brand logo

ගියොත් ආයිත් එන්න බැරි ඉස්කෝලේ ගැන බුද්ධි අංශ බොරු කියයි

26 September 2021

ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් කරමින් බුද්ධි තොරතුරු සමාජ ජාලයට දාලා

Interschool නමින් වට්ස්ඇප් කණ්ඩායමක් ක්‍රියාත්මක බවත් එය ISIS සංවිධානයට අයත් බවටත් සදහන් කරමින් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ බුද්ධි තොරතුරක් මේ වන විට සමාජ මාධ්‍ය වල සැරිසරමින් පවතී. බස්නාහිර බුද්ධි කොට්ඨාශය විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එම බුද්ධි තොරතුරෙන් දැනුම් දී ඇත්තේ මෙම සමාජ මාධ්‍ය ජාලයට සම්බන්ධ වුවහොත් නැවත ඉවත්වීමට හැකියාවක් නොමැති බවකි. ඒ සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් පවත්වන ලෙසද එමගින් බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යෝජනා කර තිබේ. මෙම බුද්ධි තොරතුර පසුගිය 23 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර ඇති අතර 24 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයට ලැබී ඇති බව සදහන්ය. අනතුරුව එම තොරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලය මගින් බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුට යොමු කර ඇත. මේ පුවත අද වෙබ් අඩවි කීපයක පල කර තිබුණු අතර එක් වෙබ් අඩවියක පල කර තිබුණේ මේ පිළිබඳ ඔවුන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ සහ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසුමකදී එම තොරතුර නිවැරදි තොරතුරක් බව තහවුරු වූ බවයි. කෙසේ නමුත් ISISසංවිධානයට අයත් බව හඟවමින් Interschool නම් වට්ස්ඇප් සමූහයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය බුද්ධි සේවය ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය අමාත්‍යාංශ දැනුවත් කර තිබේ. 2017 සිට සංසරණය වන මෙම ව්‍යාජ පණිවුඩය පිළිබඳව පසුගියදා නැවත වතාවක් බුද්ධි තොරතුරක් ලෙස හුවමාරුවීමට බලපෑ දැනට සමාජ මාධ්‍යයේ හුවමාරුවන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය- බොරැල්ල නිකුත් කළ ලිපියත්, ඒ ලිපිය නිකුත් කිරීමට බලපෑ හේතුත්, අදාළ බුද්ධි ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට යොමු වූ පසු නැවත නිලධාරීන්ට යොමු කිරීමේ දී හෝ ඉන් පසුව සමාජ මාධ්‍යට නිකුත් වූයේ ද යන්නත් අභ්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේ සොයා බැලීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව පොලිස් මූලස්ථානය අදාළ තොරතුර සම්බන්ධයෙන් අද(26) නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සඳහාන් කර ඇත. සමාජ මාධ්‍යයේ  හුවමාරු වූ ලිපිය පහත ඇත.  
 

More News..