brand logo

ගුරුවරු බලා සිටියදී සුදු ළමයින්ගේ පන්තිකාමරතුළ ලිංගික අතරවර

26 May 2021

අපයෝජන වලක්වන්න ගුරුවරු පුහුණුවක් ඉල්ලති

වෙබ් අඩවියට පැමිනිලි 16000කට අධික ප්‍රමාණයක්

එංගලන්තයේ පාසල් පන්ති කාමර තුළ සිදුවන ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට නොහැකිව එරට පාසල් ගුරුවරුන් මහත් අපහසුතාවකට ලක්ව ඇති බව බීබීසීය සඳහන් කරයි. එරට ගුරුවරුන් 1500කට අධික පිරිසක් බීබීසී ගුවන්විදුලියේ ප්‍රශ්නාවලි වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව පවසා ඇත.

ඔවුන්ගෙන් වැඩිදෙනකු කියා සිටියේ අපයෝජන සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු කිරීමට ක්‍රියාපටිපාටියක් ඔවුන්ගේ පාසල් තුළ ක්‍රියාත්මක නොවන බවය.

එංගලන්තයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සියලුම පාසල්වලට අනිවාර්ය ලිංගික අධ්‍යාපනය විෂය මාලාවක් හඳුන්වා දී ඇති අතර ප්‍රාථමික පාසල් හා ද්විතීක පාසල්වල ලිංගික අධ්‍යාපනය කෙරෙහිද අවධානය යොමු කරන බව පවසයි. සමීක්ෂණයට ලක් කළ ගුරුවරුන්ගෙන් තුනෙන් එකක් පමණ කියා සිටියේ සම වයසේ දරුවන් අතර සිදුවන ලිංගික හිරිහැරයන් හා අපයෝජනයන් තමන් ඇසින් දුටු බවය.

පාසල් තුළ සිදුවන මෙම ලිංගික අපයෝජනයන් පිළිබඳ කතිකාවත උත්සන්න වූයේ වින්දිතයන් හා ඔවුන්ගේ අත්දැකීම් පළ කිරීම සඳහා නිර්මාණය කරන ලද වෙබ් අඩවියකට නිර්නාමිකව අපයෝජනයන් පිළිබඳව පැමිණිලි 16000කට අධික සංඛ්‍යාවක් ලැබීම හා ඒ අතරින් ඇතැම් ළමුන් අවුරුදු නවය තරම් කුඩා දරුවන් බව හැඳින ගැනීමත් සමගය.

ඕනෑම කෙනකුට විවෘත මෙම වෙබ් අඩවියට නිර්නාමිකව චෝදනා ඉදිරිපත් කළ හැකි අතර බොහෝවිට තරුණ තරුණියන්ට තම පාසල තුළදී හා විශ්වවිද්‍යාල තුළ විඳින්නට ලැබෙන ලිංගික අපයෝජනයන් පිළිබඳ සඳහන්ය. ඒ අනුව අතවරයට ලක්වූ තරුණ තරුණියන් වෙනුවෙන් රජය හඳුන්වා දුන් නව දුරකථන අංකයට මසකට පැමිණිලි 350කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර සමාජ සේවා සහ පොලිසිය ඇතුළු ආයතන වෙත මේ වනවිට පැමිණිලි 65ක් යොමු කර ඇති බව මාධ්‍ය සඳහන් කරයි.

ගුරුවරුන් තවදුරටත් පවසා ඇත්තේ ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් පාසල තුළ ක්‍රියාකිරීමට ඔවුන්ට කිසිදු පුහුණුවක් හෝ ලබා දී නොමැති බවය.

ළමා කටයුතු පිළිබඳ එරට ඇමැති විකී ෆෝඩ් පවසා ඇත්තේ වෙබ් අඩවිය ඔස්සේ පැමිණ ඇති මෙම චෝදනා හේතුවෙන් ඔහු දැඩි කනස්සල්ලට පත්ව ඇති බවත් පාසල්වල සිදුවන ලිංගික අපයෝජනයන්ට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක් කඩිනමින් පවත්වන බවත්ය. එරංදි කෞශල්‍යා
 

More News..