brand logo

ගුටිකන්න බැරි නිසයි නාට්‍යයෙන් ඉවත් වුණේ

10 April 2021

මහේෂි මධුශංකා රංගන ක්ෂේත්‍රයේ කාලයක් දකින්න ලැබුණේ නැහැ. හිටි හැටියේ ඇය ටෙලි නාට්‍යයෙනුත් ඉවත් වුණ නිසා බොහෝ අය ඒ ගැන විවිධ අදහස් දක්වන්න වුණා. දෙවැනි වරටත් මව් පදවිය ලබන්න සූදානමින් හිටපු නිසා රංගනයට නිවාඩු දුන්නත් දැන් මහේෂිව රංගන භූමිකාවෙන් දකින්න ලැබෙනවා.. කාලයක් රංගනයෙන් නිහඬ වෙලා හිටපු මහේෂි ආයෙත් රංගනයට එකතු වෙලා... ඔව්. මම කාලයක් රංගනයෙන් ඈත් වුණා. කරමින් හිටපු ඇය ටෙලි නාට්‍යයෙනුත් අකමැත්තෙන් වුණත් අයින් වෙන්න මට සිදු වුණා. හැබැයි මම දැන් ආයෙත් ඇය ටෙලි නාට්‍යයට එකතු වෙලා ඉන්නවා. මහේෂි ‘ඇය’ ටෙලි නාට්‍යයෙන් ඉවත් වුණේ මවක් වෙන්න සූදානමින් හිටපු නිසාමද? මවක් වෙන්න සූදානමින් හිටපු නිසා තමයි මම නාට්‍යයෙන් අයින් වුණේ. ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ වගේම ඒ නාට්‍යයේ මගේ චරිතය වෙනුවෙන් මට ගුටි කන්න, වැටෙන්න වගේ දර්ශන ඒ සීමාවේ කරන්න තිබ්බා. මං හිටපු තත්ත්වය එක්ක මට ඒ වගේ දේවල් කරන්න බැහැ. අධ්‍යක්ෂ සමන් අයියත් මම ඒ වගේ දේවල් කරනවට බය වුණා. මම සෑහෙන ඇඬුවා නාට්‍යයෙන් ඉවත් වෙන්න සිදු වෙච්ච නිසා. ‘ඇය’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය වාහනේ යද්දි ඇහිලා මට ඇඬුණම මගේ සැමියා කිව්වා දුක් වෙන්න එපා ඔයාට ඒ චරිතය ආයෙත් කරන්න ලැබෙයි කියලා. ඒත් අයින් වුණ නාට්‍යයක චරිතයක් ආයෙත් කරන්න ලැබෙයි කියලා මම කීයටවත් හිතුවේ නැහැ. මගේ අම්මා මට දුක හිතෙයි කියලා හොරෙන් තමයි ඒ දවස්වල නාට්‍යය බලන්නෙත්. නාට්‍යයෙන් ඉවත් වුණාට පස්සේ ඒ කෙනාට ආයෙත් නාට්‍යයට එන්න ලැබෙන්නේ නැහැ? ඔව්. සාමාන්‍යයෙන් නාට්‍යයකින් කෙනෙක් ඉවත් වුණාම වෙනත් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඒ චරිතය කරනවා. මමත් නාට්‍යයෙන් ඉවත් වුණාම මේනකා ඒ චරිතය කළා. නමුත් ආයෙත් ඉවත්වුණ කෙනාට ඒ චරිතය කරන්න ලැබෙන්නෙ නෑ ලංකාවේ නිර්මාණවල. මම කළ කැපකිරීම නිසා වෙන්න ඇති මට ඒ නිර්මාණයට ආයෙත් සම්බන්ධ වෙන්න ලැබුණේ. ආයෙත් නාට්‍යයට එකතු වුණාම කොහොමද ලැබුණ ප්‍රතිචාර? මම නාට්‍යයට නැවත සම්බන්ධ වුණාට පස්සේ විකාශය වුණ පළමු කොටස එක්ලක්ෂ හැත්තෑ නවදාහක් විතර නරඹලා තිබ්බා. මාව ආදරයෙන් ආයෙත් පිළිගන්නවා කියලා තමයි ගොඩක් අය කියලා තිබ්බේ. සාමාන්‍යයෙන් කියන්නේ ගැහැනු අය ගැහැනු අයට කැමති නෑ කියලනේ. නමුත් ලංකාවෙ වගේම විදෙස් රටවල ඉන්න බොහෝ දෙනෙක් මම ආයෙත් නාට්‍යයට එකතුවීම ගැන සතුටු වෙලා තිබ්බා. මහේෂි දැන් දරුවෝ දෙන්නෙක්ගේ මවක්. ඒ නිසා වෙනදට වඩා වගකීම් සහගත වෙන්න සිදු වෙනවා නේද? ඉස්සර නම් රූගත කිරීම්වලට ගියාම රූගත කිරීම් කරන් ඉන්නනේ හිතෙන්නේ. හැබැයි දැන් ඉක්මනට ගෙදර ඇවිත් දුවයි, පුතයි එක්ක ඉන්න තමයි කැමති. මගේ පුතාට දැන් අවුරුදු තුන හමාරයි. පුතා ටිකක් ලොකු නිසා එයා සෙල්ලම් කර කර ඉන්නවා. දුවත් තාත්තාට එකතුයි. මගේ අම්මත් පුතයි, දුවයි බලාගන්න ඉන්න නිසා මට පහසුයි. සැමියා කවදාවත් මහේෂිට රංගනයට තහංචි දාලා නැද්ද? සම්පත් හරිම හොඳ කෙනෙක්. ටිකක් සැරයි. හැබැයි එයා මට තහංචි දාලා නෑ. මම එයා එක්ක විවාහ වුණෙත් ඒ නිසා. මට කලින් ප්‍රේම සබඳතා තිබිලා තියෙනවා. ඒ සම්බන්ධතා එක්ක බලද්දි සම්පත් කියන්නේ මට වදයක් නොදී හිටපු කෙනෙක්. එයාගෙන් මට කිසිම පීඩනයක් නෑ. මම වැරැද්දක් නොකරනවා කියලා දන්න නිසා එයා මම වැඩකට ගියත් කරදර කරන්නේ නැහැ. එයා පයිලට් කෙනෙක්. මේ ළඟදි සිඩ්නි ගිහින් ගෙදර ආවේ පාන්දර. ඒ ඇවිත් අනෙක් පැත්තට මාව රූගත කිරීම්වලට ඇරලවන්න එක්ක ගියා. සැමියා සීමා දන්නේ නැති වුණාට මවක් නිසා මහේෂි වෙනදට වඩා ස්වයං වාරණ දාගෙන ඇති? අම්මා කෙනෙක් වෙන්න කලින් ඉඳන් මට සීමා ටිකක් තිබ්බා. උදාහරණයක් විදිහට රංගනයට වුණත් ලිප් කිස් එකක් දෙන්න මම කැමැති නැහැ. ඒ වගේම ඇඳුම් සම්බන්ධයෙනුත් මට සීමා තිබ්බා. මම දාගෙන ඉන්න සීමා නිසා මට හොඳ වැඩ නැති වෙලා තියෙනවා. සමහර වැඩ අහිමිවීම ගැන දුකක් නැද්ද? කිසිම දුකක් නැහැ. සමහර නවක අය හිතාගෙන ඉන්නේ සමහර ඇඳුම් ඇන්දම, ඇඟ පෙන්නුවම ජනප්‍රිය වෙනවා කියලා. නමුත් මට එහෙම අමුතුවෙන් දේවල් කරලා ජනප්‍රිය වෙන්න අවශ්‍ය වුණේ නැහැ. තාමත් එහෙමයි. මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩුවෙලත් නැහැ. මගේ වටිනාම සම්මාන දෙක ගෙදර තියෙනවා. ඒ මගේ දරුවෝ. දුවෙක් කියන්නෙත් වගකීම් ගොඩක් නේද? ගැහැනු දරුවෝ පරිස්සම් කරන්න අද සමාජයේ හරිම අමාරුයිනේ. ඇත්තටම දුවෙක් කියන්නේ වගකීම් ගොඩක්. ආදරයෙන් ඒ වගකීම් දරනවා. සැමියාව ඔබට ලැබුණෙත් කලාව නිසාද? කොරියාවේ සංචාරයකට ගිය වෙලාවේ තමයි මට සම්පත්ව මුණගැහුණේ. ඒ එයාගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. අපි යාළුවෝ වගේ කතා කරන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි පෙම්වතුන් වෙලා විවාහය දක්වා දුර ආවේ. මහේෂි කාලයක් පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කළේ නැහැ. ඇයි ඒ? ඒකට හේතුව මම, මගේ පළවැනි පෙම්වතා ගැන සෑහෙන කතා කළා. ඒ සම්බන්ධය ජනප්‍රිය කළා. එයා වෙන සම්බන්ධ තියාගෙන ඉඳලා අපේ සම්බන්ධය නතර වුණා. ඒ නිසා සමහර දේවල් ගැන කලකිරීමක් තිබ්බා. බැන්දට පස්සේ අපිට මිනිස්සු මාරු කරන්න බෑනේ. ඒ නිසා මට මගේ පවුල් ජීවිතය රැකගන්න ඕන වුණා. දෙවැනි දරුවා හම්බ වෙනකල් මම විවාහ ජීවිතයේ දේවල් සමාජ මාධ්‍යවලින් ප්‍රසිද්ධ කළේ නැහැ. මගේ සැමියත් ඒකට බලපෑම් කළේ නැහැ. එයා එයාගේ ෆේස්බුක් පිටුවේ ඡායාරූප දැම්මා. සම්පත් පාඩුවේ ඉන්න කෙනෙක්. මට වඩා එයා අවුරුදු දහයක් වැඩිමල්. හරිම තේරුම් ගැනීමක් එයාට තියෙනවා. ඒ නිසා එයා මට කිසිම දෙයකට බල කළේ නැහැ. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..