brand logo

ගිහාන් පිලපිටියගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

19 February 2020

තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර ඇත. අද(19) පෙරවරුවේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. තිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මූලික විරෝධතාවක් මතු කරන බව සඳහන් කළේය. තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර ඇති බවට පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙන කරුණ අසත්‍ය මෙන්ම විකෘති කරන ලද්දක් බව චෝදනා කර සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා එවැනි නියෝගයක් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී නොමැති බව සඳහන් කළේය. නිසි අධිකරණයක් වෙත කරුණු වාර්තා කර  වරෙන්තුවක් ලබා ගන්නා ලෙස පමණක් නිතිපතිවරයා විසින් මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය. එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිපතිවරයා විසින් පෙත්සම්කරු අත් අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබූ බව ජනමාධ්‍ය ඔස්සේ පළකර තිබූ බව පැවසුවේය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් ජනමාධ්‍යවලට කරුණු දක්වමින් මෙවැනි නියෝගයක් ලබාදී තිබෙන බව සඳහන් කර තිබු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම වාතාවරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැමිණ මෙවැනි තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බවට ද අවධාරණය කර සිටියේය.  
 

More News..