brand logo

ගුරුකම වැරැදී කපුවා එළියට දෙවොලේ අණසක අනියම් බිරිඳට

23 September 2020

නිවැසියන්ට බලපාන අපල උපද්‍රවවලට දේව පිහිට ඉල්ලා දෙවොලකට ගොඩ වූ කතක් එහි අණසක පතුරුවා ගනිමින් කපුවා තම භාරයට ගැනීමේ පුවතක් රත්නපුරයෙන් දැනගන්නට ඇත. සිද්ධියට පාදක වනුයේ රත්නපුරේ ගම්මානයක දේවාලයකි. කලක සිට තම නිවසේ උදවිය මුහුණපාන, රෝග පීඩා, අවාසිදායක සිදුවීම් සමනය කර ගැනීමටත්, කවුරුන් හෝ තම නිවසට යම් අණවිනයක් කර ඇත්නම් ඒවා දුරුකර පිහිට ලබා ගැනීමටත් සිතූ ගෙහිමි කාන්තාව එයට සුදුසු ස්ථානයක් ගැන කල්තියාම විපරමේ යෙදුණාය. මිතුරියකගේ ආරංචියෙන් එක්තරා දේවාලයක් ගැන දැනගත් ඇය එයට ගොඩවුණේ බලාපොරොත්තු සහගතවය. කපුවාගේ උපදෙස් අනුව කෙම්මුර දිනවලට බාරහාර වීම, පුදපූජා පැවැත්වීම සිදු කෙරිණි. මේ කටයුතු නිසා පවුලේ උදවියට යම් පිහිටක් ලැබෙන බව ඇය කල්පනා කළාය. නිරන්තරයෙන් දේවාලයට පැමිණීමත්, ආවතේව කටයුතුවලට සහභාගි වීමත්, කපුවා හා ඇය අතර සමීප සබැඳියාවේ වර්ධනයට රුකුලක් විය. දේවාලයට ලැබෙන පලතුරු වට්ටි ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ඇගේ නිවසට ගියේ කපුවාගේ කැමැත්ත පරිදිය. එහෙත් කල්යද්දී පුදපඬුරුවලටද ඇය අත තිබ්බේ කපුවාගේ අනුදැනුමකින් තොරවය. මේ අතර ඇය සමග අමනාපව සිටි පුද්ගලයකුගේ දියුණුව අවහිර වන පරිදි යමක් කරන්නැයි ඇය කපුවාට යෝජනා කළේය. හුදෙක්ම එය යෝජනාවක් නොව අණකි. ඔහුට එය ඉටු කිරීමට සිදු විය. එහෙත් නොබෝ දිනකින් එම පුද්ගලයාට ලොතරැයි දිනුමක් හිමිවීමත් සමග කපුවාත්, පෙර කී කාන්තාවත් අතර ගැටුම්ද හට ගැනිණි. කෙසේ හෝ දැන් දෙවොලේ සියලු රාජකාරි ඇය භාරයේය. කපුවා දැන් එහි සේවකයකු පමණි. ශ්‍රියන්ති බණ්ඩාර - එරත්න
 

More News..