brand logo

ගිනියමට තැඹිලි ගිනිගනී

07 March 2020

තැඹිලි ගැන දැන් නැවතත් සමාජයේ කතාබහක් ඇති වී තිබෙන්නේ එහි මිල රුපියල් 100ද ඉක්මවා ගිය නිසාය. තැඹිලි මිල කියූ සැණින් මතකයට එන්නේ අන්තර්ජාලයේ ඇති පරණ ඇනස්ලි - බර්ටි - සැමුවෙල්ගේ විනෝදසමයයි. සැමුවෙල් රුද්‍රිගෝ පැමිණ හාමු මහත්තයා වූ ඇනස්ලි ඩයස්ට කතා කරයි. ‘‘හාමු මහත්තයට කියන්න බංගලාවේ සුද්ද මට එන්න කියලා ගියා. යනකොට සුද්ද ටැංකියකට තැඹිලි කප කප වතුර පුරෝනවා නාගන්න. මටත් මූණ ටිකක් හෝදගන්න කිව්වා.’’ ‘‘ඉතින් තමුසෙත් තැඹිලි වතුරෙන් මූණ හෝද ගත්ත කියන්නනේ ඔය යන්නේ’’ ඇනස්ලි අසයි. ‘‘මොන සිස්සුද ඕයි.! මම දිගට හරහට ටැංකියේ තැඹිලි වතුර බීගෙන බීගෙන යන්න පටන් ගත්තා.’’ මේ තැඹිලි නාන සුද්දා අද හිටියානම් අද තැඹිලි මිල ඇසුවොත් නාන්න තියා බොන්න ගන්නේවත් නැත. තොගපිටින් තැඹිලි ටික කොළඹට පටවනවා සිකුරුයි. තැඹිලි මේ තරම් ඉහළ යාම ගැන තරුණු හොයන්නට පසුගියදා උදේ 5ට ත් පෙර අප ගියේ පිටකොටුවේ කැලෑ මාකට් එකටය. අප යන විටත් එහි තැඹිලි තොග කිහිපයක් තිබුණත් ඒවායේ මිල ඇසූ විට අප මවිතයට පත් විය. ඒ ඇතැම් තැඹිලි ගෙඩි ‌දොඹ ගෙඩියකට වඩා ටිකක් ​ලොකු යැයි කිවහොත් නිවැරදිය. එම ගෙඩියක තොග මිල වූයේ රු. 90කි. කැලෑ මාකට් එකේ තැඹිලි තිබුණා යැයි කීවද ඒ සියල්ලම විකිණී අවසන් වී පටවන්නට ලොරිය එනතුරු එම ස්ථානයේ තබා තිබූ ඒවා බව අපට පැහැදිලි වූයේ ඉන් පසුවය. කැලෑ මාකට් එකේ කවදත් මන්නයක් අතින් ගෙන තැඹිලි විකුණන පුද්ගලයා එදා සිටියේ නයා මළ අහිකුණ්ඨිකයකු මෙනි. ‘‘මෙහෙට හවස 6 ඉඳන් උදේ 6 වෙනකම් තැඹිලි එනවා. අද කපන්නවත් තැඹිලි නෑ. ගේන ගේන ලොරිය කියන ගානට ගන්න ගැනුම්කරුවෝ ඉන්නවා. අද තරු පහේ හෝටලයක වෙඩින් එකක වෙල්කම් ඩ්‍රින්ක් එක තැඹිලිලු. හෝටලේට තැඹිලි සප්ලයි කරන මාත් පිස්සු හැදිල වගේ තැඹිලි එකතු කරනවා. තැඹිලි ගෙඩි ලොකු වෙන්න හොඳට වැස්ස තියෙන්න ඕන.’’ ඔහු පැවසුවේ මෑතක් වන තුරු කැලෑ මාකට් එකට තැඹිලි ආවේ හංවැල්ල, බොරලුගොඩ, ආදී ප්‍රදේශවලින් බවය. එත් ඒ ප්‍රදේශයේ තැඹිලි වතුර ටින් කර අපනයනය කරන ෆැක්ටරියක් පටන් ගත් පසු දැන් තැඹිලි කැලෑ මාකට් එකට එන්නේ නැත. ඔහු කියන්නේ දැන් තැඹිලි එන්නේ කළුතර, වාද්දුව, හොරණ, මතුගම ප්‍රදේශවලින් බවය. ඔහු පැවසුවේ වතුර තිබෙනවාදැයි සිතාගත නොහැකි කුඩා තැඹිලි ඇට්ටි රු. 65-75 අතර තොග මිල අලෙවි වූ අතර හොඳ තැඹිලි තොග අලෙවි වූයේ රු. 120ට එහා බවය. කැලෑ මාකට්​ එකෙන් පසු අප බැස්ටියන් මාවත දිගේ ආවේ මැනින් මාකට් එක දෙසටය. බැස්ටියන් මාවත බස්නැවතුම ආසන්නයේ කෙසෙල් කැන් සමග තැඹිලි වලු කීපයක් අලෙවි කරන තරුණයකු හේත්තු වී සිටියේ බට්ටා ලොරියකටය. ඔහුට කිට්ටු කර දානයකට තැඹිලි ගෙඩි 40ක් ගත හැකි දැයි විමසුවෙමි. ‘‘අපි එන්නේ ඇඹිලිපිටියේ ඉඳන්. ඔය වලු දෙක විතරයි තියෙන්නේ.’’ ‘‘එතකොට ලොරි‌​ෙය් දාගෙන ඉන්නේ ගෙඩි හතරපහ?’’ ‘‘අපෝ ඒවා අපිට බොන්න තියාගත්තේ. ගිරිස්මේ ඉන්න බෑ. ගෙඩි 150යි ගෙනාවේ. ගෙඩිය 120 ගානේ දාන්නේ. ටිකක් මෝරල හින්ද මේ ටික ඉතුරු වුණේ. හෙට එන්න එපා හෙට දවසේම තැඹිලි එකතු කරනවා. ඇඹිලිපිටියම පීරුවත් ගෙඩි 200ක් හොයා ගන්න බෑ. ඔක්කොම ගෙඩි 15 ම ගන්නවා නම් 95 ගානේ දෙන්නම්.’’ එතැනින් අප ඇතුළු වූයේ මැනිං මාකට් එකටය. ඇතුළු වූ විටම ඇත්තේ පොලිස් මුරපොළය. විනෝදයට මෙන් පොලිසියට ඇතුළු වී රාලහාමි කෙනකුගෙන් තැඹිලි ඇති තැනක් ගැන විමසුවෙමි. රාලහාමි පොලිස් මුරපොළින් එළියට අප අරන් ආවේ රත්‍රං බඩු සාප්පුවක් වැනි වටිනා ස්ථානයක් පෙන්වන්නාක් මෙනි. ‘‘ඔය බෝගහ ඉස්සරහින් මැනිං මාකට් එකට ඇතුළු වෙන තැනින් දකුණට ගියාම කළු ලපයක් තියෙන අක්කා කෙනෙක් ඉන්නවා. ඔක්කොම තැඹිලි ලොරි එයා ගාවට තමයි එන්නේ.’’ රාලහාමිගේ කීමට ලපය ඇති අක්කාගේ තැඹිලි තොග කඩය සොයා ගියෙමු. එහි තැඹිලිත් නැත. අක්කාත් නැත. ඊළඟට අපට එතැන සිටි තැඹිලි බ්‍රෝකර් කෙනකු කිව්වේ කෙසෙල් මාකට් එකේ තඹිලි ඇති බවයි. වෙනදාට තැඹිලි ගොඩ ගසා තිබෙන කෙසෙල් මාකට් එකේ එදා තැඹිලි තිබුණේ එකම එක කඩයක පමණි. ප්‍රශ්නය වූයේ තැඹිලි නැති වීම නොව එහි මුදලාලිගේ දකුණු අතේ වූ ‘රත්‍රං බේස්ලට්’ එක සමග උන්නැහේ දකුණු අත ඔසවා​ ගත්තේ කෙසේද යන ප්‍රශ්නයයි. බැලූ බැල්මට එහි ඒ තරම් බරක් පෙනේ. මේ තැඹිලි දෙනියායෙන් ගෙනාපුවා . තොගේට ගන්නවා නම් 130 ගානේ තොග දෙන්නම්. වෙළෙන්දාට කිව හැකි වූයේ එපමණකි. මුස්ලිම් ජාතිකයන් යැයි බාහිර ස්වරූපයෙක් කිව හැකි පුද්ගලයන් දෙදෙනකු එහි වූ තැඹිලි වලු 7, 8 තමන් පැමිණි ඩබල් කැබ් රථයට පටවා ගන්නා ගමන් ගාන විමසීමෙන්ම තැඹිලිවලට ඇති ඩිමාන්ඩ් එක අපට සිතා ගත හැකි විය. වෙනදාට පිටකොටුව බෝගහ හංදියේ තැඹිලි වෙළෙන්දන් හතර පස් දෙනකු සිටින්නේ තැඹිලි කරත්තයේ තැඹිලි තමන්ටද වඩා උසට කඳු ගසාගෙනය. තියුණු මුවහත් මන්නයෙන් තැඹිලි ගෙඩියක් ‘‘ෂොට් 3කින්’’ කැපීමට ඔවුන් රුසියන්ය. ඒත් අද ඔවුන් දැක ගන්නටත් නැත. වෙනදාට විකුණන තැඹිලි වෙනුවට ඇපල් විකුණමින් සිටි වෙළෙන්දකු අපට කිව්වේ ගෑස්පහ හංදියේ ඕනෑතරම් තැඹිලි තොග ඇති බවය. පැරණි නගර ශාලාව පසු කොට පස්වන හරස්වීදිය ආරම්භයේ කියූ පරිදිම තැඹිලි විකුණන කාන්තාවක් සිටියාය. තැඹිලි තොග කීවාට එහි තිබුණේ තැඹිලි වලු 3කුත් කුරුම්බා වලු 2කුත් පමණි. මම මෙතැන අවුරුදු 30ක් තැඹිලි වික්කා. දැන් තැඹිලි සප්ලයි කරපු එකෙක්වත් ෆෝන් ආන්සර් කරන්නෑ. මේ වලු ටිකත් හොයා ගත්තේ මේ දැන්. තැඹිලි නම් 150යි. පොඩි කුරුම්බා 120යි. ලොකු කුරුම්බා 150යි. වෙනදාට අපේ මේ ලොරියෙන් ගිහින් තැඹිලි ගේන්නේ. ලොරියෙන් දුර ගිහින් වලු දෙක තුනක් ගෙනල්ලා කීයට විකුණන්නද? අනික තැඹිලි කපනවා ඇරෙන්න වෙන රස්සාවක් ඇත්තෙත් නැහැ.’’ අප බලා සිටියදීම විදේශීය කාන්තාවන් දෙදෙනකු පැමිණ තැඹිලි ගෙඩි දෙකක් බී ඩොලර් 2ක් පිරිනමන ලදී. තැඹිලි විකුණන කාන්තාව කිසිදු පැකිලීමක් නැතිව ඩොලර් 2 සල්ලිදාන සුරැකුම් පෙට්ටියට ඔබා ගත්තාය. ඒ අනුව තැඹිලි ගෙඩියක් ඇමරිකන් ඩොලර් එකකි. ඒ ළඟ තිබූ සිසිල් බීම විකුණන ලොරියේ විකුණන බීම ලෙස දොඩම්, පැෂන්, අලිපේර, ෆලූඩා, දක්වා තිබුණි. සෑම සාරුවක්ම මිල රු. 30 පමණක් විය. ගෑස්පහ හන්දියෙන් හෙට්ටිවීදියත් සිංහල බෙහෙත් බඩු විකුණන ග‌බොස් ලේන් එකත් ආරම්භ වන හංදියේ වෙනදාට තැඹිලි කපන්නන් හතර පහක් වරදින්නේ නැහැ. ඒ, ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇති කෝවිල්වල වන්දනාවලට යන බැතිමතුන්ට පූජාවට ගෙන යාමට තැඹිලි අලෙවි කිරීමටය. ‘‘බොෂා ගෙඩි පූජාවට කෝවිලට තැඹිලි ගෙනියනවා. එනකොට දේව රූප නාවන්න තැඹිලි ගන්නවා. සිකුරාදා​ කෝවිල් යන්න රු. 200 නෙවෙයි, 500යි කිව්වත් තැඹිලි ගන්නවා. බොසා ඔක්කොම ගන්නවා නම් වලු දෙකම එකක් 130 ගානේ වෝල් සේල් ගන්න.’’ දැන් ප්‍රශ්නය වී ඇත්තේ රු. 150ත් පැන අලෙවි වන තැඹිලි ගෙඩියක් මිලදී ගන්නේ කීයටද යන ප්‍රශ්නයයි. ලංකාව චීනෙන් මොන පිහි, මන්නා ආවත් තැඹිලි කපන්නට ගන්නේ ලංකාවේ පණ පෙවූ මන්නා වීම විශේෂත්වයකි. බෝධිරාජ මාවතේ සිටින හිතවත් දේශීය පිහි මන්න අලෙවිකරුගෙන් මේ ගැන විමසුවෙමි. ඔහු සැණින් තැඹිලි එකතු කරන කිහිප දෙනකුගෙන් මේ ගැන විමසීය. පානදුරේ කැපුවත් ඇඹිලිපිටියේ කැපුවත් අතුරුගිරියේ කැපුවත් තාම තැඹිලි අයිතිකාරයට ගෙවන්නේ ගෙඩියට රු. 10-20ටය. පිටින් කට්ටිය ගිහින් වැඩි ගානට ගත්තොත් හැමදාම එන වෙළෙන්දා ඊළඟට බඩු ගන්නැතිලු. ඔය වෙළෙන්දා ඉඩමක තියෙන ගස් ගැන තැඹිලි වලු ගැන, බාන්න පුළුවන් දිනේ ඔක්කොම දන්නවා. දැන් මහත්තයා ගහකට නග්ගන්න නම් මිනිහෙක් හොයාගන්න එකත් මාර ගේමක් නේ.!’’ කෙසේ වුවත් අවසානයේ අපට පෙනී ගියේ අහස් උසට තැඹිලි මිල ඉහළ ගියත් එහි ලාභය ගන්නේ තැඹිලි ගහේ අයිතිකරු නොව අතරමැදියන් විසින් බවය. විමල් ඇමතිතුමා නැවත උපවාසයක් කළොත් අගමැති මහින්දට උපවාසය නැවැත්වීමට දැන් තැඹිලි වතුර සොයා ගැනීමත් අපහසු කටයුත්තකැයි අවසානයේ අපට සිතිණි.   වජිර ලියනගේ
 

More News..