brand logo

ගිනස් වාර්තාවට ගිය දෙමාපියන්ගේ දියණිය

02 February 2020

සිංහබාහු නාට්‍යය 1961 වසරේ ආරම්භ කළ දා පටන් වසර 31 ක් වේදිකාවේ සුප්පා දේවියට පණ පෙව්වේ මාලනී රණසිංහයි. එහි පොතේ ගුරු චරිතයට පණ පෙව්වේ ඇගේ ස්වාමිපුරුෂයා වූ ටෙරන්ස් රණසිංහයි. සිංහබාහු නාට්‍යයට වසර 58ක් පිරෙන 2019 වසරේ ඔවුන් දෙදෙනාගේ දියණිය වන කාංචනමාලා රණසිංහ මව රඟපෑ සුප්පා දේවියගේ චරිතය නිරූපණය කරමින් වේදිකාවට පිවිසියාය. විප්‍රවාසීව ජීවත් වන ඇය සිංහබාහු නාට්‍යයට සම්බන්ධ වූ ආකාරයත් ඇගේ අලුත්ම ජීවන තොරතුරුත් සිංහබාහු නාට්‍යලෝලීන් වෙනුවෙන් අපි ඇගෙන් විමසුවා. ගිනස් වාර්තා පොතට ගිය මා පිය යුවළක් ඔබට ඉන්නේ. මුලින්ම අපි ඒ ගැන කියමුද? ඔව්. ඔවුන් දෙදෙනා වසර 31 ක් නොකඩවා ලෝකයේ වැඩිම වාර ගණනක් එකම චරිතයකට වේදිකාවේ රඟ පෑ යුවළ ලෙස තමයි ගිනස් වාර්තා පොතට ඇතුළත් වුණේ. සිංහබාහු නාට්‍යයයේ මගේ මව සුප්පා දේවියගේ චරිතයටත්, මගේ පියා පොතේ ගුරු චරිතයටත් පන් දහස් වතාවක් පෙනී සිටීමට තමයි ගිනස් වාර්තාව හිමිවුණේ. ඔබ වෛද්‍යවරියක්. කොහොමද සිංහබාහු නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ? මම කුඩා අවදියේ පටන් සිංහබාහු නාට්‍යයත් එක්ක තමයි හැදී වැඩුණේ. අපි ඉපදෙන්නත් කලින් ඉඳන්ම අම්මත්, තාත්තත් නාට්‍යයට සම්බන්ධව හිටියා. ඒක නිසාමද කොහේද සිංහබාහු නාට්‍යයත් එක්ක ආත්මීය බැඳීමක් තිබුණා. මට අවුරුදු දාසයේ විතර ඉඳන් හීනයක් තිබුණා සිංහබාහු නාට්‍යයේ රඟපාන්න. අවුරුදු ගාණක් හිතේ හිරවී තිබුණු ආශාව අම්මා එක්ක කිව්වා. අම්මා ඒ ගැන ලලිතා සරච්චන්ද්‍ර මහත්මියත් එක්ක කියලා, ඇය මට නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසලා දෙනවා. ඔබ ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ කොහොමද නාට්‍ය පුහුණුවීම් කටයුතු කළේ? මම කලින් කිව්වා වගේම පුංචි දවස්වල ඉඳන්ම නාට්‍යයත් එක්ක ඉඳලා නාට්‍යයේ සියලු දෙබස් මට මතක තිබුණා. සිංහබාහු නාට්‍යයේ සී.ඩී තැටියක් මා සතුව තිබෙනවා. මම දිනපතාම වාගේ එය අහන පුරුද්දක් තියෙනවා. ගෙදර දී පුහුණුවීම් කටයුතු කරද්දී අම්මා වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නා. ලංකාවට ආවට පස්සේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය යටතේ නාට්‍ය කණ්ඩායම සමග පුහුණුවීම් කළා. රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක කොහොමද පුහුණුවීම් කටයුතු සඳහා කාල වෙලාවවෙන්කර ගත්තෙ? ඒක ඇත්තටම දුෂ්කර කාර්යයක් වුණා. රැකියාව කරන ගමන් ගෙදර දොර වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු කරද්දී පුහුණු වෙන්න කාලයක් තිබුණේ නැති තරම්. අම්මා නිතරම කිව්වා එයා නාට්‍යයේ රඟපාන කාලෙදී පුහුණුවීම් කටයුතු කොයිතරම් කාලයක් කළාද, කරන්න ඕන ද කියන එක ගැන. ඇය සෑහීමකට පත් වුණේ නෑ කිසිම අවස්ථාවක මම පුහුණුවීම් කටයුතු සඳහා වෙන් කරන කාලය ගැන. මම මගේ වැඩ කටයුතු සියල්ල කරගනිමින් පුහුණුවීම් කටයුතුත් සාර්ථකව කළා. නාට්‍ය හා රංග කලාව පිළිබඳව යම් හැදෑරීමක් කළාද? නෑ. මම පන්ති කාමරයක නාට්‍ය හා රංග කලාව හදාරා නැහැ. හැදෑරීමක් නැතිව කොහොමද කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ? කුඩා අවදියේ පටන් අපට ආශ්‍රය කරන්න ලැබුණේ නාට්‍යවලට සම්බන්ධ අය. හැදෑරීමක් නොකළත් මට පවුලේ අභාසය ලැබුණා. අම්මා, තාත්තා ඇරුනම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පවුල, ඥාතිවරයෙක් ද වන පසුගිය සතියේ අප හැර ගිය ජයලත් මනෝරත්නයන්, ජය ශ්‍රී චන්ද්‍රජිත්, නිශ්ශංක දිද්දෙණිය වගේ නාට්‍යත් එක්ක ජීවත් වුණ, නාට්‍ය කලාවට ආදරය කළ පිරිස නිතරම ආව ගිය, එක් රැස් වුණ තැනක් අපේ ගෙදර. ඉතින් අපිට එයාලගෙ කතා බහ ඇහෙනවා. ඒ නිසා තමයි මට ඒ ගැන ආසාවක් ඇති වුණේ. ඔබ අධ්‍යාපනය ලැබුවේ. . . ? මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් හා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන්. පාසලේ දී අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා ද? පාසලේ බටහිර තූර්යවාදක කණ්ඩායම් නායිකාව ලෙස බටහිර තූර්යවාදක කණ්ඩායම, පෙර අපර දෙදිග ගායක කණ්ඩායම්, පෙරදිග වාද්‍ය වෘන්දයේ සිතාර් වාදනය, නාට්‍ය කණ්ඩායම, මේස පන්දු, පැසි පන්දු, දැල් පන්දු ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කළා. රචනා, කවි ගායනා තරග සඳහා සහභාගී වී ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මානත් ලබා තිබෙනවා. පාසලේ ශිෂ්‍යය නායිකා පදවි හෙබවූවා. සේවය කළ ආයතන මොනවද? මහනුවර මහ රෝහලේ සේවය කළා. ඉන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ක්ෂුද්‍ර ජීවී අංශයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළා. මේ වන විට බ්‍රිස්බේන්හි වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන අතරම ග්‍රිෆිත් (Griffith) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. නාට්‍ය හැරුණු විට ඔබ සම්බන්ධ වෙනත් කලා ක්ෂේත්‍ර මොනවද? පාසල් කාලයේ පටන් මම සංගීතය තමයි හැදෑරුවේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේදී ශ්‍රීමා වර්ෂකෝන් ගුරුතුමිය යටතේත්, ඇම්. ජී. පී. කලා ආයතනයේ ආනන්ද සහ අශෝක පෙරේරා ගුරුවරු යටතේ හින්දුස්තානි සංගීතය හා ගායනයත්, සිතාර් වාදනයත් ඉගෙන ගත්තා. 2017 පටන් සුභාවිත ගීත ගායනයේ යෙදෙනවා. නව නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඒ ගීත සඳහා පද රචනයෙන් බුද්ධදාස ගලප්පත්ති, නයනසේන වන්නිනායක, කුමාර ලියනගේ, ප්‍රියන්ත කුලසේකර, සමන් සේමසිංහත් සංගීතයෙන් විශාරද රෝහණ ධර්මකීර්ති, නාලක අංජන කුමාර, දර්ශන වික්‍රමතුංග, නවරත්න ගමගේ යන මහත්වරුන් දායක වුණා. පසුගිය දිනවල ඔබ ජීවත් වන රටේ ඇති වූ ලැව්ගිනි තත්ත්වය ගැන ඔබට මොනවගේ හැඟීමක් ද දැනුණේ? ලොකු වේදනාවක් දැනුණා. එයින් අපට බලපෑමක් නොවුණත් අපි ආ ගිය තැන්, සත්තු දහස් ගණනක් විනාශ වෙලා ගියා. අසරණ සත්තු බොහෝමයක් අවතැන් වුණා. දියුණු රටක් වුණත් ඒක ඔස්ට්‍රේලියාවට වුණ විශාල හානියක්. සෝබා ඩී. කොලියවංශ  
 

More News..