brand logo

ගුවන්තොටුපොළ ආශ්‍රිතව සේවා සපයන සංචාරක මාර්ගෝපදේශක රියදුරන් දැඩි පීඩාවකට පත්වෙයි

07 May 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය මුහුණපා තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ ගුවන්තොටුපොළ ආශ්‍රිතව සේවා සපයන සංචාරක මාර්ගෝපදේශක රියදුරන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ගුවන්තොටුපොළ සංචාරක සේවා මාර්ගෝපදේශක රියදුරන්ගේ සංගමය පවසයි. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ස්ථාපිත සංචාරක සේවා කවුළුවල සේවයේ නියුතු සංචාරක මාර්ගෝපදේශක රියදුරන් සිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොළ නිවසේ දී පසුගිය දා හමු වූ අවස්ථාවේ දී මේ බව හෙළිදරව් විය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ වන විට සංචාරක සේවා කවුළුවල සේවයේ නියුතු සංචාරක මාර්ගෝපදේශක රියදුරන් හට ගුවන්තොටුපොළ පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොදෙන බවත් ඒ වෙනුවට මිනුවන්ගොඩ පාරේ පිහිටි රථගාලේ සිය රථ නවතා තැබීමට සිදුව ඇති බවත් එම සංගමයේ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ. තමන්ට ගුවන්තොටුපොළට ඇතුළු වීමේ ඉඩ අහුරා තිබීම නිසා තමන්ගේ සේවය ලබාගන්නා සංචාරකයන් හට ගමන්මළු ඔසවාගෙන මිනුවන්ගොඩ මාර්ගය වෙත පැමිණීම සිදුව ඇති බවත මෙම කාරණය නිසා සංචාරකයන් මෙන්ම තම සංගමයේ මාර්ගෝපදේශක රියදුරන් ද මහත් අපහසුතාවට පත්ව ඇති බවත් ඔවුහූ ප්‍රකාශ කළහ. ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි සංචාරක සේවා කවුළු 6ක සංචාරක මාර්ගෝපදේශක රියදුරන් 400ක් පමණ සේවයේ නියුතුව සිටින බව පෙන්වා දුන් එම සංගමයේ නිලධාරීහු සිය ජීවනෝපාය මාර්ගය අවහිර වීම නිසා සෘජු යැපෙන්නන් 2500ක් සහ වක්‍ර යැපෙන්නන් 15000ක් පමණත් අපහසුතාවට පත්ව සිටින බවත් පැවසූහ. පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යන සංචාරක සේවා කවුළුව සඳහා එක් වාහනයකට මසකට රුපියල් 20,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඊට අමතරව රුපියල් ලක්ෂයක පමණ ලීසින් වාරික සහ වෙනත් ණය වාරික ගෙවීමට සිදුව ඇති නිසා තමන් සහ දරුවන් දැඩි අසරණ තත්ත්වයකට පවත්ව ඇති බවත් ඔවුහූ පැවසූහ. 2015 වසරින් පසුව ගුවන්තොටුපොළ ආශ්‍රිත සංචාරක සේවා කවුළුවල පැවැති ප්‍රමිතිය නොසලකා හැර දේශපාලන හිතවතුන්ගේ පාලනයට ලක්කිරීම නිසා පීඩාවට පත්ව සිටි තමන් හට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටෙන්නට බවත් ඔවුහූ කීහ. 2015ට පෙරාතුරව සංචාරක මාර්ගෝපදේශක රියදුරන් ලියාපදිංචි කිරීමේ විධිමත් ක්‍රියාපටිපාටියක් තිබුණු බව පෙන්වා දුන් ඔවුහූ දේශපාලන හෙංචයියන් හට බලතල පවරා දීමේ අරමුණ ඇතිව එම ක්‍රියාපටිපාටිය වර්තමාන ආණ්ඩු සමයේ නොසලකා හැරි බවත් පෙන්වා දුන්හ. එසේ ලියාපදිංචි කිරීමේ විධිමත් ක්‍රියාපටිපාටිය තිබුණේ නම් ආරක්ෂාව සම්බන්ධයෙන් අලුතෙන් වෙහෙසීමට සිදු නොවන බවත් නිසි පරිදි ලියාපදිංචි වී, අවසර පත් ලබා සිටින සිය සාමාජිකයන් හට ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට සිය සේවාව තවදුරටත් කරගෙන යාමට ඉඩ සැලසෙන බවත් ඔවුහූ පැවසූහ. ගුවන්තොටුපොළ ආරක්ෂාව අනතුරේ දැමීම සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ ගුවන්තොටුපොළේ පාලනාධිකාරියම බව පැවසූ ඔවුහූ සේවා කවුළු තුනක් සහ ගුවන්තොටුපොළේ පිහිටි රථ ගාල් සියල්ලම පාහේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් හට බදු දීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් පැවසූහ. මෙම කරුණු සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර රජයේ අවධානය යොමු කිරීමට පියවර ගන්නා බවත් ඉදිරියේ දී පත්වන සිය රජයක් යටතේ ගුවන්තොටුපොළේ කටයුතු කලින් පැවැති ආකාරයට විධිමත් කිරීමට පියවර ගන්නා බවත් රණතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
 

More News..