brand logo

ගැබිනියකට කොවිඩ් ආසාදනය වුණොත් කළලයට බලපෑමක් වෙන්නෙ නෑ

17 May 2021

කොවිඩ් වසංගතය ගැබිනි මව්වරුන්ගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ලකරමින් සිටිනවා මේ බලපෑමෙන් මව්වරුන් බේරාගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පැහැදිලි කළොත්‍්? කොවිඩ් පළමු රැල්ල තුළදී අපි දැක්කා ගර්භණී මව්වරුන්ට බරපතළ බලපෑමක් එල්ල වුණේ නැහැ. කොවිඩ් වයිරසය ආසාදනය වුණත් සියයට 80කට පීසීආර් පරික්ෂණයකින් වත් ඒ බව තහවුරු වුණේ නැහැ. තවත් මව්වරුන්ගෙන් සියයට 15ක් විතර සුළු සුළු රෝග ලක්ෂණ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, මස්පිඩු වේදනාව වගේ තත්ත්වන් පෙන්නුම් කළා. ඒ වගේම සියයට 5කට විතරම තමයි නියුමෝනියා තත්ත්වයන් පෙන්නුම් කළේ. ඒ අයට විතරයි දැඩි සත්කාර පහසුකම් අවශ්‍ය වුණේ. ඒත් කිසිම ගැබිනි කාන්තාවක් මියගියේ නැහැ. මේ තත්ත්වය මාස 6ක පමණ කාලයක් පැවතුණා. පසුගිය අප්‍රේල් මාසය වෙනකල්ම කිසිම ගැබිනි කාන්තාවක් මිය ගියේ නැහැ. නමුත් අවාසනාවකට දැන් දැන් අපේ මව්වරුන් මිය යන්න පටන් අරගෙන. අප්‍රේල් මාසයෙන් පසුව තමයි ගැබිනි මව්වරුන් මිය යන්න පටන් අරගෙන තියෙන්නේ. මව්වරුන්ගේ ජීවිත රැකගන්න විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම කැපවෙනවා. අපි පුළුවන් තරම් ඔවුන්ව දැනුවත් කරනවා. රෝගයෙන් මිදීමේ බාරදූර්ය කටයුත්ත තියෙන්නේ පෞද්ගලකිව තම තමන්ටයි. මේ වන විට ලංකාව තුළ පැතිර යන කොවිඩ් වයිරසය ගැබිනි මව්වරුන්ට ඇතිකරන බලපෑම කොයිවගේද? දැනට ලංකාවේ සීග්‍රයෙන් පැතිර යන්නේ එංගලන්ත ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. මේක මහා බරපතළ තත්ත්වන් ඇතිකර වයිරසයක්. අනික වේගයෙන් පැතිරෙනවා. නමුත් පළමු රැල්ලේදී හඳුනා ගත් වයිරසය මේ තරම් වේගයෙන් පැතිරුණේ නැහැ.

එංගලන්ත ප්‍රභේදය ගැබිනි මව්වරුන්ට ආසාදනය වුණොත් කැස්ස, උණ, රස නොදැනීම, ගඳ සුවඳ නොදැනීම රෝග ලක්ෂණ මතුකරනවා හැරුණු කොට හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇති කරනවා.

මේ රෝගය කොතරම් වේගයෙන් පැතිරෙනවාද කියනවා නම් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය වෙනකල් වාර්තා වුණේ ගැබිනි මව්වරුන් 200ක් පමණයි. ඒත් මාර්තු මාසයේ ඉඳලා මේ දක්වා වයිරසය ආසාදනය වූ ගැබිනි මව්වරුන් 250ක් විතර හඳුනාගෙන තිබෙනවා. මරණ 3 වාර්තා වෙලා තියෙනවා. විශේෂයන්ම මේ වයිරසය විවිධ සංකූලතාවන් තිබෙන මව්වරුන්ට බරපතළ තත්ත්වයන් ඇති කරනවා පමණක් නොවෙයි ජීවිත හානි පවා ඇති කිරීමට හේතුවක් වෙනවා. සති 28 ට වැඩි කාන්තාවකට මේ වයිරසය ආසාදනය වුණොත් ඔවුන්ට කොරෝනා නියුමෝනියා තත්ත්වය ඇතිවෙලා ජීවිත හානි සිදුවෙන්න පුළුවන්.

කොහොම නමුත් දැන් රටපුරා පැතිර යන්නේ එංගලන්ත ප්‍රභේදය වුණාට අපි දැන් ඉන්නේ ඉන්දියානු ප්‍රභේදය අභියස කියලා කිව්වොත් එය වඩාත් නිවැරදියි.

යම් හේතුවකින් ඉන්දියානු ප්‍රභේදය ලංකාවට ආවෝත් ? එංගලන්ත ප්‍රභේදයටත් වඩා ඉන්දියානු ප්‍රභේදය විනාශකාරී තත්ත්වයන් ඇතිකිරීමක් අනිවාර්යයෙන්ම කරයි. මේ වන විට ඉන්දියාවේ සිදුවීම් දිහා බැලුවාම ඒ බව හොඳටම වැටහෙනවා. වාසනාවකට ඉන්දියානු ප්‍රභේදය අපි දැනට හඳුනා ගෙන තියෙන්නේ නිරෝදායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතිකයෙකුගෙන් විතරයි. මේ වන විට ගැබිනි මව්වරුන් කිහිපදෙනෙකු මිය ගොස් සිටිනවා. මේ අවදානම් ගැන කතා කළොත්? ඇත්තටම දැනට පැතිර යන එංගලන්ත ප්‍රභේදය ඉතාමත් භයානකයි. මේක තවදුරටත් මේ ආකාරයෙන්ම පැතිර ගියොත් මසකට ගැබිනි මව්වරුන් 20ක් විතර මිය යෑමේ අවදානමක් තියෙනවා. වසරකට ගැබිනි මව්වරුන් තුන්ලක්ෂ හතළිස් දහසක් පමණ සිටිනවා. මොවුන් තමයි ර‌ටේ නිරෝගිමත් දරු පරපුරක් බිහිකරන මව්වරුන්. ඔවුන්ව රැක බලාගැනීම අප කාගේත් වගකීමක්. ඔබ මෙතනදී සංකූලතාවන් කියලා අදහස් කළේ කුමක්ද? ඇතැම් මව්වරුන්ට ගර්භණී භාවය නිසාම ඇතිවන විවිධ සංකූලතාවන් තියෙනවා. දියවැඩියා, අධි රුධිර පීඩනය වැනි රෝගතත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම කුස තුළ වැඩෙන දරුවා නියමිත පරිදි වැඩී නොතිබෙන්න පුළුවන්. මෙහිදී ස්කෑන් පරීක්ෂාවක් කරගෙන අදාළ වෛද්‍යවරයා වෙත යොමු වීම අනිවාර්ය වෙනවා. ගර්භණී සමයේදී අදි රුධිර පීඩන තත්ත්වයන් තියෙන මවක් අවශ්‍ය පරිදි ඖෂධ ලබාගෙන ඒ සායනයන්ට නොවරදවාම යොමු වන්න ඕනේ. සායනය තුළදී වෛද්‍යවරයා ගර්භණී මවගේ රුධිර පීඩනය මැන අදාළ ඖෂධයන් ලබා දීමක් කරනවා.

අධි රුධිර පීඩනය තිබෙන මවක් කොරෝනාවලට බියවී නිවස තුළට වී සිටියොත් අධිරුධිර පීඩනය වැඩිවෙලා ෆිට් එක ඇවිත් අසාධ්‍යවෙලා මරණය දක්වා යන්න පුළුවන්. දියවැඩියා මවක් නම් ඒත් එසේමයි.

ඒ නිසා කොවිඩ් කියලා ගැබිනි මවක් කිසිවිටෙකත් සායනයන්ට සහභාගි නොවී සිටීම නොකළ යුත්තක්. අනිවාර්යයෙන්ම සායනයන්ට සහභාගිවෙන්න ඕනේ නැතිනම් කොවිඩ්වලට වඩා අනතුරකට මව්වරුන්ට මුහුණ දීමට සිදුවෙනවා. කොවිඩ් වයිරසය ගැබිනි මවකට ආසාදනය වුවහොත් එය කළලයට බලපෑමක්ඇති කරනවාද? තවම එහෙම වෙනවා කියලා සොයාගෙන නැහැ. ගබ්සාවන් වෙන්නේ නැහැ‍. අංගවිකල දරුවන් බිහිවෙන්නේ නැහැ. නමුත් දරුවා මෙලොවට බිහි වුණාට පසුව මවගෙන් ආසාදනය වීමේ හැකියාව තිබෙනවා. එහෙම වෙලා තියනවා. දරුවා ඉපදී දින තුන හතර පහ වගේ දිනවලදී වයිරසයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මව්වරුන්ට කියන්නේ සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදින්න කියලා. ගැබිනි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන්න කියලා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ඉල්ලීම කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාගෙන්ද? ඇත්තෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛය කාර්යාංශයේ අධ්‍යක්ෂිකාවගෙන් ඉල්ලීම් කළා. එම ඉල්ලීමට අනුව මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ? තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඔවුන් ඒ පිළිබදව තවමත් සාකච්ඡා කරමින් සිටින බව තමයි දැනගන්න තියෙන්නේ. ගර්භණී මව්වරුන් පත්ව තිබෙන අවදානම් තත්ත්වය මත මේ සාකච්ඡාව කඩිනම් විය යුතුයි නේද? ඔව් ඇත්ත වශයෙන්. මේ සාකච්ඡා කඩිනම් නොවන්න නොවන්න අපේ ගැබිනි මව්වරුන්ගේ ජීවිත දැඩි අනතුරුකට පත්වෙනවා. මොකද ගර්භණී මව්වරුන් කියන්නේ ප්‍රතිශක්තිය අඩු අවදානම් කණ්ඩායමක්. මේ අය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නවානම් එය ඉතා ඉක්මනින් ගත යුතුයි. නමුත් මේ එන්නත තවමත් ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන්නේ නැහැ නේද? ඇමරිකාවේ මව්වරුන් 60000කට ෆයිසර් හා මොඩානා කියන එන්නත් දෙක දීලා තියෙනවා. එංගලන්තෙය් මව්වරුන් 16000ට ‌දීලා තියෙනවා. මේ රටවල් දෙකේ අත්දැකීම් දිලා බැලුවාම මව්වරුන්ට ගර්භණී මව්වරුන්ට මේ එන්නත නුසුදුසුයි කියලා කියන්න තරම් විද්‍යාත්මක සාක්ෂි නැහැ. ඒ නිසා ඒ රටවල්වල ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කර තිබෙනවා. ගැබිනි මව්වරුන්ට එන්නත ලබා දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කළත් තවමත් ඒ සදහා නිසි ප්‍රතිචාරයක් ලැබී නැත්තේ එන්නත්වල හිඟතාවක් නිසාද?

මේ වන විට ගර්භණී මව්වරුන් කියන්නේ විශාලතම අවදානමක් තිබෙන කණ්ඩායමක්. මෙතන ජීවිත දෙකක්. ඒ නිසා මේ අයව එන්නත් කරණය කිරීම ඉතාමත් වැදගත්‍.

කොහොම නමුත් කොවිඩ් මර්දනය සඳහා එන්නත් ලබා දීමේදී බ්‍රසීලයේ ගර්භණී කාන්තාවක් මිය ගිය බවට ප්‍රවෘත්ති පළවුණා. මේ වගේ අවදානම් තත්ත්වක් අපේ ගැබිනි මව්වරුන්ටත් අත් විදිමට සිදුවුණොත්? එන්නත්කරණයේදී මේවගේ දේවල් සිදුවෙනවා. නමුත් එන්නත් ලබා නොදීම හේතුවෙන් සිදුවෙන හානියට ඊට වඩා වැඩියි. අපේ රටේ රුබෙල්ලා එන්නත ලබා දීමේදී ජීවිත කීපයක් නැති වුණා. ඒ වුණත් රුබෙල්ලා එන්නත ලබා දීමෙන් වන වාසිය ඊට වඩා වැඩියි. මේ අවදානමින් ගර්භණී මව්වරුන්ට ගැලවීමට තිබෙන එකම මග එන්නත්කරණය විතරයිද? නැහැ. එන්නත්කරණය ඒක් පියවරක් විතරයි. හැමවිටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් අනුගමනය ඉතාමත් වැදගත්. එන්නත් කරණය කලත් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න අවශ්‍යයයි. ගැබිනි මව්වරුන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ක්‍රමවේදයන් පැහැදිලි කළොත් ? සෞඛ්‍ය පුරුදු අකුරටම පිළිපදින්න අවශ්‍යයි‍. මුව වැස්මක් භාවිත කිරීම, හැම අවස්ථාවකදී නිවැරදි ලෙස දෑත් සබන් ගා පිරිසුදු කර ගැනීම, ජනතාව එක්රැස්වන ස්ථානයන් වෙත නොයෑම හා නිවසට අමුත්තන් ගෙන්වා ගැනීමක් නොකළ යුතුය නිවසේ සිට රැකියාව කිරීමේ අවස්ථාව ලබා දීම. නිවසේ සිට රැකියාව කිරීම සඳහා රජය දැන් අවසර ලබා දී තිබෙනවා මේ තීරණයත් ඔබ සංගමයේ රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිපලයක්ද? මේ බව අපි මුලින්ම ආණ්ඩුවට පැවසුවාට පසුව ගර්භණී කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවසර ලබා දුන්නා. අපි මේ ඉල්ලීම පෞද්ගලික අංශයේ හා ආරක්ෂක හමුදාවල ගර්භණී කාන්තාවන්ටත් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම මේ අවසරය වෛද්‍යවරියන්ට තවමත් හිමිව නැහැ. මම හිතන්නේ ආණ්ඩුව ඒ අය කෙරෙහිත් අවදානය යොමු කළොත් හොඳයි. ආසාදිත ගර්භණී මව්වරුන් සඳහා ලබා දී තිබෙන පහසුකම් මොනවාද? මේ වන විට ගර්භණී මව්වරුන් සඳහාම රෝහල් තුනක් මේ වන විට වෙන්කර තිබෙනවා. ගර්භණී මව්වරුන් මේ දිනවල සෞඛ්‍ය උපදෙස්වලට අමතරව දිය හැකි විශේෂ උපදෙස් මොනවද? හො‍ඳින් ජලය පානය කරන්න අවශ්‍යයයි. කොළපැහැති පලාවර්ග සහ පලතුරු එළවළු ආහාරයට වැඩි වශයෙන් ඒකතු කරගැනීම විටමින් ඩී හා සී ගැනීමෙන් වයිරසට යම් බලපෑමක් සිදුකළ හැකියි කියලා දැන් සොයාගෙන තියෙනවා. යකඩ පෙති කැල්සියම් පෙති ගැනීම උදෑසන හිරුඑළියට නිරාවරණය වීම. [caption id="" align="alignnone" width="202"]    පරිජන්ම වෛද්‍යවරුන්ගේ         සංගමයේ සභාපති, කාසල්        වීදියේ කාන්තා රෝහලේ     ප්‍රසව හා නාරිවේද විශේෂඥ        වෛද්‍ය සනත් ලැනරෝල්[/caption]   •සංවාදය - ශ්‍රියානි විජේසිංහ
 

More News..