brand logo

ගිනි ගත් නැවේ ඉන්ධන තවදුරටත් සාගරයට

25 September 2020

ගිනි ගැනීමකට ලක්වූ ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් පිටවූ ඉන්ධන මෙරට සාගර කලාපයේ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සඳහන් කරයි. මෙම නෞකාවෙන් මෙරට සාගර කලාපයට පරිසර හානියක් සිදුවී ඇති බවට සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සකස් කරන ලද වාර්තාව නීතිපතිවරයාට භාරදීමට පෙරේදා (23 වැනිදා) කටයුතු කළ බව එහි සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි. සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරියේ නිලධාරීන් සහ තවත් විශේෂඥ කණ්ඩායමක් එක්ව මෙම වාර්තාව සකස් කර තිබේ. අදාළ වාර්තාව නීතිපතිවරයා විසින් නැවට අදාළ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය. නැවෙන් පිටවූ ඉන්ධන නිසා මුහුදු ජීවීන්ට සිදුවූ හානිය පිළිබඳවද එම වාර්තාවේ සඳහන් කර ඇත. නැවෙන් පිටවූ ඉන්ධන මෙරට සාගර කලාපයේ කිලෝමීටරයක් පමණ පළල, කිලෝමීටර් තුනක් පමණ දිගැති ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබෙන බව සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය නිරීක්ෂණය කර තිබේ. මුහුදු රළ හා සුළං තත්ත්වයන් මත මුහුදේ තිබෙන ඉන්ධන තවත් ව්‍යාප්ත වෙමින් පවතින බවද නිරීක්ෂණය කර ඇත. නැව මෙරට සිට නාවික සැතපුම් හැටක පමණ දුරින් පිහිටා තිබෙන බවත්, නැවෙන් ඉන්ධන පිටවීමක් දැන් සිදු නොවන බවත් සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සඳහන් කරයි. නිව් ඩයමන්ඩ් නැව සම්බන්ධව සහ නැව ආශ්‍රිත මුහුදු කලාපය පිළිබඳව සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය වැඩිදුරටත් නිරීක්ෂණය කරන බව එහි සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර වැඩිදුරටත් පැවැසුවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..