brand logo

ගිනි ගන්නා නැවේ රසායන කාන්දුව හඳුනා ගෙන තියෙන්නේ අරාබි මුහුදේදී

27 May 2021

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායන කාන්දුව පළමුව හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට කිලෝමීටර දහස් ගණනක් දුරින් පිහිටි අරාබි මුහුදේදී බව නාවික පුවත් සේවයවක් වාර්තා කරයි. මේ අනුව සිංගප්පුරු සමාගමකට අයත් 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණීමට පෙර ඉන්දියාව සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ. එහෙත් අදාළ නෞකාවට එම වරායන් දෙකට ඇතුළුවීම සඳහා අවසර හිමි නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුළ ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුව බව නෞකාව අයත් සිංගප්පූරු සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාට්නෝල් උපුටා දක්වමින් වෙබ් අඩවියක් වාර්තා කර ඇත. මෙම නෞකාව තුළ බහාලුම් 1,486 ක් තිබී ඇති අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් අඩංගු බහාලුම් කිහිපයක් ද ඒ අතර වන බව සඳහන්ය. එම රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් නෞකාවේ ගින්න හටගෙන ඇති බව අදාළ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව, මෙම අනතුර හඳුනාගත් අවස්ථාවේ නෞකාවේ කපිතාන්වරයා විසින් ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් යන වරායන්වලට නෞකාව ඇතුළු කිරීම සඳහා අවසර ඉල්ලා තිබේ. එහෙත් එම වරායන්වලින් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් කොළඹ වරාය වෙත මෙම නෞකාව යාත්‍රා කරවා ඇති බව වාර්තා වේ. මේ වනවිට මෙම නෞකාව සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවට අදාළ නෞකාව අයත් සමාගම විසින් පිළිගෙන ඇති බවද සඳහන්ය. මෙම නෞකාව කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් කළ විමසීමෙ දී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති අතර සෑම අංශයක් ගැනම සොයා බලන බවයි.
 

More News..