brand logo

ගුරු - විදුහල්පති ලෙඩ නිවාඩුවකට සැරසෙයි

24 February 2020

එළඹෙන 26වනදා සියලූ ගුරු - විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතව උද්ඝොෂණක් පවත්වන බව ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය එකතුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. ගුරු- විදුහල්පති අතුරු වැටුප් චක‍්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබා දීමට බල කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත. බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් පෙ.ව. 9.30 ට ආරම්භ වන පා ගමන අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇත. වෘත්තීය සමිතිවල ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කළ අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීමට 2019 ඔක්තෝම්බර් 15 දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන ලදි. එම අතුරු වැටුප් යෝජනාව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම වෙත යොමු කලත් මේ දක්වා අදාළ වැටුප් යෝජනා කි‍්‍රයාත්මක නොවු බව එම ගුරු සංගම් පවසයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2019 දෙසැම්බර් 17 දින අධ්‍යාපන අමාත්‍යවරයා සමගද, 2020 ජනවාරි 21 දින අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග ද මේ පිළිබඳ සාකච්ඡා කර නමුත් මේ දක්වා සංවෘත සේවා තත්වය ඇති කර වැටුප් විෂමතා ඉවත් කිරීමට හෝ පොරොන්දු වූ පරිදි අතුරු වැටුප් යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට අදාළ කටයුතු සිදු නොවීය. 2020 පෙබරවාරි 14 දින අතුරු වැටුප ලබාදීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීමට බල කරමින් දිවයින පුරා ගුරු-විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ අතර එහිදී පෙබරවාරි 20 දින ට පෙර සියලූ පාර්ශවයන් සමග සාකච්ඡුාවක් ලබා දීමට ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අභයරත්න මහතා එකඟ වූවද මේ දක්වා අදාළ සාකච්ඡුාව හෝ විසඳුමක් ලබාදීමට කටයුතු කරන නැත.
 

More News..