brand logo

ගිණුම් සහකාරගේ ඊමේලය හැක් කර NSBM ගිණුමෙන් කෝටි 13ක් අදියි

06 February 2020

හෝමාගම, පිටිපන එන්.එස්.බී.එම්. හරිත සරසවි බැංකු ගිණුමෙන් රුපියල් මිලියන එකසිය තිහක් වංචනිකව ලබාගැනීමට කටයුතු කළ කොරියානු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකයට හරිත සරසවියේ මූල්‍ය පාලක විසින් ඉකුත් ජනවාරි 24 වැනිදා කරන ලද පැමිණිල්ලක් මත මේ විමර්ශන ඇරඹිණි. පරිගණක දත්ත සොරා ගන්නා හැකර්වරයකු විසින් හරිත සරසවියේ ගිණුම් සහකාර නිලධාරියාගේ ඊමේල් ගිණුමට හොර රහසේ රිංගා හරිත සරසවියේ ගිණුම් අංශයෙන් දෙන නියෝග මෙන් හරිත සරසවියේ බැංකු ගිණුම ඇති සම්පත් බැංකුවට ඊමේල් පණිවුඩ යවා ඇත. ඒ අනුව ජනවාරි 22 වැනිදා හරිත සරසවියට අයත් සම්පත් බැංකු ගිණුමෙන් රුපියල් මිලියන තිහක් කොටහේ​නේ පදිංචි දෙමළ ජාතිකයකුගේ ගිණුමට මාරුකරවා තිබේ. මෙම මුදල බැංකු ගිණුමට මාරු කළ පසුව එම දෙමළ ජාතිකයා එම මුදලින් රුපියල් මිලියන දෙකක්ද ලබාගෙන ඇත. එම සිදුවීමෙන් පසු හැකර්වරුන් යළිත් එන්.එස්.බී.එම්. සරසවියේ ගිණුම් සහකාරගේ ඊමේල් ලිපිනයෙන් තවත් රුපියල් මිලියන සියයක් කොරියන් ජාතිකයාගේ හැටන් නැෂනල් බැංකුවේ ගිණුමට මුදාහරින්නයි නියෝග කර ඇත. ඒ වනවිට එම ගිණුමේ රුපියල් මිලියන සියයක් නොතිබීම නිසා සම්පත් බැංකුව විසින් හරිත සරසවියේ ගිණුම් අංශයෙන් මේ ගැන විමසා තිබේ. ඒ අනුව හැකර්වරුන් ගැන හෙළි වී ඇති අතර ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නගේ නියෝග මත මූල්‍ය විමර්ශන ඒකකයේ ප්‍රධානි යටතේ කළ මෙම විමර්ශනයෙන් මුලින්ම අත්අඩංගුවට පත්වෙන්නේ කොට​හේනේ පදිංචි දෙමළ ජාතිකයාය. එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ දිරිය විමර්ශනයකින් අනතුරුව කොරියන් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මිලියන සියයක් මාරු කිරීමට සැලසුම් කළ ගිණුමෙන් මිලියන සියය ගැනීමට යද්දීය. කොරියානු ජාතිකයන් දෙදෙනා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා මෙරටට පැමිණි අයයි. ඔවුන් දෙදෙනා සමග එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනකුද සිට ඇත. එම ජල ව්‍යාපෘතිය වෙනුවෙන් ඇරඹූ බැංකු ගිණුමට රුපියල් මිලියන සියය මාරු කරගැනීමට කොරියන් ජාතිකයන් උත්සාහ දරා ඇත. මෙම කොරියන් ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් අයකුට කොරියාවේ සමාගම් තුනක් හිමි අතර අනෙක් කොරියන් ජාතිකයන් වියට්නාමයේ පදිංචි වී ව්‍යාපාරවල නිරත වූවෙකි. දැනට කරන ලද විමර්ශනවලදී ඔවුන් සමග සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනා මීට සම්බන්ධ බවට හෙළි වී නැත. මේ වන විට වැඩිදුර විමර්ශන අරඹා ඇත්තේ මේ පිටුපස සිටින හැකර්වරුන් කවුරුන්ද යන්න සෙවීමටය. මෙම හැකර්වරුන් හඳුනාගැනීමට හරිත සරසවියේ දත්ත ගබඩාව (සර්වර්) පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම​ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (4 වැනිදා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඊමේල් හරහා රිංගන හැකර්වරුන්ගෙන් හා ඊමේල් ගිණුම්වලට මුරපදය ඉල්ලා එවන ඊමේල් හා එස්.එම්.එස්. පණිවුඩ ගැන සැලකිලිමත් වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..