brand logo

ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මගේ හිතේ ගිනි නිව්වෙ අරුණි

24 November 2020

හැම වැහි වලාකුළකම රීදී රේඛාවක් තියනවා. අඳුරු වලාවෙන් පිරුණු ඔහුගේ ජීවිතයේ රීදී රේඛාව වුණේ ඇය. උදෑසන අරුණැල්ලක් වගේ ඔහුගේ ජීවිතයේ තිබුණු මූසල අඳුර පලවා හැරියෙත් ඇයමයි. තමන්ගේ ආදරණීය පෙම්වතිය ගැන මේ විදියට හිතුවෙ, ඒවා වචනවලට පෙරළුවෙ ආදරණීය පෙම්වතෙක්. ඔහු නමින් හර්ෂණ බෙත්මගේ. හර්ෂණ පෙම්වතෙක් බවත්, අරුණැල්ලක් සේ ඇවිත් ඔහුගේ ජීවිතය එළිය කළ අරුණි ඇයගේ පෙම්වතිය බවත් මේ වන විට කාටත් රහසක් නෙමෙයි. හර්ෂණගේ ව්‍යාපාරික සහකාරිය වෙලා තව නොබෝ දිනකින් හර්ෂණගේ ජීවන සහකාරිය වන්නට අරුණිට වාසනාව ලැබෙනවා. හර්ෂණ නම් කියන්නෙ සුදු නෝනා එයාගේ ජීවිතයට ඇතුළු වුණේ ඔහුගෙ වාසනාවට කියලා. කෙ‍ාහොමින් කොහොම හරි ඔන්න දෙන්නා රන් හුයකින් දෑඟිලි බැඳලා, පොතේ අත්සන් කරලා එක වහලක් යටට යන්නයි සූදානම. ලෝකෙට පේන්නෙ නැතිවුණාට චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරලා, නෑ හිතවතුන් එක්ක මේ දවස ලස්සනට ගත කරන්න හිතා ගෙන හිටියත් කොරෝනා වසංගතය ඒකට හරස් වෙලා. ඒත් මොන බාධක ආවත් හර්ෂණවත්, අරුණිවත් ඉස්සරහට ගත්ත පය ආපස්සට තියන්නෙ නෑ කියලා තීරණය කරලා. කොරෝනා අස්සේ දෙන්නා එක වහලක් යටට යන්න හදනවා කියලා ආරංචියි? කොරෝනා ආවේ පස්සේ. අපි ඉක්මනින්ම එක වහලක් යටට යන්න සැලසුම් කරලා තිබුණේ. බාධකයක් හැටියට මතු වුණේ කොරෝනා. ඒත් අපි හිතුවා තවත් ප්‍රමාද කරන එක තේරුමක් නෑ කියලා. ඒ නිසා කොරෝනා නීතිවලට අනුගත වෙලා බොහොම චාම්ව පුංචි උත්සවයක් ගන්නවා. ඒ කියන්නෙ උත්සවයට එන්නෙ ළඟම අය විතරද? උපරිම පිරිස 50යි නේ. පවුල් දෙකේ සාමාජිකයො එකතු වුණත් 50ට වැඩි වෙනවා. ඒ නිසා තෝරලා බේරලා ළඟම කීප දෙනෙක් විතරක් අමාරුවෙන් තෝරා ගත්තා. මම හිතනවා රටේ තත්ත්වය තේරුම් අරගෙන කවුරුත් අපිත් එක්ක අමනාප නොවේවි කියලා. කොහෙද මංගල උත්සවය තියෙන්නේ? කඩුවෙල පැත්තේ හෝටලයක. සරලව, චාම්ව ඉවරයක් කරලා දානවා. කවදද ඉතිං මනාමාලිව කැන්දන් එන්නේ? මේ මාසෙ අවසන් වන ලබන සතියේ මනමාලිව මගේ ගෙදරට එක්ක යනවා. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයිලු. ආදරයේදී වෙච්ච හැල හැප්පීම් එක්ක අරුණිගෙ ආදරයට හර්ෂණ බය වුණේ නැද්ද? අරුණි මට හම්බවුණේ මම මානසික, ආර්ථිකව බිඳ වැටිලා නැත්තටම නැති වෙලා හිටපු මොහොතක. ඒ වෙලාවෙ මට මගේ කියලා හිටියේ දෙමව්පියො සහ සහෝදරයො විතරයි. තනි මතේට වැඩ කරලා සියල්ල නැති කරගෙන ආපහු මට දෙමව්පියො ළඟට යන්න උනේ හිස් අතින්. මට හැමදේම එපා වෙලා හිටියේ. මොකද මම දෙයක් කරන්නෙ බොහොම අවංකව. මට මුහුණ දෙන්න වුණේ ඒ අවංකකමට මට ලැබුණෙ දඬුවමක් කියලයි මට හිතුණෙ. දෙවියො බුදුන් මේ ලෝක‍ෙ නෑ කියලා හිතුණා. බොරු කියන්න ඕනෙ නෑනේ නැති වෙන්න දෙයක් තවත් ඉතිරිව නැතුව මම නැත්තටම නැති වුණා. කාලක් ගත වුණාට පස්සේ මම හිතුවා අමාරුවෙන් හරි ‍ඔළුව උස්සන්න. බිංදුවෙන් පටන් ගන්න. එහෙම හිතලා තාත්තත් එක්ක මම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ ව්‍යාපාරයේදී තමයි මට විදෙස් ගත වෙලා හිටපු අරුණි හමුවෙන්නේ. ඉස්සෙල්ලාම අරුණි මගේ බිස්නස් පාට්නර් වුණා. ව්‍යාපාරික සහකාරිය ජීවන සහකාරිය කර ගන්න සුදුසුයි කියලා හිතුණෙ ඇය තුළ තිබුණ මොන සුදුසුකම නිසාද? මුලින් ඔබ ඇහුවා වගේ මම ගිනි පෙනෙල්ලෙන් බැට කාලා හිටියේ. අරුණිට මගේ හිතේ ගිනි නිවන්න පුළුවන් වුණා. ඒ ඇය ව්‍යාපාරික වශයෙන් මාව ඔසවලා තිබ්බා වගේම මගේ කැඩුණු හිතත් හරි ලස්සනට හරි ගැස්සුවා. මිතුරියක් විදියට ඇය මට ඒ දේවල් කළේ මගෙන් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. කාලයත් එක්ක අපි හුඟාක් සමීප වුණා. ඔබේ අතීතය ඒ අදරයට බාධාවක් වුණේ නැද්ද? අරුණි ට නම් ඒක ප්‍රශ්නයක් වුණේම නෑ. ඒත් දික්කසාද කෙනෙක් දෙවන විවාහයකට සූදානම් වෙද්දි මූණ දෙන ප්‍රශ්න ටිකක් තියනවානේ. ඒ ප්‍රශ්නවලට මට මූණ දෙන්න වුණේ නෑ කියනවා නම් ඒක බොරුවක්. හැබැයි අරුණි ඒ හැම ප්‍රශ්නයක්ම ලස්සනට විසඳුවා. ඔබේ දෙමව්පියො අරුණිට කැමැති වුණාද? ඔව්. මේ වතාවෙ නම් සියල්ල සිද්ධ වුණේ දෙමව්පියන්ගෙ කැමැත්තෙන්. ඇය ව්‍යාපාරික වශයෙන් සම්බන්ධ වෙලා හිටිය නිසා මට කිසි දෙයක් හංගන්න බැරි වුණා. අනිත් එක හංගන්න උවමනාවක් තිබුණෙත් නෑ. අම්මා තාත්තගේ පූර්ණ කැමැත්තෙන් තමයි අරුණි මගේ මනමාලි වෙන්නේ. අතීතය ගැන තියෙන්නෙ කලකිරීමක් ද? නෑ. කලකිරීමක් නෑ. වැරදි කරන අයට ස්වභාදහම දඬුවම් දෙනවා. නිකරුණේ වැරදි කාරයො වුණු නිවැරදිකාරයන්ට පහුවෙලා හරි සැනසීමක් ලබා දෙනවා. කාලය සහ ස්වභාදහම මට ලොකු තෑග්ගක් දුන්නා. ඒ අරුණි. ඇය මට සැනසීම ලබා දුන්නා. ඔබේ ව්‍යාපාරයට දැන් අරුණිගෙ සහයක් නැද්ද? අපෝ තියනවා. ඒක අපි දෙන්නගෙම ව්‍යාපාරය. රූපලාවණ්‍ය පැත්තට සම්බන්ධ නිසා ඇය ඒකෙ හවුල් කාරියක් වෙන්නම ඕනෑ. අරුණි රූපලාවණ්‍ය ශිල්පිනියක්නේ. දැන් ඒ ක්ෂේත්‍රයෙන් අයින්වෙලාද? නෑ... ඇය දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්. ලංකාවට ආවට පස්සේ තාම ඇයට රූපලාවණ්‍යාගාරයක් දාන්න තරම් විවේකයක් ලැබුණෙ නැහැ. විවාහයෙන් පස්සේ ඒකත් අපේ එක සැලසුමක්. එහෙනම් දෙන්නටම ජයසිරි මංගලම්! බොහොම ස්තුතියි. මම ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන් උදව් උපකාර කළ මගේ ආදරණීය මාධ්‍ය මිතුරන්ටත් බොහොම ස්තුතියි කියන්නම ඕනේ. මොකද සැපේදි වගේම දුකේදිත් ඒ හැමෝම මට උදව් උපකාර කළ නිසා. හිමේෂා සවන්තී රාජපක්ෂ
 

More News..