brand logo

ගිය අවුරුද්දේ දාසය දාහකට මැරෙන්න හිතිලා

05 January 2020

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් 1926 ක්ෂණික ඇමතුම් සේවාව 2018 වසරේ ආරම්භ කරන ලද්දේ දිවිනසා ගැනීමට සිතෙන අයට මෙන්ම, තම ජීවිතයේ ප්‍රශ්න ගැටලු කළමනාකරණය කරගත නොහැකි අයට ඇමතුම් ලබා දීම පිණිසය. ඒ සඳහා 161ක් දෙනෙකුගෙන් යුතු පුහුණු කාර්ය මණ්ඩලයක් ද ඇති කරමින් විශේෂ ඒකකයක් පිහිටුවනු ලැබූ අතර පැය 24 තුළ ඕනෑම වෙලාවක තම හිතේ පවතින ගැටලුව කීමට ජනතාවට අවකාශ සැලසිණි. අද වන විට එම දුරකථන අංකය හරහා දාසය දහසක් කතා කොට ඇති අතර ඔවුන්ගේ සිතිවිලි වෙනස්කොට ජීවිතයට ආදරය කරන්නට අවස්ථාව සලසා තිබේ. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි. 2020 නව වසර උදාවත් සමග 1926 දුරකථන අංකයට එක්තරා ඇමතුමත් ලැබිණි. නව වසරට ​ ලෝකයම සුබ පැතුම් හුවමාරු කර ගනිද්දි තම පෙම්වතා තමාට සුබ පැතුවේ නැතැයි දුරකථනය හා සම්බන්ධ වූ යුවතිය කීවේ හඬා වැටෙමිනි. තමන් ආදරය කළ තරුණයාට තමන් අමතක වී ඇති බවත්, ඉතිරිව ඇත්තේ ජීවිතය නැතිකර ගැනීම බවත් ඇය හඬ හඬා කීවාය. ඇය පමණක් නොව ජනවාරි පළමු වැනිදා මෙම සුවිශේෂී දුරකථන අංකයට තවත් ඇමතුම් 37ක් ලැබිණි. ඒ සියල්ල ජීවිතය ගැන කලකිරුණු ජීවිතය හැර යන්නට හිතුණු අයගේ ඇමතුම්ය. මෙම විශේෂිත දුරකථනය අයත් වන්නේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයටය. මේ අයුරින්ම දිවිනසා ​ ගන්නට සිතුණු දාසය දහසකගේ පමණ ජීවිත බේරා දෙන්නට ගිය වසරේත් මේ දුරකථන අංකය සමත්විය. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම විශේෂිත දුරකථන අංකය හඳුන්වා දෙන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේය. පැය 24 පුරාම ජනතාව උදෙසා විවෘත වී පවතින මෙම දුරකථන අංකයට දිනකට ලැබෙන ඇමතුම් ගණනින් ලංකාවේ පුද්ගලයන් කෙතරම් මානසික පීඩනයකින් සිටින්නේ දැයි ඔවුහු හඳුනාගත්හ. අනේක දුක් දොම්නස් කරදර බාධක මැද ගෙවන ජීවිතයේ විසඳාගත නොහැකි තරමට ඇතිවන ගැටලුවක් නිසා ජීවිතය අතහැර දමන්නට සිතෙනවා නම් එම පුද්ගලයා අනිවාර් යෙන්ම ඇමතිය යුතු දුරකථන අංකය 1926 බව දැන් පැහැදිලිය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික මානසික සෞඛ්‍ය ඒකකය සමග අත්වැල් බැඳ ගනිමින් ආරම්භ කෙරෙන මෙම උපකාරක සේවාව හෙදියන්, වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සහ මනෝ උපදේශකයන්ගෙන් සැදුම්ලත් ඒකකයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ස්ථාවර දුරකථන අංකයකින් මෙම අංකයට ලබාගන්නා ඇමතුම් සහ මොබිටෙල් ජංගම දුරකථනයකින් මෙම අංකයට ලබා ගන්නා ඇමතුම් සඳහා කිසිදු ගාස්තුවක් අය නොවීමය. මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ ද ඇමතුම් ලබාදෙන්නේ සිත් තැවුලේ ස්වභාවය මනාව තේරුම් ගනිමිනි. අනෙකුත් දුරකථන විටෙක ඇමතුම ලබාදෙන්නාට තම ගැටලුව විස්තර කිරීමට තරම් මුදලක් ජංගම දුරකථනයේ නොමැති වුවහොත් එවැනි අවස්ථාවක 1926ට ඒ බව කිය හැකිය. අනතුරුව ජාතික මානසික සෞඛ්‍ය සේවාවේ නිලධාරියෙකු අදාළ අංකය සමගින් ඇමතුමකට සම්බන්ධව ගැටලුවට ඇහුන්කන් දීම සිදුවේ. මෙම දුරකථන සේවාව ආරම්භ කළ 2018 වසරේ මෙම අංකයට ඇමතුම් 1341 ක් ලැබී තිබුණත් 2019 වසර වන විට එම ඇමතුම් ගණන 16, 612 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පිළිබඳව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මෙසේ අදහස් දැක්වූවාය. ‘‘විශේෂයෙන්ම කියන්න ඕන මෙම දුරකථන අංකයට ඇමතුම් ලැබෙන්නේ සියදිවි නසාගන්න අවශ්‍යයි කියලා තියන අයගෙන් විතරක් නෙවෙයි. විවිධ මානසික ගැටලුවලට මුහුණ දෙන තමන්ට මානසික රෝගයක් ද කියලා නිරන්තරයෙන්ම බියෙන් පසුවන අයගෙනුත් ඇමතුම් ලැබෙනවා. දවසකට ඇමතුම් පනහක් හැටක් විතර එනවා. පසුගිය අවුරුද්දේ අපේ රටේ සිදුවුණු පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග අපිට ලැබෙන ඇමතුම් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. මොකද මෙවැනි සංවේදී සිදුවීම්වලට විශාල ලෙස තැතිගැන්මට ලක්වෙන පිරිස් බොහෝ දෙනා ඉන්නවා. ඒ වගේම පසුගිය දා නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵලත් සමග දෙසැම්බර් මාසෙට විතරක් 1843 ක් අපිට ඇමතුම් ලැබුණා. විභාග ප්‍රතිඵල නිසා මානසික පීඩනයට ලක් වුණු පිරිස් ජීවිතය නසා ගන්න පවා හිතුණු පිරිස් ඒ අතර හිටියා’’ විශේෂඥ වෛද්‍යවරිය පවසන ආකාරයට මෙම දුරකථන අංකයට පැමිණෙන පැමිණිලිවලින් 40% පාහේම ලැබෙන්නේ ආදර සම්බන්ධතාවයන් බිඳ වැටීම නිසා ඇති වූ සිත් වේදනාවන් පිළිබඳවය. ආදරයෙන් පරාජය වන බොහෝ දෙනා තෝරා ගන්නේ එක්කෝ තම ජීවිතයේ සියලු බලාපොරොත්තු අත්හැර දමා සිටින්නටය. නැතිනම් සිය ජීවිතය තොරකර ගන්නටය. සමහර විවාහක යුවළවල් කතා කරනවා අපිට එයාලගේ සහකාරයා සහකාරිය සමග එකට ජීවත් වෙන්න බෑ. එක්කෝ අධිකව සැක කරනවා තමන් යන එන තැන් පවා කියන්න ඕන, නැත්නම් ගහනවා කියලා. තවත් සමහරු කියනවා එකට ජීවත් වෙද්දි තමයි තේරෙන්නේ එයාට මානසික රෝගයක් ද දන්නේ නැහැ කියලා.’’ බොහෝ විට අඹුසැමි යුවළ අතර ඇතිවෙන මත ගැටුම් ගණනාවක්ම සහ ඔවුන්ගේ දුක් ආඳෝනා අසා සිටින්නට 1926 උපකාරක සේවයේ නිලධාරින්ට සිදුවෙයි. දවසේ පැය 24 පුරාම අඛණ්ඩව මෙම සේවය ක්‍රියාත්මක වන නිසා පැය 06 න් 06ට එහි නිලධාරියෝ මාරු වෙති. 161 දෙනෙකුගෙන් සමන්විත වන මෙම නිලධාරී මඬුල්ල ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව සඳහා හොඳින් පුහුණුව ලැබූ පිරිසකි. මෙම සේවාව අමතා පිහිට පතන සියලුම පුද්ගලයන්ගේ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීම ද කරනු ලැබේ. විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ ගැහැනු පිරිමි තරුණ මහලු භේදයකින් තොරව ලංකාවේ සියලුම පළාත්වලින් මෙම දුරකථන අංකයට ඇමතුම් ලැබෙන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම තප්පර 40කටම වරක් මිනිස් ජීවිතයක් සියදිවි නසා ගැනීම හේතුවෙන් අහිමි වෙයි. එවැනි අකාලයේ අහිමි වී යාමට තිබූ දහස් ගණන් ජීවිත මෙම උපකාරක සේවාව නිසා ආරක්ෂා කරගන්නට හැකියාව ලැබී තිබේ. මෙහි ඇති තවත් විශේෂිත කරුණ වන්නේ පුළුල් ප්‍රජා මානසික සෞඛ්‍ය ජාලයෙන් ඇමතුම් ලබා දෙන සියලුම පුද්ගලයන්​ගේ පදිංචි ප්‍රදේශයට ආසන්නව පිහිටා ඇති රෝහල්වල මානසික සෞඛ්‍ය ඒකක වෙත යොමු කිරීමයි. එමගින් අඛණ්ඩව එම පුද්ගලයාගේ මානසික තත්ත්වය යහපත් කිරීමට කටයුතු කරනු ලබයි. තවද මානසික සෞඛ්‍ය ගැටලුවකින් පීඩා විඳිමින් කරදරකාරි ලෙස හැසිරෙන යම් රෝගියකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යාටම අපහසු නම් එම කාර්ය සඳහා ද මෙම කණ්ඩායම නොපැකිළව මැදිහත් වෙයි. එම රෝගියා දුර බැහැර සිටින්නේ නම් ඉතා සුළු මුදලක් ගෙවීමෙන් එවැනි රෝගියෙකුට අදාළ සේවය ලබා ගැනීමේ පහසුව සලසා දෙනු ලබයි. යම් පුද්ගලයකු තමන්ගේ මානසික ගැටලුවක් 1926 දුරකථන අංකයට ඉදිරිපත් කිරීමෙන් ඔහු හෝ ඇය බලාපොරොත්තු වන්නේ වෛද්‍ය උපදෙස් නම් තමන්ට මානසික රෝගයක් යැයි ඔහුට ගැටලුවක් නම් ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගැනීමට මෙම දුරකථන සේවාව හරහා හැකියාව ලැබේ. සමහර වේලාවට මහ රෑ 12ට විතරත් අපේ අංකයට දුරකථන ඇමතුම් එනවා. ඒ අවස්ථාවේම ​ඔවුන්ට ලබාදෙන්න පුළුවන් උපරිම සහනය ලබා දෙන්න කටයුතු කරනවා. සමහර අවස්ථාවල ජීවිතය තොර කරගන්නට හැදු පුද්ගලයන් කතා කරනවා. අපි ඒ අවස්ථාවල ඔවුන්ගේ ප්‍රශ්නයට සාවධානව ඇහුම්කම් දෙනවා. ඔවුන්ව ගැටලුවලට විසඳුම් සොයාදීමෙන් පමණක් නොනැවතී එම පුද්ගලන් පිළිබඳව පසු විපරම් ද සිදුකරමින් එම රෝගීන් යථා තත්ත්වයට පත්වන තුරුම මෙම කණ්ඩායම ඔවුන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම ද විශේෂත්වයකි. විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය පැවසුවේ ඉහත කී ගැටලුවලට අමතර ලංකාවේ 10%ක මව්වරුන් දරු ප්‍රසූතියෙන් පසු යම් මානසික පීඩන තත්ත්වයන්ට ගොදුරුවන බවයි. දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා මෙම තත්ත්වයන් ඇති වන බව ද ඇය පැවසුවේය. මේ සියලුම තත්ත්වයන්වල පසුවන පුද්ගලයන්ගේ මානසික ගැටලු පිළිබඳව විශේෂයෙන්ම තුරුණු වියේ පසුවන දරුවන්ගේ, විවාහක පිරිසගේ වැඩිහිටි උදවියගේ ප්‍රශ්න ගැටලුවලට ඉතාමත් සාවධානව ඇසීමෙන් ඔවුන් ඒ ඒ ගැටලුවලට අදාළව සම්බන්ධවන පාර්ශ්වයන් ඒ සිතුවිල්ල නැති කරගන්න උදව් කරනවා. එවැනි සිද්ධීන් බොහොම ප්‍රමාණයක් මේ අවුරුදු 02කටම වාර්තා වෙලා තියෙනවා. ඇය පවසන ආකාරයට එන දුරකථන ඇමතුම්වලින් වටිනා ජීවිත ගණනාවක් සුරක්ෂිත කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. මෙම ක්‍රියාවලියේදි මෙම කණ්ඩායමට මුහුණ දෙන්නට සිදුවන්නේ නම් අපූරු අත්දැකීම්වලටය. සමහර මානසික රෝගීන් රෝහලට යාම ඖෂධ ලබාගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල මෙම නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් එම රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙයි එවැනි අවස්ථාවල එම රෝගීන් සිටින මානසික තත්ත්වයන් සමග විවිධ ආයුධ රැගෙන ඔවුන් පස්සේ පන්නන බව ද ඇය පැවසුවාය. ඉදිරියේ දී මෙම සේවාව 1990 ගිලන් රථ සේවය සමග සම්බන්ධ කොට රෝහල් ගත වීටම අපහසුතාවෙන් ඇති දුර බැහැර සියලු රෝගීන්ව කඩිනමින් රෝහල් වෙත ගෙන යෑමට හැකිවන ආකාරයට කටයුතු සලසන බව ද ඇය පැවසුවාය. එමෙන්ම තරුණ වියේ පසුවන බොහෝ දෙනා දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනීමට කෙටි පණිවිඩ යැවීමට කැමැත්තක් දක්වන නිසා ඔවුන්ගේ කැමැත්තට ද ගැළපෙන ලෙස ඉදිරියේ දී ‘චැට්’ මාර්ගයෙන් තම ගැටලු යොමු කිරීමේ ක්‍රමයක් ආරම්භ කරන බව ඇය පැවසුවාය. ලංකාවේ දක්නට ලැබෙන පොදු මානසික රෝගී තත්ත්වයක් වන විශාදය නිසා පීඩා විඳින බොහෝ දෙනෙකු මෙම සේවාව මගින් වෛද්‍ය උපදෙස් ලබා ගනිති. විශාදය සහ කාන්සාව මේ වන විට ලංකාවේ බොහෝ පුද්ගලයන් තුළ දැකිය හැකි උග්‍ර නොවන සුළු මානසික රෝගී තත්ත්වයන් බව වෛද්‍යවරිය පැවසුවාය. මෙම රෝගී තත්ත්වයන්වලට නිසි ප්‍රතිකාර ලැබීමෙන් සැබැවින්ම නිට්ටාවටම සුව කළ හැකිය. ජීවිතයක වටිනාකමත්, ජීවත්වී​ෙ‍ම් වටිනාකමත් අපට ඒත්තුගන්වමින් අංගොඩ ජාතික සෞඛ්‍ය මානසික ඒකකය දියත් කරගෙන යන මෙම වැඩපිළිවෙළ ප්‍රශංසාත්මක බවත් නොකියා බැරිය. අශිකා ජයවීර ඡායාරූප - ඒෂාන් දසනායක
 

More News..