brand logo

ගැබිනියන් හා දරුවන් ගැන විශේෂ හෙළිදරව්වක්

20 February 2020

ශ්‍රී ලංකාවේ වසරකට තුන්ලක්ෂ විසිපන්දහසක් දරුවෝ උපදිති. ඒ අතරින් පන්දහස් අටසියයක් උපදින්නේ විවිධ උපත් ආබාධ සහිතවය. ඉන් දරුවන් 650ක් පළමු උපන් දිනය සැමරීමට පෙර මෙලොව හැර යති. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මෙම තොරතුරු හෙළි කළේය. ශ්‍රී ලංකාවේ සෑම වසරකම තුන්ලක්ෂ හැට දහසක් කාන්තාවන් ගර්භණී භාවයට පත්වුවත් සජීවී දරුවන් ලෙස මෙලොව එළිය දකින්නේ ඉන් දරුවන් තුන්ලක්ෂ විසිහයදහසක් බවද වෛද්‍යවරයා පැවැසුවේය. ඔහු මේ තොරතුරු පවසා සිටියේ ඊයේ (19 වැනිදා) කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පෙබරවාරි 23 වනදා සිට 26 වනදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 09 වැනි ජාත්‍යන්තර සමුළුව සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මෙසේද පවසා සිටි​යේය. ‘‘සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ සහ ආබාධිත තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර සමුළුව මෙවර පැවැත්වෙන්නේ අපේ රටේ,එහි තේමාව වෙලා තියෙන්නේ ‘‘උපත් ආබාධ වැළැක්වීමට සහ සත්කාර ක්‍රමවේද වේගවත් කරමු’’ යන්නය. ලෝකය පුරා රටවල් 36කින් 350ක් පමණ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙයට සහභාගි වීමට නියමිතය. මෙම සමුළුවේ කතා කරන විෂය ශ්‍රී ලංකාවට ඉතාමත් අදාළය. ළදරු මරණ අඩු කිරීම අතින් අප රට ලබාගෙන ඇති ප්‍රගතිය විදහාපාන්න හොඳම අවස්ථාවක් මේක. ඒ වගේම ළදරු මරණවලට ප්‍රධානතම හේතු වන නොමේරූ උපත් සහ උපත් ආබාධ පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමට මේ සමුළුව වැදගත්.’’ ‘‘ලංකාවේ උපත් ආබාධවලින් 30%ක් පමණ දරුණු උපත් ආබාධ. ඒ දරුවන්ට ආබාධිතව ජීවිතයක් ගත කරන්න බැහැ. ඔවුන්ට සේවා සැපයීමට සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් විශාල මුදලක් වෙන් වෙනවා. ගර්භයට මාස 07ක් තියෙනකොට කුස තුළ මියයන දරුවන්, මළ දරුවන් ගණන ලංකාවේ වසරකට 1900ක් පමණ වෙනවා. ඉන් 35%ක්ම කලල ආබාධ හෝ විකෘතිතා සිදුවෙලා තියෙනවා’’ මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනි වෛද්‍ය අනුලා විජේසුන්දරද මෙලෙස පවසා සිටියේය. ‘‘අපේ රටට විශාල ගෞරවයක් ලැබෙන අවස්ථාවක් තමයි මේ සමුළුව ලංකාවේ පැවැත්වෙන එක. විශේෂයෙන්ම කියන්න ඕන උපත් ආබාධ සහිතව ඉපදෙන ළමයින්ව සමාජයෙන් කොන් කරන්න හොඳ නෑ. ඔවුන් සතුවත් කුසලතා තියෙන්න පුළුවන්. ඔවුන්ට විශේෂිත පාසල් ලබාදෙන්න ඕන. ඔවුන්ට මේ සමාජයේ පුද්ගලයන් එක්ක ගැටෙන්න දෙන්න අවශ්‍යයි’’.   අශිකා ජයවීර
 

More News..