉදිකිරීම වෙනත් සමාගමකට පැවරීමට ඇමැති ප්‍රසන්න රණතුංග ගුවන්තොටුපොළ බලධාරින්ට නියෝග කළේ ය. ඊයේ (29 වැනිදා) කටුනායක ගුවන්තොටුපොළ පැවති නිරීක්ෂණ චාරිකාව අතරතුර ඇමැතිවරයා මෙම නියෝගය කළේ ය. මෙම නව ඉදිකිරීම සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 374කි. මාස 09 කින් ඉදිකිරීම් නිම කිරීමට කොන්ත්‍රාත්තුව ලබාගත් ඉදිකිරීමේ සමාගම එකඟ වී තිබුණි. 2017 ජනවාරි 24 වැනි දින මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර මේ වන විටත් අවසන්ව ඇත්තේ ඉදිකිරීම්වලින් 45% ක් පමණි. මෙම ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ සමාගමට අවස්ථා ගණනාවකදී උපදෙස් දී ඇතත් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බව ගුවන්තොටුපොළ බලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. විදුලි සෝපාන නියමිත ප්‍රමිතියට නොතිබීම, නව විදුලි සෝපාන සඳහා ණයවර ලිපි ඉදිරිපත් නොකිරීම හා අදාළ ඉලක්ක සපුරාලීම සඳහා ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් බඳවා නොගැනීම යන කරුණු මත රුපියල් මිලියන 37 ක මුදල් එම සමාගමෙන් අයකර ගැනීමටද පියවර ගෙන තිබේ. මෙම ඉදිකිරීමේ සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කර ඉදිකිරීම්වලින් වහා ඉවත් කරන ලෙස උපදෙස් දුන් ඇමැතිවරයා නව ඉදිකිරීම් සමාගමක් මගින් ඉතිරි ඉදිකිරීම් ජනවාරි මාසයට පෙර අවසන් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
 

More News..