brand logo

ගුරුවරු හා විදුහල්පතිවරුන්ට ණය සහනයක් ඉල්ලයි

15 June 2021

ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ණය සහන ලබා දීම සම්බන්ධව ඉල්ලීමක් අගමැතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බවත් එහි පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙත මේ පිළිබඳව වෙන වෙනම ලබා දී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටී. [caption id="attachment_151596" align="aligncenter" width="587"] ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ[/caption] රට තුළ කොවිඞ්-19 වසංගතයේ දැඩි ව්‍යාප්තියත් සමග සංචරණ සීමා පනවමින් වසරකුත් මාස 03 කට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇත. එවැනි තත්ත්වයක් තුළ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යාවත්කාලීන කිරිම සඳහා අදාළ වන මෙවලම් (Drivers) හා දත්ත (Data) රජයේ කිසිදු අනුග‍්‍රහයක් නොමැතිව පෞද්ගලික වියදමින් මිලදී ගනිමින් ඉගැන්විම් කටයුතු සිදු කරමින් සිටිනුයේ රාජ්‍ය සේවය තුළ වසර 24 ක බරපතළ වැටුප් විෂමතාවයකින් පීඩා විඳින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බව අගමැතිවරයාට අවධාරණය කර ඇත. ලංකා ගුරු සේවා සංගමය තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ගුරු සේවයේ 1 වන පන්තියේ ගුරුවරයෙකුගේ දිනක අවම වැටුප රු. 1498/= ක වැනි සොච්චම් මුදලකි.

2-I, 2-II, 3-I , 3-II යන අනෙකුත් ශ්‍රේණින්වල සිටින ගුරුවරුන්ගේ දෛනික වැටුප ඊට වඩා අඩු එකකි. එවැනි තත්ත්වයක් තුළ බහුතරයක් ගුරුවරුන් මෙම කාලයේදී දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටියි. එහෙයින් ඔවුන් විසින් ”ගුරුසෙත” වැනි විවිධ බැංකු ණය ව්‍යාපෘති මගින් ගෙන ඇති ණය වල මාසික වාරික සඳහා පොළිය නැවත අය නොකරන කොන්දේසි මත මේ මස සිට නැවත පාසල් විවෘත කරන තෙක් වන ණය සහනයක් ලබා දෙන මෙන් ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටියි. තවද ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතර තනි වැටුපකින් පමණක් ජීවත් වන සැලකිය යුතු පිරිසක් සිටින බවත් උපකාරක පන්ති පැවැත්වීම මගින් හා වෙනත් විවිධ අමතර ආදායම් ලබමින් ඒ මත ණය ලබා ගෙන ඇති ගුරුවරුන් ප‍්‍රමාණයක් සිටින බවත්, ඔවුන් ද මෙමගින් දැඩි පීඩාවට පත්ව ඇති බවත් පෙන්වා දෙනු ලබන අතර එහෙයින් රට තුළ දිනෙන් දින උග‍්‍ර වන ජීවන වියදම හමුවේ වුවද තම සොච්චම් වැටුපෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යාථාවත් කිරීම සඳහා මේ වනවිට දීර්ඝ කාලයක් කැපවීමෙන් කටයුතු කරන ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට මෙම සහනය ලබාදීම අගමැතිවරයාගේ වගකීමක් ඇතැයි අවධාරණය කරන බව සඳහන් කරයි.
 

More News..